Jul
14
පොලිස් නිලධාරියෙකු හප්පා මරණයට පත් කර ටිපර් රථයක් පළා යයි
මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හප්පා, ඉන් එක් නිළධාරියෙකු මරණයට පත් කර පළායෑමේ සිද්ධියක් හක්මන ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
ඊයේ (13) රාත්‍රියේ හක්මන, කිරින්ද නගරයේ වාහන පරික්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් විසින් මාතර දෙස සිට හක්මන දෙසට ධාවනය වූ ටිපර් රථයක් නැවත්වීමට සංඥා කර තිබේ.
එහිදී අදාළ ටිපර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන්, හක්මන දෙසට ඉදිරියෙන් ඇති මාර්ග බාධකයේ නිළධාරීන් ඒ සම්බන්ධව දැනුවත් කර ඔවුන් ටිපර් රථය ලුහු බැඳ ඇත.
මෙලෙස පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථය, මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේ යදී සිටි පොලිස් නිලධාරීන් විසින් නවතා පරික්ෂා කර තිබේ. එම අවස්ථාවේ අදාළ ටිපර් රථය ලුහු බැඳ ආ නිළධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබේ.
එහිදී, පොලිස් නිළධාරීන් විසින් අදාළ ටිපර් රථයේ රියදුරු හට අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර, අවවාද කර මුදා හැර තිබේ.
පසුව, හක්මන දෙසට ධාවනය කළ ටිපර් රථය සුළු වේලාවකින් පසු මාතර දෙසට නැවත පැමිණ, එම මාර්ග බාධකය අසල රාජකාරියේ යෙදී සිටි නිළධාරීන් යටකර පළා ගොස් තිබේ.
එම සිදුවීමෙන්, පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇති අතර පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ හක්මන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, වයස අවුරුදු 36ක වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.
අදාළ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.
Source - මව්බිම