Jul
15
බොරු චෝදනා කරලා පොලිසියේ කෙනා අයියාට වෙඩි තිබ්බා
මගේ අයියා රත්තරං මනුස්සයෙක්. කාටවත් කරදරයක් නැතිව අහිංසකව ජීවත් වුණු කෙනෙක්. මගේ අයියාව බොරු චෝදනා කරමින් සාක්කුවේ මොනවාද තියෙන්නේ කියලා ඒ පොලිස්කාරයා අයියාගේ සාක්කුවට අත දාගෙන හොයන කොට අයියා කිව්වා... ‘‘මහත්තයා මම අරක්කු සිගරට් බොන කෙනෙක් නෙවෙයි... ඇයි මෙහෙම බලන්නේ’’ කියලා. එතකොටම ‘පටාස්’ ගලා කනේ පාරක් අයියාට ගැහුවා.
ඒ පොලිසියේ කෙනා අයියාට ඔළුවට වෙඩි තිබ්බා. තවත් වෙඩිල්ලක් තිබ්බා. ගහක් ගලක් වගේ හිටපු අයියා එක පාරම ඇදගෙන වැටුණා. මගේ ඉස්සරහා ඒ කාලකන්නි තිරිසන් නිලධාරියා කරපු වැඩෙන් මට මගේ රත්තරං අයියා නැතිවුණා’ යැයි කටුබැද්ද අගුලාන ප‍්‍රදේශයේ ලූනාව පාලම අසලදී පොලිස් වෙඩි පහරින් මියගිය කස්තුරි ආරච්චිගේ අමිත් කරුණාරත්න (40) මහතාගේ සොහොයුරා වන අමිල මනොජ් කරුණාරත්න (36) මහතා පැවසීය.
මොරටුව, ලූනාව, 7 වැනි පටුමග, අංක 143/7 දරන ලිපිනයේ පදිංචිව සිටි මියගිය අමිත් මහතාගේ නිවසට අප යන විටත් නිවස දෙසින් ඇසුණේ එකම විලාප හඬක් පමණය. ඒ අමිත් මහතාගේ බිරිඳ සහ මව මෙන්ම නැන්දනිය හා දරුවන් ඇතුළු ඥාති පිරිසගේ දුක් අඳෝනාවයි. රේල් පාර ආසන්නයේ ලෑලි අහුරා කුඩාවට තනා ගත් නිවසේ දේහයවත් තබා
ගැනීමට ඉඩක් නැති තරම්ය. දේහය සාලයම භාවිතා කර කුඩා ඉඩ ප‍්‍රමාණයක තබා තිබුණි. නිවසට ගිය අපට ඇතුළට ගොස් දේහයේ ඡුායාරූපයක්වත් ගැනීමට ඉඩක් නොතිබිණි. ඉතාම ආර්ථික අපහසුතාවයන් මැද්දේ මියගිය අමිත් මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ජීවත් වී ඇති බව අපට වැටහිණි.
වැඩිදුරටත් අපිත් සමග කතාබස් කළ සොහොයුරා පැවසුවේ ‘‘අයියා කවදාවත් කැමති වුණේ නෑ මාව මාළු රස්සාවට යොමු කරන්න. හොඳට ඉගෙනගෙන ලොකු මිනිහෙක් කරන්න තමයි අයියාට වුවමනා වුණේ. දෛවයේ සරදමකට තමයි මෙහෙම වුණේ. අයියා මට හරිම ආදරෙයි. හැම වුවමනාවක්ම මගෙන් අහනවා. සල්ලි නැත්නම් සල්ලි පවා දෙන්නේ මගේ රත්තරන් අයියා. මේ දවස්වල මුහුද හරිම රළුයි. ඒ නිසා මුහුදේ යන්න බෑ. ඒක නිසයි අපි රාජගිරියේ ඇළට ගිහින් මාළු අල්ලන්න යන්න හිතුවේ. ඒ යනකොට තමයි පොලිස් නරුමයින් මගේ අයියාව මරාගත්තේ. නීතිය උන්ගෙනේ. අපි පොඩි මිනිස්සු. අපිට සාධාරණය කරන්නම් කියලා පොලිසියේ ලොකු මහත්තුරු නම් ඇවිල්ලා කියලා ගියා. මගේ අයියාට මේ දේ කරපු පොලිස් නිලධාරියාට හොඳක් නම් වෙන්න එපා. උඩ ඉන්න දෙයියෝ බලාගන්න ඕනෑ මේ අපරාධය’ යැයි ඉතාම දුකෙන් හා ආවේගයෙන් ඔහු ප‍්‍රකාශ කළේය.
මියගිය අමිත් මහතාගේ බිරිඳ වන නිලන්ති ෆොන්සේකා (39) මහත්මිය විලාප නගමින් මෙසේ කියා සිටියාය.
”මගේ සුදු මහත්තයා ළමයින්ට වුණත් තාත්තෙක් විදියට නෙවෙයි සැලකුවේ, දෙවියෙක් විදියටයි. ඒ දෙවියා අද අපිට නැති වුණා. හැමදාම අහන්නේ ළමයින්ට කන්න තියෙනවා ද කියලා. ලොකු පුතාගේ දරුවා කෝ... එයාට මොනවද අඩුපාඩු... කියලා අහනවා. ඒ පුංචි එකා සීයා කෝ කියලා ඇහුවාම අපි මොනවාද කියන්නේ. මේ දවස්වල මුහුදේ යන්න බෑ වාරකන් නිසා. මට කිව්වා ගෙඟ් මාළු ටිකක් අල්ලලා විකුණලා හරි ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ඕනෑ කියලා. සෙනසුරාදා පාන්දරින්ම
රාජගිරියේ ඇළට යනවා කියලා කිව්වා. මාළු අල්ලන්න මල්ලිවයි පුතාවයි එක්කන් යන්නෙත් නෑ කිව්වා. ඒ පැත්තේ මිනිස්සු ඇළේ මාළු අල්ලනවාට කැමති නෑ. බැරි වෙලාවත් ගුටි ගැහුවොත් කියලයි පුතාවයි මල්ලිවයි එක්ක යන්නේ නැත්තේ. මල්ලි කිව්වා එහෙම වෙන්නේ නෑ මාත් එනවා කියලා. ඒ ඔක්කොම කට්ටියට යන්න බැරි නිසයි තවත් යාළුවො දෙන්නෙක්ට එන්න කියලා ත‍්‍රීවීලර් දෙකක ගියේ. පොලිසියට සමහරදාට සිගරට් බුලත්විට ගෙනිහින් දෙන්නෙත් අපේ මහත්තයා. එහෙම උදව් කරපු මනුස්සයාට පොලිසියේ මහත්තුරු සැලකුවේ මේ විදියටද...” කියා අසමින් වාවාගත නොහැකි ශෝකයකින් මහ විලාප දෙමින් ඇය හඬා වැටෙමින් සිටියාය.
මියගිය අමිත් මහතාට දරුවන් හතර දෙනෙකි. වැඩිමහල් දරුවා අසිත තිලංක (21), දෙවැනි දරුවා අකිඳ උදේශාන් (16), අවිශ්ක චතුරංග (12) තුන්වැනි දරුවාය. බාලයා දියණියකි. ඇය 09 වැනි වියේ පසුවන හසිනි නවෝද්‍යා වෙයි. මේ දරුවන් සිව්දෙනා තම පියාට සිදු වූ දේ අදහා
ගැනීමටවත් නොහැකිව සිටින ආකාරය ද එහි ගිය අපට දැකගන්නට හැකි විය. විටින් විට මේ දරුවන් සිහිමුර්ජා වී වැටෙන විට එය දකින අවසන් බුහුමන් දැක්වීමට පැමිණ සිටි පිරිසගේ නෙතට කඳුළක් ගලා ආවා නොඅනුමානය.
මළගෙදර පුරාවටම ඇසෙන්නේ දුක් අඳෝනා හඬයි. ගමේ මිනිසුන්ටත් මේ විපත දරාගත නොහැකි පාඩුවකි. ඒ බව තැන තැන කතා වෙන දේ ඇසුන අපට පසක් විය. මෙලෙස අකාලයේ මියගිය කේ. අමිත් කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු 13 වැනිදා අ`ගුලාන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
එස්.ඞී. අබේසිංහ - මහරගම
Source - දිවයින