Aug 27

හැට්ටයයි හොර ගෑනු හය දෙනයි - කොළඹට කුඩු බෙදු කුඩු රැජිනියෝ


ගුණවතීලා, සීලවතීලා, කුසුමලතාලාගේ පටන් කසිප්පු විකුණන ජාවාරම් කළ කාන්තාවන්ගේ අතීතයක් අපට ඇත්තේය. ඒ අතීත කසිප්පු නම් පරදා අද වන විට කරළියට විත් ඇත්තේ කුඩු විකුණන කාන්තා රැලකි. කුඩු සෙල්විගේ පටන් කුඩු චූටි, කුඩු හේමමාලි, කුඩු සුදු, කුඩු ලොක්කි, කුඩු පොඩ්ඩි, බෝක්කුවේ නෝනා, අචලා, කුමාරි වැනි නම් කුඩු සම්බන්ධයෙන් පොලිස් පොත්වල ලියැවුණු ප්‍රසිද්ධ ජාවාරම් කාරියන්ගේ නම්ය.

කුඩු ජාවාරම්කාරියන්ගේ නම් අතර ඉහළින්ම තිබුණේ කුඩු සෙල්විගේ නමයි.

එල්.ටී.ටී.ඊ. යේ රාධා බළකා වෙඩික්කරුවකු වන කෙනඩි හෙවත් බුම්මා අතින් මිය යනතුරුම කුඩු සෙල්වි ජම්පටා වීදිය කේන්ද්‍ර කරගෙන කුඩු ජාවාරම කළාය. පසුගිය වසරේ කොළඹ හෙල්ලූ මිනිස් ඝාතන රැසක්ම වූයේ ජම්පටා වීදියේ කුඩු සෙල්විලා මුල්කරගෙනය. පුක්කුඩිකන්නාගේ පාතාලය හා ගැටුණු සෙල්විලා මිය ගිය පසු සෙල්විගේ පුත්තු සටන අතට ගත් නිසා කුඩු ජාවාරම මුල්කරගත් එම සටන තවමත් අවසන් වී නැත්තේය. පුක්කුඩිකන්නා හා බුම්මා ඉන්දියාවට පනින්නේත් ලෙයට ලෙයින් පලිගන්නා මෙම සටනේ ප්‍රතිඵලයකින්ය.

ඉන්දියාව හා ලංකාව අතර සටනක් මෙන් ඇවිලුණු මෙම පාතාල ගින්න දැනට යටපත්ව ඇත්තේ වත්මන් ජනපති යටතේ ඇරැඹි පාතාල මර්දන මෙහෙයුම් නිසාය. නමුදු එය තවමත් අළුයට ගිනි මෙන් දැවි දැවී පවතියි.

ජම්පටාවීදිය, තොටළඟ, ග්‍රෑන්ඩ්පාස්, බොරැල්ල කේන්ද්‍ර කරගත් කුඩු ජාවාරම ඇතුලේ අදටත් කාන්තාවන් බලවත් වී ඇත්තේ පාතාලයේ මරා ගන්නා ගිනි කෙළි සටන් අතරේමය.

ඒ අයුරින් සැමියා නිසා කුඩු ජාවාරම පටන් ගත් කාන්තාවෝ බොහෝ වෙති. සැමියා කුඩුත් සමග හිරේට ගිය කල හෝ මැරුම් කා වළපල්ලට ගිය කල එම ජාවාරමට අත් පොත් තබන්නේ ඔවුනගේ බිරින්දෑවරුන්ය. කුඩු ජාවාරමෙන් මුදල් උපයා කා බී සැපවිඳ හුරු වූ ඔවුන්ට සාමාන්‍ය රැකියාවක් කර ජීවත්වන්නට නොහැකිය. ඒ තරමටම එම කාන්තාවන්ද මුදල් අතපත ගා සුඛෝපභෝගී ජීවිත ගත කරන්නට හුරු වී සිටි නිසාය.

‘‘සර් අපිට මේ රස්සාව මිසක් වෙන රස්සාවක් කරන්න බැහැ. මේ වගේ සල්ලි හම්බකරන්න බැරි නිසයි මේ ජරා රස්සාවට අත ගැහුවේ. ජීවිතේ මේ විදියට වැරැදියි කියලා හිතුවේ නැහැ.’’ කෙටි කලක් හෝ නීතිවිරෝධී ජාවාරම්වලින් සල්ලි සොයා සුපිරි ජීවිත ගෙවූ ඔවුන් හිරගෙදර අපා ජීවිතයට හුරු වූ පසුව කියන්නේ එවැනි කතාය.

එසේ කුඩු රජ කරන ප්‍රදේශ අතරින් බොරැල්ල පොලිස් වසම අවුරුදු තිහකට එහා කුඩු ජාවාරම හා ඈඳුණු පරම්පරාගත පිරිසක් සිටින බල ප්‍රදේශයකි.

කුඩු ජාවාරමේ මූලාරම්භයට බොරැල්ල බෙහෙවින් සම්බන්ධය. එයට හේතුව වැලිකඩ බන්ධනාගාරය ඒ ආසන්නයේ වීමය. එවකට බොරැල්ල කේන්ද්‍ර කරගෙන සිටි ප්‍රධාන කණ්ඩායම් දෙකක් විය. එක් කණ්ඩායමක් වූයේ මැගසින් පාරේ ඕල්කට් නමගිය පාතාල නායකයාගේ පිලයි. ඕල්කට්ගේ පවුලටම ඥාතිකම් කී ජිබෝයි අනෙක් කණ්ඩායමේ විය. මැගසින් පාර හා සින්න දූපත යන එකිනෙකට යාවුණු වතු දෙක අතර ගැටුමේ ආරම්භයත් මත්කුඩු ජාවාරමයි. එකිනෙකාට විරුද්ධව ඔත්තු දෙමින් ඇරැඹි කුඩු සටනේ අවසානය ලෙස දැනටමත් වතු දෙකේ විසිහය දෙනකු පමණ මියගොස් අවසන්ය. අද වන විට ඕල්කට් හා ජිබෝයි යන දෙදෙනත් ජීවතුන් අතර නොමැත්තේය. ඒ මත්කුඩු හා පාතාලය අතර ගැටුම්වල ප්‍රතිඵල ලෙසිනි. ඕල්කට් පොලිස් විශේෂ කාර්ය බළකාය අතින් මියයන්නේත් කෙලවරක් නොවූ මිනිස් ඝාතන රැල්ල හා කුඩු ජාවාරම පිටුදකින්නට ඇරැඹි මෙහෙයුමකිනි.

මේ කියන සින්න දූපතේ ඉකුත් සතියේ දී විශේෂ වැටලීමක් කරන්නේ බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය ඇතුළු කණ්ඩායමක් විසිනි.

බන්ධනාගාරගත කුඩු ජාවාරමේ මුදල් කළමනාකරණය කළ කාන්තාවක වූ අමාලි නමැත්තිය පොලිස් දැලට කොටුවන්නේ එම මෙහෙයුමෙනි. මවත් සමග සුඛෝපභෝගී ජීවිතයක් ගෙවමින් දෙමහල් නිවසක ජීවත් වූ ඇයව අල්ලාගත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 1800ක් හා එක්ලක්ෂ පනස්දහසක මුදල්ද සමගිනි. බන්ධනාගාරගත ජාවාරම්කරුවන් එවන මුදල් ගිණුම්ගත කිරීම හා කුඩු තොග ප්‍රවාහනය කරවීම ඇයට පැවරුණ කාර්යය විය. නිවසේ වැඩ කරන්නට එන කම්කරුවන්ට පවා ඇය මුදල් වෙනුවට ගෙවන්නේ කුඩු පැකට්ය. කුඩු පානයට හුරුවූවන් නිවසේත් වත්තේත් වැඩ කළ පසුව කුඩු පැකට් දී ගනුදෙනුව හමාර කිරීම ඇගේ සිරිත වී ඇති බව කියයි.

ඇයව අත්අඩංගුවට ගන්නට පෙර දිනත් ඇගේ ගිණුමේ නවලක්ෂ අනූපන්දහසක මුදලක් සංසරණය වී තිබිණි. ඒ අනුව බැංකු ගිණුම් පරික්ෂා කරද්දී ජනවාරි මාසයේ සිට රුපියල් ලක්ෂ හැට එකක මුදලක් සංසරණය වූ බවට අනාවරණය වන්නේය.

ඕල්කට්ගේ කල්ලියට සම්බන්ධ පවුල් පසුබිමක් ඇති ඇගේ පියා මීට වසර 15කට පෙර ජිබෝයිගේ කල්ලිය අතින් මියැදෙන්නේත් වතු දෙකේ සටනේ ප්‍රතිඵලයකිනි.

වසර විසිනවයකට කලින් මෙම සැකකාරියගේ ආච්චි පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සැකකාරිය විසින් පාසල් යන අවුරුදු දහයක් තරම් වයසේ දී ලියූ දින පොතක සටහනක් තබා තිබුණාය.

‘‘ආච්චිව කුඩුවලට අල්ලන් ගියා’’ යැයි එම පුවත දිනපොතේ සටහන් වී ඇත. වසර විසි නවයකට පෙර ඇගේ ආච්චිව කොටුව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 35ක්ද සමගය.

සින්න දූපතේ අබිතාත් මෙම සතියේ බොරැල්ල පොලිස් අත්අඩංගුවට ගන්නේ රුපියල් දෙලක්ෂ අනූනවදහසක මුදල්ද සමගිනි. දරුවන් තිදෙනාගේ බැංකු ගිණුම්වලට ලක්ෂ දහඅටක මුදලක් තැන්පත් කර ඇත්තේ ද කුඩු ජාවාරමෙන් උපයා ගත් මුදලින් බව පොලිස් විමර්ශනවල දී හෙළිවන්නේය.

ඇගේ සැමියාත් වසර හතරක පටන් හිරගෙදර සිටින්නේ කුඩු ජාවාරමක අච්චුවක් විඳිමින්ය. නිවසේ සී.සී.ටී.වී, කැමරා පවා සවිකරගෙන සැප පහසු ජීවිතයක් ගත කරන ඇයගේ බැංකු ගිණුම්වලට මුදල් වැටුණද ඇය බැංකුවකටවත් නොයන තැනැත්තියක බව විමර්ශනවල දී හෙළිව ඇත.

කුඩු හා පාතාලය ගහට පොත්ත මෙන් ඈදුණු එකකි. කුඩු ජාවාරමේ නිරත පාතාලයෝ බොහෝ දුරට තම ජාවාරම් සඳහා බිරින්දෑවරුන් මෙන්ම අනියම් බිරින්දෑවරුන්ද යොදා ගනිති.

දහයියාගම ලොකු මල්ලි හෙවත් එස්.එෆ්. ලොක්කා එවැන්නෙකි. අනුරාධපුරයම හොල්ලා සිටි එස්.එෆ්. ලොක්කා මහ මැතිවරණයදා වෙඩි කා මියයන්නේත් පෙම්වතියක සමග ගමන් කරද්දිය. හිරගෙදර සිටියදී පටන් කාන්තාවන් ඇතුළු ගෝල බාලයන් යොදවා හෙරොයින් ජාවාරම කරගෙන ගිය එස්.එෆ්. ලොක්කාගේ අන්ත:පුරයක් ගැන හෙළිවන්නේද දැනට කෙරෙන විමර්ශනවලදීය. ඒ විමර්ශනවල දී එස්.එෆ්. ලොක්කා කාන්තාවන් 25 දෙනෙකු සමග අනියම් සබඳතා පවත්වා ඇතැයි පොලිසිය කියන කතාවයි.

හෙරොයින් නිසා බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරුවන්ගේ බිරින්දෑවරුන් ඇතුළුව කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ කාන්තාවන්ද ඔහු ඇසුරු කළ බව පොලිස් විමර්ශනවලින් කියැවුණේය.

කුඩු ජාවාරමෙන් ඉපැයූ මුදලින් අනියම් බිරින්දෑවරුන් විසිපහක් එස්.එෆ්. ලොක්කා නඩත්තු කළ බවට අනුරාධපුර පොලිසිය සොයාගනිද්දී මිනුවන්ගොඩ පොලිසිය කුඩු පාතාලයේ තවත් අන්ත:පුරයක් ගැන අනාවරණය කරගත්හ. ඒ හැට්ටයාගේ අන්ත:පුරයයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ යටතේ ඇරැඹි විමර්ශනයක දී වේයන්ගොඩ හැට්ටයාගේ ජාවාරම්වල සුලමුල හෙලිවන්නේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් විසින් වේයන්ගොඩ දී හෙරොයින් ග්‍රෑම් පහක් ද සමගින් හැට්ටයා කොටු කර ගැනීමත් සමගයි.

41 හැවිරිදි වියේ පසු වූ හැට්ටයාගේ නියම නම වන්නිඅච්චි කංකානමගේ ප්‍රියන්ත රණවීරයි.

හැට්ටයා නම ඔහුට ලැබී ඇත්තේ කුඩා වියේ බව කියයි. තරමක් හැඩකාරයකු වූ ඔහු දුප්පත් පවුලක උපන්නෙකි. එනමුත් කායවර්ධන ව්‍යායාම්වල යෙදෙමින් ඇඟ හදාගෙන ඇති හැට්ටයා ඒ අවදියේ ඇඟට හිර හැට්ටයක් වැනි ටීෂර්ට් නිතර ඇඳි නිසා ‘‘හැට්ටයා’‘ නම වැටී තිබෙන්නේය.

පාසලේ දහයේ පන්තිය දක්වාවත් පාසල් නොගොස් ඇති හැට්ටයා බුද්ධිමත් ලෙස ජීවිතය ගොඩනගාගෙන ඇති ලෙසත් විමර්ශනවල දී හෙළි වී ඇත. මුලින්ම වත්තල ප්‍රදේශයේ තේ කොළ කර්මාන්ත ශලාවක කම්කරුවකු ලෙස රැකියාව කර ඇති හැට්ටයා තුළ එදවස පටන්ම දියුණු වීමේ ආශාවක් තිබුණු බව කියන්නේය. ඒ නිසාම ඔහු මුදල් පොලියට දීම කර ඇති අතර ඒ සමග පොඩි පොඩි භාණ්ඩද උකසට ගැනීම සිදු කර ඇත. නමුත් උකස් වැඩේ ඔහුට බංකොළොත් ව්‍යාපාරයක් වී ඇත.

සල්ලි සෙවීම එසේ කරන්නට බැරි වූ නිසා හැට්ටයා ඊළඟට නැවතී ඇත්තේ ඒ වන විට ගමේ සිටි කුඩු ව්‍යාපාරිකයන් ළඟයි. මේ වන විට බන්ධනාගාර ගත වී සිටින චමින්ද නොහොත් රගරා, බස් තුෂාර, බස් සමන් වැන්නෝ අතරට ගිය ‘හැට්ටයා’ කුඩුවලින් සල්ලි හොයන්නට පටන් ගෙන ඇත.

මුල් අවස්ථාවේ ඉතා ප්‍රසිද්ධියේ කුඩු විකුණා මුදල් හම්බ කරන්නට තරම් හැට්ටයා නිර්භය වී සිටියේය. ඒ අතරතුර ගමට උදව් කරගෙන ගම බය කරගෙන සේ සිටි හැට්ටයා කුඩු වෙළෙඳාමෙන් පොහොසතෙක් වෙද්දී විවාහයක් ද සිදු කරගත්තේය. ඊට අමතරව ගමේ සිටි ඇහැට කනට පෙනෙනා තරුණියන් සමගද බොහෝ ළඟ සම්බන්ධතා පවත්වාගෙන ගියේය.

අවුරුදු ගණන් ගෙවුණේය. හැට්ටයා කුඩුවලින් කෝටි ගණන් මුදල් හෙවූ අතර ඒ මුදලින් ඔහු හා බිරිඳ පමණක් නොව අනියම් බිරින්දෑවරු ලෙස තබාගෙන සිටි කාන්තාවන් හය දෙනාටද කුමාර සැප දුන්නේය. ඒ වන විට රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සමගත් සම්බන්ධතා ගොඩ නගාගෙන ප්‍රාදේශීය රජෙකු සේ බලය පතුරවා ගෙන සිටි ‘‘හැට්ටයා’’ගේ කුඩු ව්‍යාපාරය කලගෙඩිහේන, නිට්ටඹුව, කොරස මගලේගොඩ, යක්කල වැනි ප්‍රදේශ දක්වාත් ව්‍යාප්තව තිබී ඇත. අවුරුදු දහයක් දොළහක් තිස්සේ ‘‘කුඩු’’වලින් රජ වී සිටි හැට්ටයා නීතියේ රැහැනට කොටු කරන්නට කිසිවෙක් උත්සාහ නොදැරුවත් මෙදා ඔහුට වැඩ වැරදුණේය. ඒ කුඩු ජාවාරමේ අලගිය මුලගිය තැන්වල පටන් ඊට සම්බන්ධ සියල්ලෝම සොයනා මහා මෙහෙයුමක් ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් ඇරැඹීමත් සමගය. ඒ අනුව මිනුවන්ගොඩ පොලිසිය කොටු කරගන්නා හැට්ටයාව සුඛෝපභෝගී නිවාස දෙකක්, සැප වාහන සමග රුපියල් ලක්ෂ 98ක චෙක්පත් 48ක්ද කෝටි හතක පමණ මුදලක් ගනුදෙනු කළ චෙක්පොත් 24ක්ද සොයාගත්තේ වැඩිදුර විමර්ශනවලදීය. කුඩු ජාවාරමෙන් උපයන මුදලින් හැට්ටයාගේ අනියම් බිරින්දෑවරුන් හය දෙනා අතරේ සිටි ශානි, ගංගි, නිල්මි, චමි යන කාන්තාවන්ටද ගෙවල් දොරවල් යාන වාහන පවා අරන් දුන් බව හෙළිවන්නේ පොලිස් විමර්ශනවලදීය. ඔහු මේ අනියම් බිරින්දෑවරුන් ද කුඩු ජාවාරම සඳහා සම්බන්ධ කරගෙන ඇත. කුඩු ජාවාරම් කටයුතුවලදී කාන්තාවන් වාහනය ඉදිරිපස තබාගෙන යමින් ව්‍යාපාරිකයකු සේ පෙනී සිටීම හැට්ටයාගේ උපක්‍රමය වී ඇත.

මේ ආකාරයට කාන්තාවන් කළ හෙරොයින් ජාවාරමේ අතරේ මේ දිනවල කතා බහට ලක් වූ තවත් චරිතයක් වූයේ මර්වින් ජානා නමැති කුඩු ජාවාරම්කරුගේ සහෝදරියයි. රවුදි නම් වූ ඇගේ පුතාද කුඩු ජාවාරමට හිරේ ගොස් සිටින්නෙකි. ඇගේ බැංකු ගිණුම් තුනකින් පමණ කුඩු ජාවාරමෙන් ඉපැයූ බව කියන රුපියල් තිස්කෝටි හැටනව ලක්ෂ හැත්තෑ එක් දහසක මුදලක් සංසරණය වී තිබුණේය. සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ ඇගේ ගිණුම්වලට මුදල් තැන්පත් කරන්නේ රටපුරා විසිරී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතනයක් පවත්වාගෙන යන බවට පෙනී සිටිමින් ඇය මෙම ගිණුම් ආරම්භ කර තිබුණාය.

අගේ සොහොයුරා වූ මර්වින් ජානා බන්ධනාගාරයේ සිට මෙහෙයවන කුඩු ජාවරමේ මුදල් බැංකු ගත කිරීම කළේ බැංකු මහත්තයා ලෙස පෙනී සිටි විශ්‍රාමික බැංකු කළමනාකරුවකු ලවාය. බැංකු කළමනාකරුගේ ගිණුමක් ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට මර්වින් ජානාගේ සොයුරියගේ නමට මුදල් බැර කර තිබුණේය. මර්වින් ජානාගේ බිරිඳද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මත්කුඩු ජාවාරමට සම්බන්ධවය. ඇගේ බැංකු ගිණුමේ තිබූ මුදලද රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකි. මර්වින් ජානා විසින් යාචකයකු වශයෙන් සිටි ගාමිණීව තම බේකරියක වැඩට ගෙන ඔහුගේ නමින් අරඹා ඇති බැංකු ගිණුමකට රුපියල් කෝටි 14කට වඩා තැන්පත් කර තිබූ බවටද අනාවරණය වන්නේ මේ සම්බන්ධව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්නගේ නියෝග මත කරන විමර්ශනවලදීය. ඔහුගේ නමට බැංකු ගිණුම් තිබුණද ගිණුමේ පොත් හා කාඩ්පත් තිබුණේ මර්වින් ජානාගේ බිරිඳ යටතේය.

මේ කියැවුණේ මහා පරිමාණ කුඩු ජාවාරමේ නොදකින පැත්තේ කොටසක් පමණකි.

තොටළඟ, මෝදර, ග්‍රෑන්ඩ්පාස් කේන්ද්‍ර කරගත් කුඩු පාතාල කල්ලියේ කාන්තා කණ්ඩායම ද බලවත්ය.

ඔවුන් අතරේ පොඩ්ඩි හා ලොක්කි යනු අක්කා නගෝ දෙදෙනෙකි. කුමාරි, බෝක්කුවේ නෝනා, කලු නංගි, කුඩු චූටි, කුඩු හේමමාලි සියලු දෙනා තවත් ජාවාරම් කාරියෝය. ඔවුන් සියලු දෙනා කරන්නේ ඇඟට නොදැනෙන සීතල සටනක් බව විමර්ශකයෝ කියති. ඔවුනට දැන් ඇති තරමට යාන වාහන දේපොළ හම්බර කර හමාරය. හුඟක් තරුණයින් මත් රකුසාට හුරුවන තරමට මොවුන් ධනවතුන්ය. ඔවුන් විසින් කෑලි සියය බැගින් පාර්සල් සාදවා කණ්ඩායම් අතරේ බෙදා හැරීම කරන්නේ කුඩු අතටවත් නොගෙනය.

ග්‍රෑන්ඩ්පාස්, කඩවත, වත්තල වැනි ප්‍රදේශයන්ට කුඩු පැකට් පාර්සල් කර යවන ජාවාරම් මෙහෙයවීම පමණකි ඔවුන් කරන්නේ. රුපියල් අටසියයක්ට මිල කරන පැකට්ටුවක් දහසකට විකුණා ගානක් සොයා ගන්නා බිලි බෝයිලා මොවුන්ටද ඕනෑ තරම් ඇත්තේය. මේ අයුරින් විවිධ උපක්‍රම යොදා කුඩු විකිණීම කරන කාන්තාවන් අතට ගිය ‘‘කුඩු ජාවාරම’’ දැන් ඔඩු දුවා හමාරය.

මේ සිදුවීම් අතරේ තම තරුණ දිවිය ආරම්භ කරද්දීම වැරැදි පාරෙන් මුදල් හම්බකරන්නට ගොස් ජීවිතය අඳුරේ වැටුණු තරුණියෝද සිටිති. පසුගිය සති කිහිපය තුළ වැටලීම්වලදී කොටු වූ තරුණියන් අතරේ එවැනි අයද සිටියේය.

උමේෂා එවැන්නියකි. ඇය වයස අවුරුදු 21 ලැබුවා පමණි. විවාහ වී සති දෙක තුනක් යද්දී ඇයට උරුම වන්නේ මහ උළුගෙදරය. ත්‍රීවිල් රියැදුරකු වූ තම සැමියා සමගින් හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් රැගෙන යද්දී කොළඹ අපරාධ කොට්ඨාසයට කොටු වූ වරදටය.

උමේෂා මෙහි බරපතළකම දැන සිටියේ නැත. කුඩු ග්‍රෑම් දෙකකට වඩා සන්තකයේ තිබුණේ නම් මරණ දණ්ඩනය නියම වන බව ඇය නොදැන සිටින්නට ඇත. සැමියා සමගින් ඉක්මන් ගමනක් යෑමට ඒ මග තෝරාගත් ඇයටත් ජීවිතයම හිරගෙදරට සීමා කරන්නට සිදුවුණේ කුඩු විකිණීමට පෙලඹුන වරදටය. මෙතෙක් කුඩු ජාවාරමෙන් සුරසැප විඳි සැමටම දැන් දැන් ඒවායේ පලවිපාක ලැබෙමින් යන්නේ එසේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.