Jun 08

"ගොනාකෝවිලේ රාජා" පොලිස් වෙඩි කා මැරුණු හැටි


- අංජුගේ කල්ලියේ ඝාතකයා රට පනින්න බල්ලපානේ සැගවී ඉඳලා
- රන්ජන් සිල්වා ඝාතනයට සොයිසාපුර අවන්හලට වෙඩි තැබීමට සම්බන්ධයි

පාතාල මර්දනය කිරීමේ මෙහෙයුම් ආරම්භ කරමින් ඊයේ (07 වැනිදා) අලූයම මිනුවන්ගොඩ බල්ලපාන ප‍්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එල්ල කළ ප‍්‍රහාරයකින් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම්, අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල ලෝකයේ දරුණු අපරාධකරුවකු බව කියන ‘ගොනාකෝවිලේ රාජා’ නමැත්තා මරුමුවට පත්විය.

‘ගොනාකෝවිලේ අංජු’ මෙහෙයවන පාතාල කල්ලියේ ඝාතකයා ලෙස කටයුතු කරන මොහු දෙහිවල ගල්කිස්ස නාගරික මන්තී‍්‍ර රන්ජන් ද සිල්වා ඝාතනය ඇතුළු මිනීමැරුම් රැසක් සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ පාතාල මර්දන මෙහෙයුමකදී මෙම පාතාල ප‍්‍රබලයා මියගිය බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඊයේ අලූයම 12.30 ට පමණ කැලණිය කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මිනුවන්ගොඩ, බල්ලපාන ප‍්‍රදේශයේ නිවසක් වටලා පරීක්‍ෂා කිරීමේදී එහි සැගවී සිටි ගොනාකෝවිලේ රාජා සහ තවත් පුද්ගලයකු පොලිසිය වෙත ප‍්‍රහාර එල්ල කර ඇත.

එහිදී පොලිස් නිලධාරීන් එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් ‘ගොනාකෝවිලේ රාජා’ මියගිය අතර, ඔහු සමග සිටි බවට සැකකරන තවත් පුද්ගලයකු පලාගොස් තිබේ.

මෙම පාතාල ප‍්‍රබලයා සතුව තිබී බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ කීපයක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් පොලිසිය සොයාගෙන ඇත.

පතිරණගේ රාජා විමලධර්ම නොහොත් ‘ගොනාකෝවිලේ රාජා’ 50 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලියේ මිනිස් ඝාතන සිදුකිරීම මොහු විසින් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

1989 වර්ෂයේ යුද හමුදා ගැමුණු බළකායට එක්වූ මොහු වසර 4 කට පසු හමුදා සේවයෙන් පලා ගොස් තිබේ.

පසු කලෙක ගොනාකෝවිලේ අංජුගේ කල්ලිය සමග එක්වූ රාජා 2002 වර්ෂයේදී රත්මලානේදී උක්කු ෂාන් නමැත්තාට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

2006 වර්ෂයේදී ‘ලන්සියා’ සමගින් එක්ව ‘සුජී’ නමැති තරුණයකුට පහරදී ඝාතනය කර ඇති බවද විමර්ශනවලින් හෙළිවිය.

ඉකුත් 2018 වර්ෂයේදී දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත‍්‍රී රන්ජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමට, නායකත්වය දී ඇත්තේ ගොනාකෝවිලේ රාජා බව පොලිසිය පවසයි.

බස්නාහිර හිටපු පළාත් සභා මන්ත‍්‍රී අමල් සිල්වාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර ඇත්තේද රාජා විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

රන්ජන් ද සිල්වා ඝාතනය කිරීමෙන් පසු පොලිසියෙන් බේරී ඩුබායි රටට පලාගිය ගොනාකෝවිලේ රාජා ඊට වසරකට පමණ පසු ඉන්දියාවට පැමිණ මුහුදු මාර්ග ඔස්සේ හලාවත ප‍්‍රදේශයෙන් මෙරටට ඇතුළු වී ඇත.

පසුගිය 29 දා මොරටුව සොයිසාපුර ප‍්‍රදේශයේ අවන්හලකට වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇත්තේ ද රාජා විසින් බව විමර්ශනවලදී හෙළිවිය.

එම සිද්ධියෙන් පසු පොලිසිය පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීම නිසා ගොනාකෝවිලේ රාජා බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවට පලායෑමට සූදානමින් මිනුවන්ගොඩ, බල්ලපාන ප‍්‍රදේශයේ නිවසක සැගවී සිට ඇති බව හෙළිවිය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂකවරුන් වන ඉන්දික, සමරසිංහ, සමීර, සැරයන්වරුන් වන (33507) ධර්මසිරි, (33434) ජයතුංග, කොස්තාපල්වරුන් වන (61030) සරත්, (88617) හෙන්නායක, (70399) දේදුණු යන නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

මෙම මෙහෙයුම සඳහා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර, මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේෂ් යන නිලධාරීහු ද එක්ව සිටියහ.

හේමන්ත රන්දුණු - මිනුවන්ගොඩ ටෝනි කරුණානායක, දිවුලපිටිය - අයි. එම්. අබේරත්න
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.