Sep 12

ප්‍රේමලාල්ට මැති සබයට පාර කැපූ නොසිතු යහපාලන භූමිකාව


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්‍ෂය තක්සේරු කරන අන්දමට මේ මොහොතේ රට හමුවේ පවතින ප්‍රධාන සහ ගැටලුසහගත ප්‍රශ්නය වන්නේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමය. ඔවුන් කැට තියා ප්‍රකාශ කරන්නේ ප්‍රේමලාල්ගේ පැමිණීමෙන් පාර්ලිමේන්තුවේ පාරිශුද්ධභාවය කෙලෙසුණු බවය. නව පාර්ලිමේන්තු සැසිවාරයේ දින දෙකක්ම ප්‍රේමලාල් ජයසේකර ගැන කතා කරන්නට විපක්‍ෂය කාලය මිඩංගු කළේය.

ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර මහාධිකරණයෙන් මරණ දණ්ඩනය හිමිවූ බව ඇත්තය. ඔහු එකී දඬුවම සඳහා ඇපෑලක් ඉදිරිපත් කර තිබෙන බවද ඇත්තය. ප්‍රේමලාල් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ඡන්ද 1,04,237ක ජනවරමකිනි. ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව සතුවය. අධිකරණය ජනතා පරමාධිපත්‍යය මුල්තැන්හිලා සැලකීම ස්වභාව යුක්ති මූලධර්මයන්ට යටත්ව සිදුවන්නකි.

මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර වැලිකඩ සිරගෙදර සිටි ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයට පත්වීමත් සමඟ ඔහු පාර්ලිමේන්තුවට කැටුව යෑම ගැන බන්ධනාගාරය නීතිපති උපදෙස් පැතීය. නීතිපතිවරයා ලිඛිතව නියෝග කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තිය අනුව මරණ දණ්ඩනයට හෝ වසර දෙකකට අධික සිර දඬුවමකට නියමව සිටින අයකුට ඡන්ද අයිතිය නැති බවත් ඡන්ද අයිතිය නැති අයකුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත්වීමට නොහැකි බැවින් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බවය.

නීතිපතිවරයා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලබාදුන් නියෝගය තමා ලද ජනවරම අභියෝගයට ලක්කරන්නක් බැවින් ජයසේකර අභියාචනා අධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා දෙදෙනාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රේමලාල් ජයසේකර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේය. තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් විවෘත අධිකරණයේ ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස ප්‍රේමලාල් ජයසේකර තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නැති බැවින් මන්ත්‍රිවරයාගේ දිවුරුම් දීමට නීතිමය බාධාවක් පැන නොනඟින බවය.

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් හිමි සියලු වරප්‍රසාද භුක්ති විඳීමටත් පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීමටත් නීතිමය බාධාවක් නැති බවටද අභියාචනාධිකරණය තීන්දු කළේය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාටද නියෝග කළේය.

පෙත්සම්කාර ජයසේකර වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජේ‍යෂ්ඨ නීතිඥ සුගත් කල්දේරා, නීතිඥ නිරාන් ඇන්කටෙල් මහත්වරුන්ගේ සහ පෝල් රත්නායක ඇසෝෂියේට්ස්හි උපදෙස් මත ඉල්ලා සිටි සහනයන් පිළිගනිමින් විනිසුරුවරුන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මහජන ඡන්දයෙන් ඉහළම මනාප ලබමින් තේරී පත්ව ඇති හා එම පත්වීම් මැතිවරණ කොමිසම විසින්ද පිළිගෙන ඇති අවස්ථාවක එකී පත්වීම නීති විරෝධී බවට හෝ වලංගු නොවන බවට කිසිදු අධිකරණයක් තීන්දු කර නැති පසුබිමක පෙත්සම්කාර මන්ත්‍රිවරයාගේ හිමිකමක් භුක්ති විඳීම වළක්වාලීමට ඉහළ අධිකරණයක් වන මෙම අධිකරණයට නීතිමය ප්‍රතිපාදන නැති බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

එම නඩු තීන්දුව මෙසේය.

ඉංග්‍රීසි බසින් ටයිප් කරන ලද පුරා පිටු 12කින් යුත් අභියාචනාධිකරණ නියෝගයෙහි මෙසේද සඳහන්ව ඇත.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පාලනය වන රාජ්‍යයක ප්‍රධානතම ආයතනත්‍රය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන කුලුනු තුන වන ව්‍යවස්ථාදායකය, අධිකරණය හා විධායකය යන තුනෙන් ප්‍රධානතම ආයතනය වන ව්‍යවස්ථාදායකයේ නියෝජිතවරයකු වශයෙන් පරමාධිපත්‍යය හිමි ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් 'දිවුරුම් දීම' හෝ 'පාර්ලිමේන්තුවට පැමිණීම' වළක්වාලීමට කුමන හෝ බලගතු ආයතනයකට කිසිදු හැකියාවක් ඇත්තේම නැත.

එකී තේරී පත්වීම නීත්‍යනුකූල නොවන බවට බලයලත් ඉහළ අධිකරණයකින් තීන්දුවක් මඟින් ප්‍රකාශයට පත් කිරීමකින් මිස, එකී පත්වීම ලත් මහජන නියෝජිතයා පාර්ලිමේන්තුවට පැමිණීම හෝ දිවුරුම් දීම වළක්වාලීමට කවර නිලයක් දරන්නකුට හෝ කිසිදු ආකාරයකින් උපදෙස් දීමට හෝ විධාන කිරීමට හෝ වෙනත් කුමන ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ කිසිදුම ඉඩකඩක් කවර නීතියක් යටතේවත් සැලසීද නැත.

ඒ අනුව, මෙම අධිකරණය හමුවේ විමසුමට ලක්ව ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ නියෝජිතයකු ලෙස ඡන්ද 1,04,237ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ දෙවැනි වැඩිම ඡන්ද ප්‍රමාණය හිමිකරගෙන ඇති ප්‍රේමලාල් ජයසේකර නමැති පෙත්සම්කරුගේ පාර්ලිමේන්තුවට පැමිණීම හෝ මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීම හෝ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරයකු වශයෙන් හිමි වෙනත් කුමන හෝ වරප්‍රසාදයක් හෝ අවස්ථාවක් වළක්වාලීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට හෝ එලෙස ක්‍රියා කරන ලෙස ඔහුට උපදෙස් දීමට නීතිපතිවරයාට හෝ කිසිදු ආකාරයක බලයක් ආරෝපණය වන්නේද නැත.

මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පාදක වී ඇත්තේ 2020 අගෝස්තු මස 05 වැනි දින පැවැති මහ මැතිවරණයේදී තේරී පත්වූ පෙත්සම්කරු, එලෙස පත්වීමට දින 04කට පෙර එනම් ජූලි මස 31 වැනි දින ඔහුට එරෙහිව එතෙක් විභාග වූ මිනීමැරුම් නඩුවක තීන්දුව දෙමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කොට තිබීමත් ඒ අනුව ඔහුට පාර්ලිමේන්තු පැමිණීමට බාධා එල්ලවීමත් සමඟය.

කෙසේ වෙතත් මැතිවරණයට පෙරදින එනම් නඩු තීන්දුවට දින 03කට පසු අගෝස්තු 04 වැනි දින පෙත්සම්කරු නඩු තීන්දුවට එරෙහිව අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එය අධිකරණයෙන් භාර ගෙනද ඇත. එය ඉදිරිපත් කොට ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු ලෙස සිටිමිනි.

මේ අතර නිසි අවසරය ලබාගෙන තමා හමුවීමට අගෝස්තු මස 20 වැනි දින පැමිණෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැඳවීමක් කොට ඇති බව පවසා ඊට අවසර ඉල්ලා සිටියද ඊටද අවසරය පෙත්සම්කරුට ලැබී නැත.

ඒ අතරතුර හිටපු නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා අගෝස්තු 16 වැනි දින නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වෙත ලිපියක් යොමු කරමින් 1979 අංක 15 දරන අපරාධ විධිවිධාන පනතේ 331(4) ඡේදය යටතේ සැලසී ඇති ප්‍රතිපාදන මත පෙත්සම්කරු අභියාචනයක් ඉදිරිපත් කොට එය භාරගෙනද ඇති හෙයින් ඔහු තවදුරටත් මරණීය දණ්ඩනයට නියම වූවකු නොවන අතර රිමාන්ඩ් සිරකරුවකු පමණක් සේ සලකෙන හෙයින් ඔහුට පාර්ලිමේන්තුවට යෑම සඳහා අවසර ලබාදීමට හැකි බව පෙන්වා දී ඇත.

ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් පසු දිනම එනම් අගෝස්තු 17 වැනි දින නීතිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ, මේ කරුණ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගෙන් පැහැදිලි කිරීම් ඉල්ලා සිටින බවය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ලියන ලද නියෝගයේ තවදුරටත් මෙසේද ප්‍රකාශ විය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අපරාධ විධිවිධාන සංග්‍රහයේ 333 හි දැක්වෙන ප්‍රතිපාදන ගෙනහැර දක්වමින් මරණ දඬුවමට නියම වූවකුගේ අභියාචනයක් අදාළ ඉහළ අධිකරණය විසින් භාරගත් හෙයින් ඔහු 'මරණයට නියම වූවන්ගේ' පේළියෙන් (From the Death Raw) ඉවත්ව නාමිකව මරණ දඬුවම හිමිවූවකු බවට පත්වෙමින් රිමාන්ඩ් සිරකරුවකු බවට පත්වන බවට මනාව පැහැදිලි කරනු ලැබ ඇත.

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තෙරින්පුල්ලේ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කොට සිටි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (1) (ඒ) වගන්තිය ප්‍රකාරව පෙත්සම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්වීමට නොසුදුස්සකු බවට පත්වීමක් සිදුනොවන අතර එම වගන්තිය මෙයට අදාළ කරගත නොහැකි බවද ප්‍රකාශ කරමි.

එලෙස සිදුවීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඩී) වගන්තිය ප්‍රකාරව එම තැනැත්තා වසර 07ක හෝ ඊට වැඩි දෙයාකාරයෙන් කුමන ආකාරයක හෝ (බරපතළ වැඩ සහිත හෝ රහිත) සිරදඬුවමක් නියමව ඉන් මාස 06කට නොඅඩු කාලයක් සිරදඬුවම විඳ සිටිය යුතුය.

තවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නීතිපතිවරයාගේ නිර්දේශය ගැන අධිකරණය හමුවේ සඳහන් කළා මිස එහි පිටපතක් හෝ ගරු විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් නොකොට සිටි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් සිදුකළ සැලකිරීමද විනිශ්චය මණ්ඩලයේ අවධානයට යොමුවිය.

තවද මගේ නියෝග නිකුත් කිරීමට ප්‍රථම 03 වැනි වග උත්තරකාර පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාගේ වාචකය දෙසටද යොමුවෙමි.

ඔහු පෙන්වා සිටියේ ඇප ආඥා පනතේ 20 (3) ඡේදය ප්‍රකාරව මිනීමැරුමකට වරදකරුව මරණ දඬුවම හිමිවූවකුගේ අභියාචනයක් අදාළ ඉහළ අධිකරණය විසින් භාර ගැනීමත් සමඟම 333 (3) වගන්තිය ප්‍රකාරව ඔහු රිමාන්ඩ් සිරකරුවකු බවට පරිවර්තනය වන හෙයින් එතැන් සිට ඔහුට රිමාන්ඩ් සිරකරුවකු සේ සලකා රිමාන්ඩ් සිරකරුවකුට හිමිවන අවස්ථා ලබාදීමට බන්ධනාගාරය ක්‍රියා කළ යුතු බවය.

තවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් පෙත්සම්කරු පාර්ලිමේන්තුවට කැඳවමින් 2020 අගෝස්තු 28 දින නිකුත් කරන ලද ලිපියද ජනාධිපති නිතිඥ ඉගලහේවා මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, සැප්. 08 වැනි දින මෙම පෙත්සම්කාර මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මහ ලේකම්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දී ඇති බවත්ය.

තවද ඔහු (පෙත්සම්කරු) පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් තේරී පත්වූ බවට මැතිවරණ කොමිසම විසින්ද 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ ආඥා පනතේ 62 වැනි ඡේදය ප්‍රකාරව ගැසට් නිවේදනයක් මඟින්ද ප්‍රකාශයට පත්කොට ඇති බවද ජනාධිපති නීතිඥ ඉගලහේවා මහතා පෙන්වා දුන් බවද විනිසුරු මඬුල්ලේ අවධානයට යොමු විය.

අවසන් වශයෙන් මෙම පෙත්සමෙන් හබ කරනු ලැබූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණය ප්‍රශ්න ගත වන්නේ එය ඔහුගේ තීරණයක් ලෙස පිළිගැනීමට ඉඩක් නොමැතිවීම මතය. එනම් නීතිපතිවරයාගේ මතය අනුව හෙවත් තුන්වැනි පාර්ශ්වයක මතයක් ක්‍රියාත්මක කිරීම තීරණයක් බවට පිළිගත නොහැකි බව 'පරිපාලන නීතිය' පිළිබඳව 'වේඩ් ඇන්ඩ් ෆෝසින් (Wade and Forsyth Administrative Law 11th Edition) පරිපාලන නීතිය 11 වැනි මුද්‍රණය තුළ නිරවුල්වම හා පැහැදිලිවම පෙන්වා දී ඇති බැවින්ය.

ඒ අනුව, පෙත්සම්කරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ගෙන ඇති තීරණය ශූන්‍ය හා බලරහිත බව තීන්දු කළ යුතුවෙයි.

එමෙන්ම මෙම පෙත්සම්කරු 2020 මහ මැතිවරණයේදී තේරී පත්වීම ඊට අදාළ බලය ලත් අධිකරණයකින් වලංගු නොවන බවට කිසිදු තීරණයක් හෝ තීන්දුවක්ද දී නොමැති බැවින් එය පූර්ණ වශයෙන්ම වලංගු පත්වීමක් බවට පත්වීමද අධිකරණයේ මෙම නිගමනයට බෙහෙවින්ම හේතුවෙයි.

එබැවින් ඔහුට මන්ත්‍රිවරයකු වශයෙන් හිමි සියලු හිමිකම් ලැබිය යුතුය. (It is the view of this court that petitioner would be clothed with all the rights of an elected member of parliament.)

මෙම සුපැහැදිලි කරුණු කාරණා අනුව පෙත්සම්කරු හට පාර්ලිමේන්තුවට යෑමට හා මන්ත්‍රිවරයකු වශයෙන් ඊට අදාළ කටයුතුවල නිරත වීමට අදාළ වන සේ ඔහු විසින් ඉල්ලා සිටින ලද අතුරු ආඥාවක් නිකුත් කරනු ලබන අතර මෙම සාධනීය කරුණු මත පිහිටා මෙකී පෙත්සම විභාග කිරීමටද එම පෙත්සම් විභාගය අවසන් කොට අවසන් තීන්දුව ප්‍රකාශ කරන තෙක් මෙම අතුරු ආඥාව බල පැවැත්වෙන බවද ඒකමතිකවම ප්‍රකාශ කර සිටින්නෙමු.

ඒ.එච්.එම්.ඩී. නවාස් (සභාපති විනිසුරු), සෝභිත රාජකරුණා (සෙසු විනිසුරු)

ඉහත නියෝජනයට අනුව පෙත්සම්කරු විසින් තමාට මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තුවට යෑමට අවස්ථාව සලසන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නීති උපදෙස් පතා ඇති බවත්, එහිදී මරණ දඬුවම ලබා සිටින බැවින් ඔහුට එම අවස්ථාව ලබාදිය නොහැකි බවට නීතිපතිවරයා කරන ලද නිර්දේශය මත එම අවස්ථාව අහිමි කිරීම නොසුදුසු ක්‍රියාවක් බවත්, එලෙස තුන්වැනි පාර්ශ්වයකින් උපදෙස් පැතීම බන්ධනාගාර කොමසාරිස්ගේ බරපතළ දෝෂයක් බවත් විනිසුරු සිය නියෝගයේ සඳහන් කර තිබේ. යටකී නියෝගයන් ප්‍රකාර ඉකුත් 7 වැනිදා බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුව වෙත කැඳවාගෙන එන ලදුව ප්‍රේමලාල් ජයසේකර නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දුන්නේය.

විපක්‍ෂ මන්ත්‍රිවරු කුපිත වූයේ මන්ත්‍රිවරයා සභා ගැබට පිවිසීමත් සමඟය. වැරැදි නොකළ තැනැත්තා ප්‍රථම ගල ගසන්නැයි ක්‍රිස්තුස් වහන්සේ පැවැසූහ. අපේ අත්වල ලේ නැතැයි මොරදෙන බොහෝ උදවියගේ පැටිකිරිය ඔවුන්ට අමතක වූවාට රටට අමතක නැත. දැන් සියල්ලෝම චෝදනා කරන්නේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් පක්‍ෂග්‍රාහී දේශපාලන තීන්දුවක් ලබාදී මැතිසබය කිලිටි කර ඇති බවය.

ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වූ ඒ.එච්.එම්.ඩී. නවාස් අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කරන්නේ 2014 සැප්තැම්බර් 20 වැනි දින එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිර්දේශය අනුවය. 2016 දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව යහපාලන ආණ්ඩුව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන ලදී.

ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත්කර යවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් හුදෙක් ස්වකීය අභිමතය පරිදි නොවේ. නවාස් විනිසුරුවරයාගේ පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ තීරණයකි. ඔහුට පෙර අභියාචනාධිකරණයේ සභාපති වශයෙන් කටයුතු කළේ විනිසුරු යසන්ත කෝදාගොඩය. ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන අභාවයට පත්වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට විනිසුරු යසන්ත කෝදාගොඩ ශේ්‍රෂ්ඨාධිකරණයට පත්කෙරිණි. අභියාචනාධිකරණයේ පුරප්පාඩුවක් ඇතිවූයේ ඒ අනුවය. හිස්වූ අභියාචනාධිකරණ සභාපති ධුරය සඳහා ජනාධිපතිවරයා නවාස් විනිසුරුගේ නම යෝජනා කර යැවීය.

එම නම අනුමත කිරීම හෝ නොකිරීම සඳහා බලය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවටය. අභියාචනාධිකරණ සභාපති තනතුර සඳහා විනිසුරු නවාස් පත්කිරීම වරදක් නම් එහි වගකීම ව්‍යවස්ථාදායක සභාව විසින් භාරගත යුතුය. අභියාචනාධිකරණයේ සභාපති වශයෙන් විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් පත්කිරීමේ අනුමැතිය දුන් ව්‍යවස්ථාදායක සභාව 2020 ජනවාරි 24 දින රැස්වී එම තීරණය ගෙන ඇත.එහි සභාපති ධුරය දරනු ලැබුවේ කථානායක කරු ජයසූරිය විසිනි. අගමැති මහින්ද රාජපක්‍ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ  ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන්, එ.ජ.නි.ස. මහින්ද සමරසිංහ, ජ.වි.පෙ. බිමල් රත්නායක, එ.ජා.ප. තලතා අතුකෝරල සහ සිවිල් සංවිධාන නියෝජනය කළ ජාවිඩ් යුසුප්, මහාචාර්ය එන්. සෙල්වකුමාරන් යන අයද එහි වූහ. විනිසුරු නවාස් ගැන යහපත් තක්සේරුවක් මේ හැමදෙනාටම තිබිණි. එකී පත්කිරීම දූෂිත බවට අද ඊට දායක වූ අය විසින්ම ප්‍රකාශ කිරීම පුදුමයට කරුණකි.

විනිසුරු නවාස් අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත්වීමත් සමඟ අභියාචනාධිකරණ විනිසුරු ධුරයක පුරප්පාඩුවක් ඇතිවිය. එය සම්පූර්ණ කරන ලද්දේ එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වූ සෝභිත රාජකරුණා පත් කිරීමෙනි. එකී පත්වීම අනුමත කරන ලද්දේ 2020 පෙබරවාරි 20 රැස්වූ ව්‍යවස්ථාදායක සභාවෙනි. සභාපති කරු ජයසූරිය විසින් දරනු ලැබූ අතර සෙසු සාමාජිකයන් වූයේ අගමැති මහින්ද රාජපක්‍ෂ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන්, එජාප තලතා අතුකෝරල, ජවිපෙ බිමල් රත්නායක හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් වූ ආචාර්ය ජයන්ත ධනපාල සහ නීතිවේදී ජාවිඩ් යුසුප් යන අය ය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවූ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ගැනද මෙහිදී පාඨකයන්ගේ දැනුවත් වීම වැදගත්ය. ආරම්භයේ සිටම නිල වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ධුරය දරන ලද්දේ පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය විසිනි. සිවිල් ක්‍රියාකාරීන් තිදෙනකු ව්‍යවස්ථාදායක සභාවට නම් කළ යුත්තේ අගමැතිගේ සහ විපක්‍ෂ නායකගේ එකඟතාවයෙනි. ඒ අනුව ඔවුන් තිදෙනා නිර්දේශ කිරීම එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ සහ විපක්‍ෂ නායක ආර්. සම්පන්දන්ගේ එකඟතාව මත සිදුවී ඇත.

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් ක්‍රියාකාරීන්ගේ සේවා කාලය වසර 3කට සීමාවේ. ඒ අනුව 2015 සැප්තැම්බර් 10 දා ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් පත් කිරීම සඳහා නිර්දේශ කරනු ලබන අතර ඒ සඳහා 2015 සැප්තැම්බර් 20දා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවී තිබේ.

2018 සැප්තැම්බර් 30 වැනි දිනට එම සාමාජිකයන් තිදෙනාගේ තුන්වැනි වසර අවසන් වීමත් සමඟ ආචාර්ය ජයන්ත ධනපාල, මහාචාර්ය එන්. සෙල්වකුමාරන්, නීතිඥ ජාවිඩ් යුසුප් යන අය ව්‍යවස්ථා සභාවට පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් මේ වනවිටත් බලාත්මකව තිබේ.

ප්‍රේමලාල් ජයසේකර සම්බන්ධව අභියාචනාධිකරණ තීරණය දූෂිත බව ප්‍රකාශ කරන පිරිස් රත්නපුර මහාධිකරණය විසින් ඔහුට ලබාදුන් මරණ දඬුවමේ තීන්දුව ගැන කියන්නේ කුමක්ද? එම තීන්දුව ලබාදුන්නේද වර්තමාන ජනාධිපතිවරයා බලයේ සිටියදීය. එම තීන්දුව වැරැදි යැයි ඔවුන් දැන් ප්‍රකාශ කරනවාද? කන්න හිතුණාම කබරගොයා තලගොයා කරගන්නා මෙවැනි න්‍යායන්ට ජනතාව දැනටමත් පිළිතුරු දී තිබේ.

එකම අධිකරණ ක්‍රියාදාමයක එක් තීන්දුවක් හරි හෝ නිවැරැදි වන්නටත් අනෙක් තීන්දුවක් වැරැදි හෝ දූෂිත වන්නටත් හැකියාවක් තිබේද? එයින් පෙනී යන්නේ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්‍ෂය මේ ප්‍රශ්නයේදී දහ අතේ පටලවාගෙන තිබෙන බවය.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයාට ලබාදී තිබෙන මරණ දඬුවම සම්බන්ධ ඇපෑල ඉදිරියේදී විභාග කෙරෙනු ඇත. එය අධිකරණයට භාර කටයුත්තකි. සෑම සියලු දෙයක්ම සිදුවිය යුත්තේ පවතින නීති රාමුවට අනුකූලවය. අර තීන්දුව හරි මේ තීන්දුව වැරැදි යැයි කියන්නට කිසිවකුට අයිතියක් නැත. යම් තීන්දුවක් වැරැදි යැයි උපකල්පනය කරනවා නම් ඒ සඳහාද අධිකරණය තුළින්ම අවකාශයන් පෙන්වා තිබේ. ඒ අනුව ක්‍රියා කරනවා මිස පාර්ලිමේන්තුව දූෂණය වුණා යැයි හිසේ අත්ගසා ගැනීමේ තේරුමක් නැත.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු ලෙස ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීම පිළිගත් නෛතික සිද්ධාන්තවලට කිසිසේත් පටහැනි නොවන බව අපි අවධාරණය කරමු.

- බුද්ධිසිරි ධර්මප්‍රිය / කමල් මහේන්ද්‍ර වීරරත්න - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.