Oct
30
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ ප්‍රසිද්ධ හෝටලයක ප්රභූවරයෙකුගේ විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන බවට අද (30) සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරක් ප්‍රචාරය විය.
එම පුවත ප්‍රචාරය වීමත් සමග ඒ පිළිබඳ සොයා බැලීමට පොලිස් කණ්ඩායමක් අද එම හෝටලයට පැමිණියේය.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු මෙම විවාහ උත්සවය පිළිබඳ චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්ත්‍රි වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ පුත් තිවහරන් රාධාක්‍රිෂ්ණන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණේ එම විවාහ උත්සවයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා..
“කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටා ඇති තරු පංතියේ හෝටලයක අද දින විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන බවට කොල්ලුපිටිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබුණා. ඒ තොරතුර අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරික්ෂාකිරීමේදී නිරෝධායන රීතිවලට පටහැනිව විවාහ මංගල උත්සවයක් පවත්වන ආකාරයක් නිරීක්ෂණය වී තිබෙනවා. ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භකරලා තියෙනවා. මේ සඳහා 35 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම අපි ඊයේත් පෙරේදා දිනයේත් දැනුම්දුන්නා බස්නාහිර පළාත තුළ කිසිම ආකාරයක විවාහ මංගල උත්සව, මහජනයා රැස්වන උත්සව නොපැවැත්විය යුතු බවට. නමුත් එසේ සඳහන් කර තිබියදීත්, මේ ආකාරයට සෞඛ්‍ය අංශවල ඒ වාගේම පොලීසියේ උපදෙස් නොතකා විවහා මංගල උත්සව පැවැත්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් වගේම නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීමක්. කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ විශේෂ නියෝගයක් පිට පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම විවහා උත්සව සංවිධානය කරමින් කටයුතු කළ පුද්ගලයින්ටත් ඒ වාගේම ඊට සහභාගී වූ අයටත් එමෙන්ම එම හෝටලයේ කළමණාකාරීත්වයටත් එරෙහිව නිරෝධායන රීතින් යටතේ ඉදිරියේදී අපි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.“