Jul
21
රුපියල් තිහක් දී අවුරුදු එකොළහක දැරියක කෙළසූ නීච මුදලාලි මාමා
සැකකරු අරුමෝසම් බඩු වෙළෙන්දෙක්...
කිහිප වතාවක්ම දැරිය අපයෝජනය කරලා...
කඳු වළල්ලකින් වටව කොළපැහැයෙන් වර්ණවත්ව සොබාවික අසිරිය මොනවට දිස්වන මහනුවර නගරය මෑතක සිට යළිත් කලබලය. දහවල් කාලයේ කොටුව නගරය සිහිගන්වන තරමටම මහනුවර නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසල මධ්‍යම වෙළෙඳපොළ පෙදෙස කලබලකාරීය.
ඇපල් ලාභයි... අඹ ලාභයි... රඹුටන් සීයට දහයයි... වාසනාව අදයි කෝටිපතියකු වන්න ගන්න වාසනාව... ආදි වැකිවලින්ද කපුටන්ගේ කන්කරච්චලයෙන්ද පමණක් සවන් පිරෙන මේ පෙදෙස නානා විධ නානා තරාතිරමේ උදවිය නිරතුරු කරක් ගහන්නේ ඇයි...? මොකද...? වලිද...?සේ තමන්ගේ හයිය හොඳහැටි පෙන්විය හැකි බව සරුවාංගයෙන්ම පෙන්වමින්ය. ඒ තරමටම කට්ටිය ඕනෑම වැඩකට ලෑස්තිය.
මධ්‍යම වෙළෙඳපොළ ඇතුළත අමුතු නිහඬ බවක් ගන්නේ වෙළෙඳ පොළ අවට එළියේ ඇති තරම් කෑකෝ ගසන මිනිසුන් ගහණ නිසාය. තෙමහල් මධ්‍යම වෙළෙඳපොළේ පළමු හා දෙවැනි මහල්වල පමණක් වෙළඳාම් පවත්වාගෙන යන අතර කුඩා කුඩා කඩකාමර වෙන්කොට බෑග් සපත්තු නිමි ඇඳුම්, ඖෂධ හල්, සම්භාණ්ඩ බතික් ආදිය දෙවැනි මහලේ ඇතිපදමට පුරවා විකිණීමට තබා තිබේ. ජාති භේදයක් නැතිව සිංහල මුස්ලිම් දෙමළ පමණක් නොව මැලේ ජාතිකයින්ද මෙහි වෙළඳසල් පවත්වාගෙන යන්නෙ කලක සිටය. පළමු මහලේ කෑම බීම, සිල්ලර මාළු මස් කඩද එළවළු පලතුරු පලා ආදිය විකුණන කුඩා කඩපේළි ද ඇත්තේය...
”මාමේ... මාමේ... කොණ්ඩ කට්ටක් දෙන්නකෝ..... හරි හරි මං සල්ලි දෙන්නම් අප්පා.....” කියමින් දෙවැනි මහලේ සැරිසරන පුංචි කෙළිපොඩියෙක් සෑම දිනකම සවස් කාලයේ මධ්‍යම වෙළඳපොළ තුළ කිසිබයක් සැකක් නැති ව සැරිසරන්නේ මේ මෑතක සිටය. ඇය කුමාරි යැයි අපි හඳුන්වමු..
කුමාරි සෑම දිනකම මාර්කට් එකට එන්නේ ආච්චි සමගය. ආච්චි නුවර නගරයේ ස්විප් ටිකට් වෙළඳාම් කරන්නේ අද ඊයෙක සිට නොවේ. ඇය උදෑසන සිට ටිකට් විකුණා සල්ලි බඳින්නට සවසට යන්නේ මාකට් එකේ උඩු මහලේ සංවර්ධන ලොතරැයි ඒජන්සිය වෙතටය. ඒ සමග යන කුමාරි ආච්චි සල්ලි බඳින තුරු කඩයක් කඩයක් ගාණේ යන්නේ කොණ්ඩකටු වූල් බෑන්ඞ් ලේන්සු ආදි මනිබඩු බලන්නටය. ඇය ඒවාට ඇති පදමට ආසා කරයි. ඇතැම් කඩ අසලට යන ඇය වීදුරු සෝකේස තුළ ඇති විච්චූර්ණ කොණ්ඩකටු, මාල වළලූ ආදිය දෙස බලමින් තනිව සිනාසෙයි... ගී කියයි... නටයි... යළිත් තවත් තැනකට යයි.
කුමාරිගේ අම්මා කුමාරිට වයස අවුරුදු පහක් පිරෙන තැන විදෙස් ගතවන්නේ පවුලේ අගහිඟකම් මකා ගතයුතු බව සිතාය. කුමාරිගේ පියා මහනුවර නගරයේ රජයේ ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන්නේ ද කලක සිටය. කුමාරිට ඇත්තේ ඇයට වඩා වසර තුනක් වැඩිමහල් සහෝදරයකු පමණි. අම්මා රට ගියදා පටන් කුමාරිටත් අයියාටත් හයියට ඉන්නේ ආච්චි සහ තාත්තාය. මේ උදවිය පදිංචිව සිටින්නේ කටුගස්තොට මෙගොඩගමය. දිනපතා අලූයම මහනුවර නගරයට පැමිණෙන මේ පිරිස දවසට සරිලන සොච්චමක් සොයා සවසට අඩුපාඩු කඩමාළු රැගෙන යළි නිවසට යන්නට පුරුදුව සිටි. අයියාත් නංගීත් දෙන්නා දැන් ආච්චි සමග ටිකට් විකුණන තැනට එන්නේ පුරුද්දකට වාගේය. ඉස්සර නම් මේ දරුවෝ උදේ වරුවේ පාසල් ගොස් හවස්වරුවේ පමණක් ආච්චි සමග සිටියෝය.
ආච්චි ටිකට් සල්ලි බඳින්නට යන විට ආච්චි වට කැරකෙමින් යන කුමාරි මාර්කට්ටුවේ දෙවැනි මහලේ සැරිසරන්නේ කිරිල්ලියක වාගේය. කිසිදු පැකිලීමක් නැතිව යන ඇය දෙස දින කිහිපයක සිට ඇස ගසා සිටි නරුමයකු මේ දෙමහල් වෙළෙඳ කුටියක සිටියේය. කුමාරිගේ කරුමයට හොඳම ලස්සන කොණ්ඩකටු තිබුණේ ඔහු ළඟය. ඒ නිසාම කුමාරි දිනපතාම පාහේ කොණ්ඩකටු සෝකේසය බලන්නට යන්නේ අද අලූත් වෙලා ඇති යැයි සිතාය. මේවග අවබෝධ කරගත් නරුම මුදලාලි ”බබාට වළලූ නම් ලස්සනට තියෙයි...” කියමින් කතාවෙන් යාළු කර ගත්තේය.
ඇසට පේන ලස්සන හැමතැනම ඇතියැයි සිතන්නට තරම් ළද බොළඳ පුංචි සිත කඬේ මාමාගේ වචනයට ඇලෙන්නට ගියේ මොහොතකි. ‘අනේ මාමේ මට කොණ්ඩ කට්ටක් දෙන්නකො... මං සල්ලි දෙන්නම් ආච්චි මට සල්ලි දුන්නා කොණ්ඩ කටු ගන්න.. මේ බලන්න මේ රතුපාට කට්ට ලස්සනයි අප්පා...” කුමාරිගේ වචන තොරතෝංචියක් නැතිව පිටපනින්නේ කෙසේ හෝ කොණ්ඩකට්ටක හිමිකාරිත්වය ලබා ගැනීම එකම අරමුණ නිසාය.
දැන් පොටක් පෑදී ඇති බව සිතූ මුදලාලි ට අතින් පාඩු වූවත් පාඩුවක් නැති බව හැඟී ගොස් තිබු ගාණය. ඔහු කුමාරිට රුපියල් විස්සකට තිහකට විසිතුරු බඩු දෙන්නට තරම්ම සූක්ෂම වූයේ කුමාරි තමන්ගේ ග‍්‍රහණයට හසුකර ගත හැකි බව සිතූ නිසා වන්නට ඇත. කුමාරි නොවරදවා ම මුදලාලි මාමා බලන්නට යන්නට හුරු වූයේ විච්චූර්ණ භාණ්ඩවලට ඇති ලොල් බව නිසාය.
සතියක් දෙකක් කඬේට හුරුවූ කුමාරි ආච්චි තෙවැනි මහලේ පඩි නගින්නටත් පෙර මුදලාලි මාමාගේ විසිතුරු බඩු බලන්නට යන්නට පුරුදුව සිටියාය. කුමාරිගේ අත අල්ලා සියුම්ව පිරිමැද වළල්ලක් දමා හැඩ කරන්නට තරම්ම හැත්තෑ හත් හැවිරිදි මුදලාලි මාමා කරුණාවත්ත බවක් පෙන්වීය. එදා මැයි මාසයේ මුල් සතියක දවසකි. අවට අන්ධකාරයත් සමග කඬේට දිව් පොඩි කෙල්ලට විසිතුරු බඩු බලන්නට ලැබුණේ විනාඩි කිහිපයක් පමණි. ඇයගේ වළලූ දැමූ අතින් ඇද කඩයේ සෝකේස අතරට ඇය ඇද ගන්නට මුදලාලි මාමාට ගියේ ඇසිල්ලකි. පාට පාට කොණ්ඩකටු ගසා හැඩ කළ ඇගේ දිගු කොණ්ඩය ඇවිස්සී අවුල් ව ගියේය. පුංචිකමට මුහුණ පුරා තවරන සුවඳ ආලේපන පුයර වෙනුවට මුහුණේ දූලි තැවරී ගියේය. පිපෙන්නට සැරසුණු රොස මලක් නටුවෙන් කැඞී පෙති විසිරී ගිය පරිද්දෙන් කුමාරිගේ පුංචි සිත තැලී පොඩිව ගියේය.
කෝ... මේ කෙල්ල කොහේ ගියාද...? තියෙන දාංගලේ... කොහේ දුවනවාද මන්දා... කෙල්ලේ... ඉක්මනින් ආවොත් වැස්සට කලියෙන් ගෙදර ගියෑකි.... යැයි කෑ ගසන ආච්චිගේ හඬට කුමාරි දිව ආවේ වෙනදා මුහුණේ ඇති සිනහව සැහැල්ලූව කොහේ හෝ විසිකර දමමිනි.
ගීයක් මුමුණමින් එහෙ මෙහෙ පැද්දෙමින් ඇඟ හැඩ කොට නට නටා සිටින කුමාරි එදා ගෙදර විත් නැටුවේ නැත. ගී කීවේ ද නැත. වෙනදාට නොදැනී වැටෙන ඇසි පිල්ලම් ඇය එදා ගණන් කරමින් ගැසුවාය. ආච්චිට මේ වෙනස දැනුනේ නැත. තාත්තාට ද අයියාට ද කුමාරිගේ වෙනසක් නොදැනුනේ තම තමන්ගේ වැඩ කරනවා මිස කුමාරිගේ පුංචි සිතේ වෙනසක් ගැන සැලකිල්ලක් ඔවුනට නොතිබූ නිසාය.
පසුදා ද ඇය ආච්චි සමග මාර්කට් ගියත් මුදලාලි මාමා බලන්නට ගියේ නැත. දිනක් දෙකක් මුදලාලි මාමා දෙස නොබලා වෙනත් තැන්වල ඇවිද ගියද ඒ හැටි දවසක් එලෙස සැරිසරන්නට කුමාරිට හැකි වූයේ නැත. කුමාරිගේ වයස අවුරුදු එකොළහකි. මුදලාලි මාමාගේ වයස හැත්තෑ හතකි. හැත්තෑ හතක අත්දැකීම් හා සැලසුම් චාටුබස් හමුවේ කුමාරි යළිත් මුදලාලි මාමාගේ සිනහවට බොරු දයාවට හසු විය. අඩු මිලට කොණ්ඩ කට්ටක් ගන්නට ඇති අවස්ථාව ඇය මග හැර නොගන්නට සිතුවාය. යළි මුදලාලි මාමාගේ කඩයට යෑමට පුරුදු වූ ඇයට බේරිමක් නැති වූයේ... සිය පාපතර හැඟීම් කුමාරිගේ පැමිණීමත් සමග පෙරට ආ නිසාය.
වරක් දෙවරක් නොව පස් වතාවක්ම කුමාරි මේ පාපතරයාගේ ගොදුරක් බවට පත්වූයෙන් ඇය හෙම්බත්ව සිටියාය.
වරදක් වන තැන ඊට සැමදා ඉඩක් නැතුවා සේ, මේ අලකලංචිය කාගේ හො බසකින් මහනුවර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරික්ෂකා දිලේකා මහත්මියට දැන ගන්නට ලැබී තිබිණි. ඒ අනුව ඇය පොලිස් සැරයන් 15098 ජයසේකර, කාන්තා පොලිස් සැරයන් 1566 හපුආරච්චි, කාන්තා පොලිස් සැරයන් 2721 ආශා යන නිලධාරින් මෙහෙයවමින් සැකකාර මුදලාලි මාමා අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තාය.
සිය නිවස අසල කටුකැලේ ප‍්‍රසිද්ධ මුස්ලිම් පාසලක දෙක වසරට පමණක් ඉගෙනුම ලබා ඇති මේ මුදලාලි මාමා වසර දෙකහමාරකට වැඩි කලක් මාකට්ටුවේ වෙළෙඳ සැල පවත්වාගෙන ගිය අයෙකි. ඔහු මෙවර පමණක් නොව තවත් අවස්ථා කිහිපයකදි ම කාන්තාවන්ට තරුණ දරුවන්ට මෙන්ම පුංචි මල් කැකුළුවන් දරුවන්ට හිංසා කර ඇති බවට තොරතුරු ලැබුණද කිසිවකුත් ඒ වග පොලිසියට කියන්නට පැමිණ නැත. කුමාරි පුංචිකමට සියල්ල කියා සිටියේ නොකීවොත් ආච්චිත් තාත්තාත් අයියාත් ළඟට යෑමට නොලැබෙනු ඇති බවට සිතූ නිසා වන්නට ඇත.
එහෙත් පාපතර වයෝවෘද්ධ අධම නරුමයාගේ මේ නරුම ක‍්‍රියා නිසා අම්මා නැති පුංචි කෙල්ලට ආච්චිගේ තාත්තාගේ ආදරයේ වැඩෙන්නට ද දැන් ඉඩක් නොලැබෙන්නේය. කුමාරි ඉදිරි දිනෙක පරිවාසභාරයට පත් කරන්නට නීතිය ක‍්‍රියාත්මක වනු ඇත. වෛද්‍ය පරික්ෂණ ප‍්‍රකාශ සටහන් කර ගැනීම් හමුවේ ඇය තවදුරටත් පීඩාවට පත්වෙමින් සිටින්නේ මෙය මේ වන විට නඩුමගට අවැසි තවත් එක් සිදුවීමක් බවට පරිවර්තනය වී ඇති නිසාය.
අත්අඩංගුවට පත් මුදලාලි පළමු නඩු දිනයේදීම රක්ෂිත බන්ධනාගාර කරන්නේ මහනුවර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයාගේ නියමයෙනි. ලබන විසිවැනි දින තෙක් බන්ධනාගාර ගතව සිටින හාජියාර්ගේ වැඩිමල් සහෝදරයාද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටී. වයස අවුරුදු හැත්තෑ නවයක් වන වැඩිමහල් සහෝදරයා ද බරපතළ ලිංගික අපයෝජනය සඳහා චෝදනා ලැබ නඩු හබ අවසන් වනතුරු දැනට මාස පහ හයක් බන්ධනාගාර ගතව සිටින්නේය. වෙනදා සුපුරුදු වැඩ කටයුතු පසෙක තබා දැන් ආච්චිද තාත්තාද අයියාද පොලිසි එන්නේ කුමාරි වෙනුවෙන් ප‍්‍රකාශ දෙන්නටය. ඔවුන්ගේ ජීවිතය දැන් අවුල් ජාලාවක්ව ඇත්තේ මේ කිරිසප්පයාගේ ජීවිතය අවුල් වියවුල්ව ගිය නිසාය. අම්මා නැති කල දියණියකගේ ජීවිතය පාරට වැටෙන බවට කතාවක් එකල සිට පැවතෙන්නේ මූනිච්ඡා වට නොවේය. පළමු දිනයේ හෝ කුමාරිගේ හැසිරීමේ වෙනස අවබෝධ කරගන්නට වැඩිහිටියෙකුට හැකි වූයේ නම් කුමාරි යළි යළිත් මේ පීඩාව නොවිඳිනු ඇත. ඇය හතරවසරේ ඉගෙනුම ලබන පුංචි දියණියක වුවද, මේ වන විට මානසිකව දරුණු පසුබෑමකට ලක්ව සමාජය සමග උරණව සිටින බව නොරහසකි. මෙවන් පීඩිත හැඟීම් සමග ඇය මතුදා සමාජය දෙස බලන්නේ බිඳුණු බඳුනක් පරිදි කැඞී විසිරෙන සිතිවිලි සමුදායක් සමගය. එය ඇයගේත් සමාජයේත් අවාසනාවක් වන්නේ, යහපත් සිතුවිලි සමග පෙරට යා නොහැකි නිසාය.
සමන්තී වීරසේකර - දිවයින