Sep
11
භාරත නඩුවේ තීන්දුව ආපු හැටි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශක වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ ඔහුගේ ආධාරකරුවන් කණ්‌ඩායමක් මුල්ලේරියාව සිරිමාවෝ බණ්‌ඩාරනායක පුස්‌තකාලය ඉදිරිපිට පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබල ආධාරකරුවකුගේ නිවසට පැමිණ සිටියෝය. පාරේ අනිත් පසින්, ඡන්ද උණුසුම දරාගත් කොළොන්නාවේ ශ්‍රීලනිප සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිසකි.
ඔවුන්ගේ පැමිණීමත් සමඟ කිසියම් දරුණු වෙඩි තැබීමක් සිදු වූ අතර ඒ සමඟම කොලොන්නාව ප්‍රදේශය එකම යුද පිටියක් බවටත්, රටටම ගිනිගත් ප්‍රවෘත්තියක් බවටත් දෙපාර්ශවයේ වෙඩි හුවමාරුව පත්වී තිබුණි.
සිදු වූ වෙඩි හුවමාරුවකින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනකු මියගොස්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
දරුණු වෙඩි ප්‍රහාරයකට ලක්‌වී බරපතළ තුවාල ලැබූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හදිසි මූලික ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට
රැගෙන එන විටත් මියගොස් සිටියේය.
වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර සඳහා නවලෝක රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි.
භාරත ඝාතනය මැද්දෙන් ඔහුගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, සිය පියාගේ දේහය බදා වැලපෙන අයුරු රටම කම්පනයට ලක් කළේය.
ඒ 2011 වසරේ ඔක්‌තෝබර් අටවෙනිදාය.
පසුගියදා බ්‍රහස්‌පතින්දා කොළඹ අලුත්කඩේ විශේෂ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල සිය තීන්දුව ප්‍රකාශ කරන්නේ, එදා කොළොන්නාවේදී ඇතිවූ යුද්ධය ගැනය. තීන්දුව ලැබුණේ, දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්‌දෙනකුට මරණීය දණ්‌ඩනය නියම වීමෙනි.
හිරුණිකා සිය සැමියා හිරාන් සමග
වසර ගණනාවක් පුරා සිය පියා වෙනුවෙන් කඳුළු සලමින් උසාවි ගානේ කාලය ගතකළ සහ නින්දා අපහාසවලට මුහුණ දුන් භාරත දියණිය, එදා උසාවි බිමෙන් එළියට පැමිණියේ තමන් නඩුවෙන් දින්නා යන හැඟීමට අමතරව දුක්‌වෙමින් සහ හඬා වටෙමින්ය. “ආණ්‌ඩුව වෙනස්‌වුණු නිසා සමහර විට මේ තීන්දුවත් වෙනස්‌වුණා වෙන්න පුළුවන්. අලුත් ජනාධිපතිවරයෙක් මේ රටට පත්ව තිබෙන නිසාත්, නීතියේ ස්‌වාධීනත්වය නිසාත්, අද අපට සාධාරණ තීන්දුවක් ලැබුණේ. නමුත් ඒ තීන්දුව ගැන මට සතුටක් නැහැ. තව කෙනකුට කරදරයක් වෙන එක දිහා බලලා අපිට සතුටු වෙන්න බැහැ. හැම කෙනාටම ලබා දුන්නේ මරණ දඬුවම. නමුත් අපි අවුරුදු 5 ක් විඳපු දුකට සාධාරණයක් වුණා. මාත් අම්මත්, දුක් නොවුණු කල්පනා නොකරපු දවසක් නැති ගානයි. අපිට නිතරම තාත්තාගේ කටහඬ ගෙදරදී ඇහුණා.” එදා භාරත දියණිය සහ මෙනවියක් වූ ඇය අද පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියය.
දේශපාලන බලයේ වෙඩි සෙල්ලම්, එහෙන් ගැහිලි මෙහෙන් ගැහිලි, රැවුම් ගෙරවුම්, ආදියේ සිට කඳුළු කතා, අනුකම්පා ඡන්ද ආදිය සමඟ වසර පහක් පුරා දෝලනය වූ භාරත ලක්‌ෂමන් ඝාතන නඩුවේ තීන්දු ලැබෙන දිනය දෙස රටම බලා සිටියේය. විත්තිකරුවෝ සහ පැමිණිලි පාර්ශවය දෙගිඩියාවෙන් උසාවි බිමට පැමිණෙන අතර එසැනින් රටටම මේ සිදුවීම වාර්තා කරන්නට මාධ්‍ය නාලිකා කැමරා සුදානම් කරගෙන සිටියේය.
භාරත ලක්‌ෂමන් ඝාතනය, රටේ පැවති දේශපාලන සිතියම වෙනස් කරන තැනකට පවා ගමන් කරමින් තිබුණි. භාරතගේ දේහය, මල් ශාලාවේ ඉදිරි වැඩකටයුතු සඳහා සුදානම් කෙරෙන අතරේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ දුමින්ද සිල්වා හිසට වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයෙන් හෙලිකොප්ටරයකින් නවලෝක රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ බව මාධ්‍යය වාර්තා කළේය. එදින පස්‌වරු 7.00ට පමණ නවලෝක රෝහලේ අධ්‍යක්‌ෂ කාර්යාලයය පැවසුවේ දුමින්දගේ හිසට වෙඩි පහක් වැදී ඇති නිසා සැත්කමක් කළ බවත් සැත්කම අවසන් වන තුරු ඔහුගේ තත්ත්වය කිව නොහැකි බවය. එතැන් සිට දුමින්ද සිල්වා රෝගියකු වනවාට අමතරව ඒ ගැන සැක කරමින් සමාජය පුරා කට කතා ගෙතෙන්නට පටන් ගත්තේය. හෙලිකොප්ටරයකින් කොළඹ සිට ජයවර්ධනපුරයට ගෙනා දුමින්ද, සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් ආරෝග්‍ය ශාලාව වෙත ඇතුළත් කරන ලද්දේ පුද්ගලික ජෙට් යානයකින් බවට වාර්තා විය. සිංගප්පුරුවේදී යම් සුවයක් ලබා දුමින්ද යළි පැමිණියේය. “මට කිසිම දෙයක් මතක නැහැ” නම් අතිශය ජනප්‍රිය වූ වාක්‍ය දුමින්ද විසින් ප්‍රකාශ කරන්නේ, මේ පැමිණීමෙන් අනතුරුව, භාරත ඝාතනය පිළිබඳව පොලිස් පරීක්‌ෂණයේදී ප්‍රකාශයක් ලබා දෙමිනි.
1979 දී කොළොන්නාව ආසනයෙන් ක්‍රියාකාරී දේශපාලනය ඇරඹූ භාරත ලක්‌ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා 1994 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වූවේය. ඒ ඔහුගේ දේශපාලන ගමනේ උඩම තැනය. භාරත සම්බන්ධයෙන් පසු කාලයේදී එතරම් හොඳ කතා රට පුරා ඇසුණේ නැත. කොළොන්නාව ආසනය, භාරත පරාජය වීම සහ ඔහු දේශපාලන වශයෙන් පහළට ඇදවැටීමත් සමඟ ඒ වන විට ඉහළ නගිමින් සිටි දුමින්ද, සිය දේශපාලන පිටිය බවට ද කොළොන්නාව පත් කර ගැනීමත් සමඟ භාරත – දුමින්ද යුද්ධය ඇවිලෙන්නට පටන් ගත්තේය.
ඝාතනයට ලක්‌වූ සිය පියාගේ දේහය ඔක්‌තෝබර් 12 වැනිදා උමගිලිය පිටියේ ඉදි කළ චිතකයක දැවෙද්දී ඔහු වෙනුවෙන් යුක්‌තිය ඉල්ලා දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇගේ සටන ඇරඹුවාය. ඒ සමඟ භාරත – දුමින්ද යුද්ධයේ නව පරිච්ඡේදය ආරම්භ විය. ඒ හිරුණිකා – දුමින්ද යුද්ධයය. මාධ්‍ය සටන්, දේශපාලන සටන්. ෆේස් බුක් සටන් ආදියෙන් ක්‍රියාත්මකවූ එය අවි හරඹයකට නොගියා පමණය.
පියාගේ මරණය වෙනුවෙන් සාධාරණ පරීක්‌ෂණයක් ඉල්ලා දිගින් දිගටම සටන් කළ හිරුණිකා, ඒ මතින්ම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණාය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය දේශපාලනයේ සංධිස්‌ථානයකට පත් කරමින් බස්‌නාහිර පළාත් සභාව සඳහා තේරීපත් වූ අතර 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයට, දින ආසන්න වෙද්දී තීරණාත්මක පියවරක් තබමින් ඇය පොදු අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය සහය පළ කළා ය.
ආණ්‌ඩු පෙරළියෙන් පසු විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ zභාරත ඝාතන නඩුවZ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතාගෙන් ඉල්ලීමක් කරන ලද්දේය. එයට අනුමැතිය ලැබී, ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගේ යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ භාරත ඝාතන නඩුව විභාග කිරීම සිදු විය.
2011 ඔක්‌තෝම්බර් දොළොස් වැනිදා සාක්‌ෂි විමසීම ආරම්භ වූ භාරත ඝාතන නඩුව, එදින සිට දින පනස් දෙකක කාලයක් පුරා සාක්‌ෂි විමසූ අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂිකරුවෝ හතළිස් දෙකක් සාක්‌ෂි ලබා දුන්නෝය. භාණ්‌ඩ අසූ හයක් සහ ලේඛන 126 ක් නඩු භාණ්‌ඩ ලෙස පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද්දේය. සක්‌ෂි විභාගය අතරේදී විනිසුරු මඩුල්ල භාරත ඝාතනය වූ සහ දුමින්දට වෙඩි වැදුණු අපරාධ ස්‌ථානය මුල්ලේරියාව වල්පොළ හන්දිය පරීක්‌ෂා කිරීම සඳහා ද ගියහ.
වසර එකහාමාරක් පුරා රටේ ජනප්‍රිය නඩුවක් වූ භාරත ඝාතන සිද්ධිය පිළිබඳ නඩු විභාගය පසුගිය ජුලි මාස 14 වැනිදා අවසන් වූ අතර, තීන්දුව ප්‍රකාශයට පත් කිරීම, සැප්තැම්බර් අට වෙනිදාට නියම විය.
පසුගිය බ්‍රහස්‌පතින්දා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට විශේෂ කාර්ය බළකාය සහිතව දැඩි ආරක්‌ෂක විධිවිධාන යොදා තිබුණේ, රටම එසැනින් බලාපොරොත්තු වෙන තීන්දුව නිසාය.
උදෑසන නවයයි තිහ පමණ වන විට දුමින්ද සිල්වා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ, ඔහුගේ පියා විස්‌න්ස්‌ට් සිල්වා සහ තම සොහොයුරිය ද සමඟය. භාරත ලක්‌ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ උදෑසනම අධිකරණ භූමියට පැමිණ සිටි අතර, දියණිය හිරුණිකා නඩුව ආරම්භයට සුළු මොහොතකට පෙර අධිකරණයට පැමිණියාය.
විත්තිකරුවන් විත්තිකුඩුවට නැංවූ පසු උදෑසන 10.40 ට පමණ විනිසුරු අධිකරණයේ අසුන් ගත් අතර, සුළු මොහොතක පමාව පිළිබඳව කනගාටුව පල කරමින් තීන්දුව ප්‍රකාශ කිරීමේ කාර්යය ආරම්භ විය. පිටු 297 කින් යුත් නඩු තීන්දුවේ වැදගත් කොටස, විනාඩි විසිපහක පමණ කාලයක් විනිසුරු පද්මිණි එන්. රණවක මහත්මිය විසින් ප්‍රකාශ කරමින් තීන්දුව ප්‍රකාශ කිරීම ආරම්භ කළාය.
නඩුවේ පළමු වැනි විත්තිකරු වූ අනුර තුෂාර ද මෙල්, තෙවැනි විත්තිකරු චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, හත් වැනි විත්තිකරු සරත් බණ්‌ඩාර, නඩුවේ 10 වැනි විත්තිකරු ජනක බණ්‌ඩාර ගලගොඩ සහ 11 වන විත්තිකරු දුමින්ද සිල්වා යන පිරිස වරදකාර ලැයිස්‌තුවට ඇතුල්වූ අතර ඔවුන් සියලු දෙනාට මරණ දණ්‌ඩනය නියම කරනු ලැබිය. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයක චුදිතයන් ප්‍රාණය නිරුද්ද වන තෙක් එල්ලා තැබීමට මහාධිකරණ නියෝග කරන ලද්දේය.
මෙම නඩුවේ 11 වැනි විත්තිකරු වූ දුමින්ද සිල්වාගේ ප්‍රචන්ඩකාරී හැසිරීම නිසා මෙම සිදු වීම, වී ඇති බවට පද්මිණි එන්. රණවක මහත්මිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවාය. අධිකරන වෛද්‍ය වාර්තා අනුව දුමින්ද සිල්වා මත්පැන් පානය කර ඇති බවටත් මිය ගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතා මත්පැන් පානය කර නොමැති බවට අනාවරණය වී ඇති බවටත් ප්‍රකාශ කළ විනිසුරුවරිය, දුමින්ද සිල්වාගේ නායකත්වය මෙම සිද්ධියට හේතු වී ඇති බවට තීන්දු කළාය. විනිසුරු පද්මිණි රණවක මහත්මියගේ තීන්දුවට තමන් එකඟ බව විනිසුරු එම්.බී.සී.එස්. මොරායස් මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම එම විත්තිකරුවන් පස්‌දෙනා අතරින් පළමු වැනි විත්තිකාර පොලිස් කොස්‌තාපල් අනුර තුෂාර ද මැල් නමැත්තා 1, 9 හා 17 යන අධිචෝදනා තුනට ද වරදකරු බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල එම චෝදනා 3 ට ජීවිතාන්තය දක්‌වූ සිර දඬුවම් හා වසර 20 යි මාස හයක සිර දඬුවමක් ද නියම කළහ. නඩුවේ සෙසු විත්තිකරුවන් 8 දෙනා චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි චෝදනාවලින් නිදොස්‌කොට නිදහස් කරනු ලැබූවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ජන්දදායකයන් හට ගිනි අවි භාවිත කරමින් සාපරාධි බිය ගැන්වීම, නීති විරෝධී රැස්‌වීම, ඇතුළු චොදනා 10 කට වරදකරුවන් කර රුපියල් 40,000 බැගින් වු දඩ මුදලක් ද ගෙවීමට විත්තිකරුවන්ට අධිකරණය නියෝග කළේය.
විනිසුරු මණ්‌ඩලයේ දෙදෙනකු එක් තීන්දුවක් සහ සභාපති විනිසුරු විසින් සම්පූර්ණ වශයෙන් ඊට වෙනස් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම මෙම නඩුවේ විශේෂත්වය විය. නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා 17 න් විත්තිකරුවන් 13 දෙනාම නිදොස්‌කොට නිදහස් කළ යුතු බව එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය. 3 වැනි විත්තිකාර චමින්ද රවි ජයනාත් නමැත්තා එම ඝාතනයෙන් පසුව ඉන්දියාවට පලාගොස් සිටියදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළව ඉදිරිපත් කළ පැමිණිල්ලේ සාක්‌ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විත්තිය ප්‍රබල ලෙස මතු කළ පැමිණිල්ලේ සාක්‌ෂිවල ඌනතාවන් බිඳ දැමීමට පැමිණිල්ල අසමත් වී ඇති බවත් සිය තීන්දු ප්‍රකාශය මගින් සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය. නඩුවේ විත්තිකරුවකු අත්අඩංගුවට ගැනීමක් වැනි කරුණක් පිළිබඳව අධිකරණය හමුවේදී සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්‌ෂි මගින් තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීමක් මගින් සමස්‌ත නඩු ක්‍රියාදාමයට බලපාන්නේ යෑයි ද සභාපති විනිසුරුවරයා සිය තීන්දු ප්‍රකාශය මගින් පෙන්වා දුන්නේය.
භාරත ලක්‌ෂ්මන් සහ තවත් තිදෙනකුගේ මරණ සිදුකිරීම සම්බන්ධයෙන් ඇති චෝදනාවට දඩුවම ලෙස මරණ දඬුවම නියම කලයුතු බවත් එයට පෙර පැවසිය යුතු යමක් ඇත්නම් පවසන ලෙසත් ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ට දැනුම් දුන්නේය.
“මං කිසි දෙයක් කරලා නැහැ. මං මේ කිසිදේකට සම්බන්ධ නැහැ. මේ සියලු දේවල්වලට මං නිර්දෝෂී කෙනෙක්…” යෑයි දුමින්ද සිල්වා සිය අවසන් ප්‍රකාශය කෙටියෙන් සිදු කළේය.
අනතුරුව අධිකරණ ශාලාවේ රැස්‌ව සිටි සියලු දෙනා නැගී සිටි අතර අධිකරණ ශාලාවේ විදුලි බුබුළු නිවා දමා , විදුලි පංකා අක්‍රීය කොට විනිසුරු මඬුල්ල විත්තිකරුවන් හට මරණ දඬුවම නියම කළහ.
මනාප යුද්ධයේදී මහා සෙන්පතියකු සේ ප්‍රචාරණයේ යෙදුණු දුමින්ද සිල්වා ඉදිරිපත් වූ සියලු මැතිවරණ වලදී ඡේෂ්ඨයන් පරදා ජයග්‍රහණයේ මුලටම පැමිණ සිටියේය. කායවර්ධන ව්‍යායාම මගින් ගොඩනඟා තිබූ සිත් ගන්නා සිරුර සහ තාරුණ්‍යය නිසා, ඔහු කෙරෙහි වෙනත් දේශපාලනඥකුට නොමැති ආකර්ශනයක් සමාජය තුළ පැතිරී ගියේය. එය සමහර විට ප්‍රසංශාව නොව අපහාසය ද දුමින්ද කරා රැගෙන ආවේය.
නිල බල ධන බල ආදියට නොකළ හැක්‌කක් නොමැති යෑයි කියනා ලෝකය ඒ සියල්ල යට ගොස්, මරණය පොදු වෙන්නා සේ මරණ දඬුවම සියල්ල යට කරමින් දුමින්ද ඇතුළු පිරිස සොයා පැමිණියේය. පෙරදා රාත්‍රියේ සුවසේ නිදා, උදැසන අවදිවී නිවසින් පැමිණි දුමින්දට නිවසට යන අවසරය නීතිය මගින් ලැබුණේ නැත. තව වැරදිකරුවකු සමඟ මාංචු දමා ඔහු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිය. ඔහු රැගෙන යන ලද්දේ මරණ දඩුවම සඳහා නියමවූවන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ සී වාට්‌ටුව වෙතය. මරණිය දණ්‌ඩනය නියම වෙන රැඳවියන් සඳහා නියම වූ සුදු අත්කොට කමිසය සහ සුදු සරමකින් ඔහු දැන් සැරසී සිටියි. ව්‍යායාම සඳහා පමණක්, රඳවා ඇති කුටියෙන් දිනකට පැය භාගයක් ඔහුට එළිමහනට පිවිසිය හැකිය.
ඇපල් ඉල්ලීමක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සුදානම් බව ඔහුගේ පවුලේ නෑයන් ප්‍රකකාශ කර තිබුණි. දැන් දුමින්දගේ දෛවය ඇත්තේ එම ඇපැල සහ විශේෂ ජනාධිපති සමාව මතය.
දිවයින