May
09
කුරුණෑගල පොළොවෙන් අද්භූත සතෙක් මතුවෙයි.
කුරුණෑගල, නාරම්පොළ ප්‍රදේශයෙන් අඩි 10ක් 12ක් පමණ දිගැති සත්ත්වයකුගේ ඇට සැකිල්ලක් වැසිකිළි වළක් කපමින් සිටි අයකුට හමුවී ඇත.
මෙම ඇටසැකිල්ල හමුවී ඇත්තේ කුරුණෑගල, නාරම්පොළ පාර, තෝරයායේ පදිංචි මිල්ටන් සෝමරත්න මහතාටය.
ඒ මහතා පවසන පරිදි තම නිවෙස පිහිටි ඉඩමේ වැසිකිළි වළ අඩි 5ක් පමණ කපන කොට කුඩු ගල හමු වී ඇත. වළේ විෂ්කම්භය අඩි 6ක් පමණ වේ. කුඩු ගල අඩි 3ක් පමණ කඩාගෙන යන විට සුදු පැහැති විශේෂ යමක් හමුවී ඇත.
මෙය පස් හෝ කුඩු ගලේ කොටස් නොවන බව ඔහු හඳුනාගෙන ඇත. සතකුගේ ඇටසැකිල්ලක් යැයි සැක පහළ වූ හෙයින් ප්‍රවේශමෙන් ගල් කුඩු ඉවත් කර ඇත. වැසිකිළි වළේ විෂ්කම්භයටත් වඩාදුරක් මෙම ඇටසැකිල්ල දිගය.
අෑත ඉතිහාසයකට හිමිකම් කියන සතකු මිය ගොස් දිරාපත් වූ ඇටසැකිල්ලක් යැයි සැක පහළ කළ සෝමරත්න මහතා වැසිකිළි වළ කැපීම නවතා දමා වගකිවයුත්තන් දැනුවත් කළේ මෙහි පෞරාණික වටිනාකමක් ඇතැයි විශ්වාස කළ නිසාය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයකු වන උපාලි වතුගේ මහතාගෙන් මේ පිළිබඳව විමසුවෙමු.
මෙම තොරතුරු දැන ගත් වහාම මම ස්ථානයට ගියා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් දැනුවත් කළා. නමුත් පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ මෙම නිරීක්ෂණ කටයුතු කඩිනමින් කළ නොහැකියි. රටේ තත්ත්වය යහපත් වූ වහාම මේ පිළිබඳව පරීක්ෂණ කරන බවත් එතෙක් ඉදිකිරීම් නොකරන ලෙසත් එම ස්ථානය ආරක්ෂිතව තබා ගන්නා ලෙසටත් උපදෙස් දුන්නා.
උපාලි වතුගේ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. තමන් නිරීක්ෂණය කළ කරුණු අනුව මෙම ඇටසැකිල්ල විශාල සතකුගේ බව විශ්වාසයි. වළ අඩි 8 පමණ ගැඹුරුයි. විෂ්කම්භය අඩි 6ට වැඩියි. වළේ විෂ්කම්භයට වැඩිදුරක් ඇටසැකිල්ල තියෙනවා. සමහර විට අඩි 10කට 12ට වැඩි විය හැකියි.
අඩි 5කින් පමණ කුඩු ගල හමුවෙලා තියෙනවා. කුඩු ගලත් අඩි 3ක් පමණ කඩන කොට තමයි මේ ඇටසැකිල්ල හමුවෙන්නේ. ඇටසැකිල්ල ඒ අයුරින්ම තියෙනවා. නමුත් කාලයත් සමඟ දිරාපත්වෙලා. පොසිල බවට පත්වෙලා කියලා මම හිතනවා.
මේ පිළිබඳව හරියටම යමක් කියන්න පුළුවන් අස්ථි පිළිබඳ පර්යේෂණ කරන පුරාවිද්‍යා විශේෂඥයකුට පමණයි. ඒ අයට පුළුවන් වෙනවා. කොයි තරම් පැරැණි ද කොයි කාලයේද මොන වගේ සතකුගේ ද යන්න තීරණය කරන්න.
මේ සතා සමහර විට ස්වාභාවිකව මැරිලා ඒ මත පාෂාණ තැන්පත්වෙලා කාලයත් සමඟ එම පාෂාණ ආසාදිතවෙලා මේ තත්ත්වයට පත්වෙලා කියලා හිතන්න පුළුවන්.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන්ට මෙය කදිම අවස්ථාවකි. කුරුණෑගල ඉතිහාසය පිළිබඳ යම් කිසි හෝඩුවාවක් සොයාගත හැකි අවස්ථාවකි.
නිවෙස හිමි සෝමරත්න මහතාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටීමට සිදු වී ඇත.