Jun 08

අනියම් බිරිය සනසන්න බැංකු ගිණුමෙන් සල්ලි ඇදලා මාට්ටු


ඇන්ටන් පිලිප් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකි. වයස අවුරුදු තිස් අටකි. තිදරු පියෙකි. කලක් මෙරට ජීවත් වූ ඔහු පසුව එංගලන්තයට ගියේය. ඒ සිය පවුල සමගින්ය. ඉංජිනේරුවකු වුවත් පිලිප් හැසිරුණේ රස්තියාදුකාරයකු මෙන්ය. මත්පැන් පානයට සහ කාන්තාවන් ඇසුරු කිරීමට ඔහු සුවිශේෂ කැමැත්තක් දැක්වූවේය. විවිධ ගැටුම් මැද වසර ගණනක් ඔහු බිරිඳ සහ දරු තිදෙනා සමග ජීවත් විය.

කලක් එලෙස ගත වෙද්දී පිලිප් සහ බිරිඳ අතර රණ්ඩු සරුවල් වැඩි වන්නට පටන් ගත්තේය. එයට ප‍්‍රධාන හේතුව වූයේ පිලිප්ගේ නොමනා හැසිරීම්ය. අවසානයේ දෙදෙනාට එකම වහළක් යට ජීවත්වීමට පවා නොහැකි වූහ.

දිනක් පිලිප් තම බිරිඳ සහ දරු තිදෙනා අතහැර දමා යළි මෙරටට පැමිණියේය. ඒ දැනට වසර කිහිපයකට ඉහතදීය.

මෙරටට පැමිණි පිලිප් ස්ථිර රැකියාවක් පවා සිදු කළේ නැත. එහෙත් ඔහු ගත කළේ සුඛෝපභෝගී ජීවිතයකි. එංගලන්තයේ සිටියදී උපයාගත් මුදල් ඔහු අතදිගහැර වියදම් කළේය.

කමණි ඉතා රූමත් තරුණියකි. විවාහවී සිටියේ හෙරොයින් ජාවාරම්කරුවකු සමගයි. කලක් යද්දී කමණිගේ සැමියාට බන්ධනාගාරගතවීමට සිදුවිය. ඒ හෙරොයින් තොගයක් සමග නීතියේ රැහැනට හසුවීමත් සමගයි.

දිනක් පිලිප්ට කමණිව මුණ ගැසුණි. ඒ එක්තරා උත්සවයකදීය. එතැනින් පටන් ගත්ත දැන හැඳුනුම්කම නැවතුණේ ඇය පිලිප්ගේ අනියම් බිරිඳ වීමෙන්ය.

පිලිප් නැවතී සිටියේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේය. ඉන්පසු කමණිව ද එම නිවසට ගෙන්වා ගත්තේය. කලක් එලෙස ජීවත් වෙද්දී මොහු ළඟ තිබුණු මුදල් ක‍්‍රම ක‍්‍රමයෙන් හිඟ විය. යළි රැකියාවක් කිරීමට ඔහු අකමැති විය. එම නිසා වෙනත් ක‍්‍රමයකින් මුදල් සෙවිය යුතුයැයි ඔහු තීරණය කළේය.

පිලිප් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකි. එම නිසා ඔහුට පරිගණක තාක්ෂණය ගැන තිබුණේ ඉහළ දැනුමකි. එලෙසම ඔහු හොඳ හැකර් කෙනෙකි.

දිනක් පිලිප් තම අනියම් බිරිඳ වන කමණිට මෙලෙස පැවසුවේය. ‘‘කමණි දැන් මගේ ළඟ ලොකු සල්ලියක් නැහැ. එක නිසා සල්ලි ටිකක් හොයා ගන්න ඕනා. මම කල්පනා කළේ හැකර් කෙනෙක් වෙලා ලොකු කම්පැණිවලින් සල්ලි ටිකක් හොයා ගන්න.’’ කමණිටත් වුවමනා වූයේ මුදල්ම පමණි. එම නිසා එක පයින්ම ඇය එම යෝජනාවට කැමති විය.

ගල්කිස්ස ටෙම්ප්ලර් පාරේ පදිංචි මහේල සුපුන් විසි හැවිරිදි තරුණයෙකි. අවිවාහකයෙකි. එලෙසම පිලිප්ගේ මිතුරෙකි. පිලිප්ගේ ජීවිතයේ බොහො දේවල් ඔහු දැන සිටියේය. හරිහමං රැකියාවක් නොකළ ඔහු මුදල් සෙවීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටියේය.

දිනක් පිලිප් මහේල මුණ ගැසීමට පැමිණියේය. පැමිණ මෙලෙස පැවසුවේය.

‘‘මහේල මගේ ළඟ පොඩි අයිඩියා එකක් තියෙනවා සල්ලි හොයන්න. මම කැමතියි ඒකට ඔයාවත් සම්බන්ධ කර ගන්න. මොකද කියන්නේ.’’

‘‘ සල්ලි හම්බවෙනව නම් ඕනම දෙයක් කරන්න මම කැමතියි. මොකක්ද දැන් ඔය වැඬේ.’’

‘‘ මෙන්න මේකයි වැඬේ. මම හොඳ හැකර් කෙනෙක්නේ. ඒක නිසා ලොකු කම්පැණිවල එකවුන්ට් ටිකක් හැක් කරමු.’’

‘‘මම ඕවා ගැන වැඩිය දන්නේ නැහැනේ.’’

‘‘ඔයාට තියෙන්නේ මම කියන විදිහට වැඩ කරන්න විතරයි. වැඬේ හරියට කර ගත්තොත් මාස දෙක තුනකින් අපි කෝටිපතියෝ. ආයේ බල්ලෙකුටවත් අපිව අල්ලන්න බැහැ.’’

‘‘ නියමයිනේ කවදද අපි වැඬේට බහින්නේ.’’

‘‘කල් දාන්න බැහැ අදම වැඬේට බහින්න ඕනා. මුලින්ම ඔයා කරන්න ඕනා වෙන නමකින් අයිඩෙන්ටි කාඞ් එකක් හදා ගන්න එක. මොකද අපිට බැංකු තුන හතරක එකවුන්ට් ඕපන් කර ගන්න ඕනා.’’

‘‘ හරි මම ඒක කොහොම හරි කරන්නම්.’’

‘‘ඒක ඕකේ වුණ ගමන් කියන්න. මම දැනටමත් ගේමට එන්ටර් වෙලා ඉන්නේ.’’

‘‘හරි බය වෙන්න එපා. මම ඉක්මනට ඒ වැඬේ කරන්නම්.’’

දෙදෙනාගේ කථාව එතැනින් නිම විය.

හැකි ඉක්මනින්ම මහේල වෙනත් නමකින් ජාතික හැඳුනුම්පතක් සාදා ගත්තේය. ඉන්පසු ඒ නමින් මෙරට ප‍්‍රධාන පෙළේ බැංකු තුන හතරක ගිණුම් ආරම්භ කළේය. ඒ අතර කාලය තුළ පිලිප් මෙරට ප‍්‍රධාන පෙළේ සමාගම් දෙක තුනකටම හොර රහසේ ඇතුළු වී ගිණුම්වල තොරතුරු ලබාගෙන තිබුණි.

පළමු දෙයම සාර්ථක විය. ඔවුහු මෙරට ප‍්‍රධාන පෙළේ සමාගමකින් ලක්ෂ විස්සකට අධික මුදලක් හොර රහසේ මහේලගේ ගිණුමට හරවාගෙන තිබුණහ. එම මුදල් රැගෙන ඔවුහු සිත්සේ වියදම් කළහ.

ඒ අනුව ඔවුන් මෙරට ප‍්‍රධාන පෙළේ සමාගම්වල ගිණුම්වලට ඇතුළු වී එලෙස හොර රහසේ මුදල් ලබා ගත්තේය. දැන් ඔවුනට මුදල්වලින් කිසි අඩුවක් නැත.

පිලිප් කමණිව නුගේගොඩ පිහිටි සුඛෝපභෝගි නිවාස සංකිර්ණයක නිවසක් කුළියට ගෙන පදිංචි කෙරුවේය. එහි දිනක කුළිය පමණක් රුපියල් පන්දහසකි. එයට අමතරව ඇය ඇඳුම් පැළඳුම් සඳහා ද විශාල මුදලක් වැය කෙරුවාය.

පිලිප් ද එලෙසය. ඔහු පාවිච්චි කළේ සුඛෝපභෝගි ජීප් රථයකි. පානය කළේ ඉස්තරම් වර්ගයේ මත්පැන්ය. ඇඳුම් පැළඳුම් මිල අධික ඒවාය. කොටින්ම ආහාර පාන පවා ගෙන්වූයේ තරු පහේ හෝටල්වලින්ය.

මාස කිහිපයක් එලෙස ගතවිය. කුරුණෑගල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ සෙවිළි තහඩු සමාගමක ගිණුමෙන් ද මොවුන් හොර රහසේ මුදල් ඇද්දේය. ඒ රුපියල් ලක්ෂ 15 ක්ය. එම සමාගමේ කළමනාකරුවන් ඒ පිළිබඳව සොයා බැලූවේය. එහෙත් මුදල්වලට සිදු වූ දෙය සිතා ගැනීමට බැරි විය. එම මුදල් ගෙන තිබුණේ එම සමාගමේ කුරුණෑගල ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකු ශාඛාවක පවත්වාගෙන ගිය ගිණුමකින්ය.

කෙලෙස සෙව්වත් එම සමාගමේ නිලධාරීන්ට මුදල්වලට සිදු වූයේ කුමක්ද කියා සිතා ගැනීමට නොහැකි වූහ. අවසානයේ ඔවුන් නීතියේ පිහිට පැතීමට තීරණය කළේය. ඒ අනුව ඔවුහු කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමූහ. ඒ අනුව කි‍්‍රයාත්මක වූ එම නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළහ.

පරීක්ෂණ පවත්වා දින 14කට පසුව සැකකාර හැකර්ලා දෙදෙනා අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීහු සමත් වූහ. ඒ අනුව සැකකරුවන් ළඟ තිබී රුපියල් දෙලක්ෂ එකොළොස් දහසක මුදලක්, ක්‍රෙඩිට් කාඞ්පත් 14 ක්, ජංගම දුරකථන 5ක්, ලැප්ටොප් 2 ක්, බැංකු ගිණුම් පොත් 6 ක් සහ ඔවුන් මෙම ජාවාරම සඳහා කුලී පදනම මත ලබාගෙන තිබූ සුඛෝපභෝගී ජීප් රථය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙරට ප‍්‍රධාන පෙළේ සමාගම්වල බැංකු ගිණුම්වලට හොර රහසේ ඇතුළුවී එම ගිණුම්වලින් මෙම සැකකරුවන් දෙදෙනා රුපියල් කෝටියකට අධික මුදලක් සොරාගෙන තිබුණි. තවද මෙම ජාවාරමට මෙරට අනවසරයෙන් රැඳී සිටින නයිජීරියානු ජාතිකයින් පිරිසකගේ සහය ලැබෙන බවද එම සැකකරුවෝ පැවසූහ.

අවසානයේ එම නිලධාරීහු මෙම සැකකරුවන් දෙදෙනා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ මෙම සැකකරුවන් ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ගයාන් සමරසිංහ
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.