Aug
27
කෝටි 42 ක මත්කුඩු ගිනි අවි හා උණ්ඩ අල්ලයි, සීසීඩිය මෙතෙක් සොයා ගත් විශාලම කුඩු තොගය
පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ ගෝලබාලයන් විසින් අංගොඩ ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය හෙරොයින් ගබඩාවක් වැටලූ කොළඹ අපරාධ කොට්ඨාසය එහි ගබඩා කර තිබූ රුපියල් කෝටි 42 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමග ටී 56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගයක්ද ඊයේ (26 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
හොර රහසේම ඩුබායි රාජ්‍ය බලා පලායෑමට සුදානමින් කටුනායක ගුවන්තොටුපළේ සිටියදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ සාමාජිකයන් සිව් දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම හෙරොයින් ගබඩාව වැටලීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වූහ.
මෙහිදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙතෙක් සොයාගත් විශාලතම හෙරොයින් තොගය බව පොලිස් මූලස්ථානය කියා සිටී.
මෙහිදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 42 කට අමතරව ටී 56 ගිනි අවි 3 ක්, මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝලයක්, ටී 56 උණ්ඩ 170 ක් එම නිවසේ ස`ගවා තිබූ බව පොලිසිය පවසයි.
මෙම හෙරොයින් තොගය ගබඩා කර තිබූ නිවස අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලිය විසින් හෙරොයින් බෙදාහැරීමේ මධ්‍යස්ථානය ලෙස පාවිච්චි කර ඇති බවද විමර්ශනවලින් හෙළි වී ඇත.
කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලබාලයන් සිව් දෙනාගෙන් එක් අයෙකු මෙම හෙරොයින් ගබඩාව සිය නිවසේ පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
සුඛෝපභෝගි වාහන යොදාගෙන එම සැකකරු විසින් හෙරොයින් තොගපිටින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බෙදාහැර ඇති බවද හෙළිවී තිබේ.
එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ වැලිගම ප්‍රදේශයේ සිට මෙම හෙරොයින් තොගය තමන් විසින් කොළඹට ගෙනැවිත් අංගොඩ පිහිටි තම නිවසේ ගබඩා කර තිබූ බවයි.
අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා ඝාතනය වීමට පෙර මෙම හෙරොයින් තොගය ඔහු විසින් ලංකාවට එවා තිබූ බවද සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. ජේ. නන්දන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා, පොලිස් පරීක්ෂක නිශාන්ත, උප පොලිස් පරික්ෂක දුනුසිංහ ඇතුළු නිලධාරීහු මෙම විමර්ශන කටයුතු මෙහෙය වූහ.
- හේමන්ත රන්දුණු