Sep
08
තාප්පයක කොටසක් නිවසක් මතට කඩා වැටී නවගමුව තරුණිය මියගිය හැටි
නවගමුව, කොතලාවල, පාසල් මාවතේ නිවසක් මතට අනාරක්ෂිත උස් තාප්පයක කොටසක් කඩාවැටීමෙන් එම නිවසේ කාමරයක නිදාසිටි තරුණියක් මරුමුවට පත්වී ඇති අතර ඇයගේ මව බරපතල තුවාල ලබා මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි නවගමුව පොලීසිය කියයි.
පෙරේදා (06 වැනිදා) රාත‍්‍රී 11.00 ට පමණ අධික වර්ෂාවද සමඟ කඩා වැටුණ තාප්පයට යටවී මෙලෙස මියගොස් ඇත්තේ ඉෂාරා චාමලී නමැති 27 හැවිරිදි තරුණියකි.ඇය ෆාමසියක සේවය කරමින් සිට ඇත.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ පී.එම්.මල්ලිකා නමැත්තියකි.
මෙම මියගිය තරුණියගේ නිවසට යාබදව පිහිටි දේපල වෙළෙඳ ආයතනයක ඉඩමක් ආවරණය වන පරිදි ඉදිකර තිබූ අනාරක්ෂිත උස් තාප්පයක කොටසක් මෙලෙස නිවසට කඩාවැටීමෙන් අනතුර සිදුව ඇතැයි පරීක්ෂණවලදී හෙළිවූ බව පොලීසිය කියයි.
මියගිය තරුණියගේ මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.
මේ පිළිබඳව නවගමුව පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත නිලධාරීහූ කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප‍්‍රනාන්දු සහ සුගත් පේ‍්‍රමතිලක