Aug
16
රන් පදක්කම් දිනූ චන්න අද මිනී වළවල් හාරනවා

මේ ජාතික පාපන්දු ක්‍රීඩකයා තණකොළ කපමින් මිනීවළවල් හාරමින් රැකියාව කරන්නේ ගාල්ල දඩල්ල සුසාන භූමියේය.
ඔහු ගාල්ල මහ නගර සභාවේ අනියම් කම්කරුවෙකි. දිනක වැටුප ලෙස ලැබෙන්නේ රුපියල් දහසක සොච්චම් මුදලකි.
පාසල් යන දියණියන් දෙදෙනකු ඇතුළු දරුවන් තිදෙනකුගේ පියකු වන ඉන්න හිටින්න නිවෙසක්වත් නැති ඊ.බී. චන්න (37) ඔහුගේ දුක්බර කතාව ‘මව්බිම’ට මෙසේ දිග හැරියේය.
මම මුලින්ම පාසල් ගියේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට. පාපන්දු ක්‍රීඩාව සදහා මගේ තිබූ විශේෂ දක්ෂතාව නිසා ගාල්ල ඕල්සන්ස් විද්‍යාලයට ගියා. ඒ අතරතුර මට හකීම් සර් හමුවුණා. ඔහු මට අවස්ථාවක් ලබාදුන්නා ශ්‍රී ලංකා පාසල් පාපන්දු තරගාවලියට සහභාගි වෙන්න. 97 වසරේදි 19න් පහළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩාකරන්න අවස්ථාව ලැබුණා. ඒ තරගයේදි මම ගෝල් දෙකක් ගැසුවා. සිරිසේන මාස්ටර් මට අවස්ථාව උදාකර දුන්නා 98 වර්ෂයේදි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්න. චතුර මදුරංග, කසුන් ජයසූරිය, රාම් මොහිදීන්, මොහොමඩ් ජුවාඩ්, සුගත් තිලකරත්න එදා මා සමගග ක්‍රීඩා කළා.
ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මා පාපන්දු ක්‍රීඩාවෙන් දකුණු පළාතට රන් පදක්කම් තුනක් අරන් දීලා තියෙනවා. 2015දී හොදම ක්‍රීඩකයා වුණා. 2009 සාෆ් තරගාවලියේදි හොදම ක්‍රීඩකයා වුණා. 2005 ලාහෝර්වලදි තිබූ ඒ.ඒ.එස්.පී. ප්‍රසිඩන්ට් කප් තරගාවලියේදි මම ගෝල් අටක් ගහලා හොදම ක්‍රීඩකයා වුණා.
98 වර්ෂයේ බ්‍රිස්ටල් ෆ්‍රීඩම් කප් තරගාවලියට ක්‍රීඩා කළා. 2014 වෙනකම් වසර 16ක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කළා. සාෆ් ක්‍රීඩා තරග හතරක් ක්‍රීඩා කළා. ලෝක කුසලානය සදහා මූලික සුදුසුකම් ලැබීමේ තරගාවලි තුනක් ක්‍රීඩා කළා. ආසියා පාපන්දු ශූරතාව සදහා සුදුසුකම් ලැබීමේ තරග හයක් ක්‍රීඩා කළා. පාපන්දු තරග සදහා විදේශී්‍ය රටවල් 25කට විතර ගිහින් තියෙනවා. 2012 වර්ෂයේදි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරුවා. මගේ නායකත්වය යටතේ පලස්තීනයට ගිහින් තරග තුනක් ක්‍රීඩා කළා. මැලේසියාවට ගියා. ඊට පස්සේ වසර එකහමාරක් යනතුරු පාපන්දු සම්මේලනයට කිසිදු සැලැස්මක් තිබුනේ නැහ. මම 2014 වර්ෂයේදි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගියා.
වසර 16ක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. විශ්‍රාම යාමේදි යම්කිසි දෙයක් දෙනවා නම් දෙන්න කියලා ලියුමක් ශ්‍රී ලංකා පාපන්දු සංගමයට ඉදිරිපත් කළා. එහෙත් අද වෙනකම් කිසිදු පිළිතුරක් නැහැ.
එදා ක්‍රීඩා පත්තරය බලලා මැරඩෝනා, අමුනුල්ලා, රෝෂාන් පෙරේරා යන ක්‍රීඩකයන්ගේ විස්තර බලන විට මට ආශාවක් ඇතිවුණා පාපන්දු ක්‍රීඩා කරන්න. එහෙත් මට අවස්ථාව ලැබුුණේ බීම බෝතලයට පාපන්දු ක්‍රීඩා කරන්න. 2007 මා විවාහ වුණා. මට දියණියන් තිදෙනෙක් ඉන්නවා. දෙදෙනෙක් පාසල් යනවා. ඉන්න නිවෙසක් නැහැ. කුලී ගෙයක තමයි ඉන්නේ. දකුණු පලාත් ක්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ ඇමැතිතුමාට කීවා මට රස්සාවක් හොයලා දෙන්න කියලා. එතුමාගේ ඉල්ලීමට මට හිටපු නාගරික මන්ත්‍රී දුමිදු මහත්තයා හරහා ගාල්ල නගර සභාවේ රැකියාවක් ලැබුණා මට ලැබුනේ අනියම් කම්කරු රැකියාවක්. දඩල්ල කනත්තේ තණකොළ කපන්න හා මිනීවළවල් හාරන්න තමයි මට තියෙන්නේ. මේක ස්ථීර රැකියාවක් නෙවෙයි. ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්. දෛනික වැටුපක් තමයි ලැබෙන්නේ. මම බලාපොරොත්තු වුණේ කාර්යාලයේ කාර්යාල සහායක වගේ රැකියාවක්.
මගේ තාත්තා අන්නාසි කපනවා. අම්මා පිරිසුදු කිරීමේ ආයතනයක වැඩ කරනවා. මනිලාල් ප්‍රනාන්දු, තිළිණ පණ්ඩිතරත්න, රෝෂාන් පෙරේරා යන මහත්වරු මට උදවු කළා.
මා දෙවට ප්ලියින් ඇරෝ, ඕල් ජොසපියන්, ගෝල්යුත්, පැටා යුනයිටඩ්, රත්නම්, සුපර් සන්, බ්ලූ ස්ටාර් යන ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා කර තියෙනවා. දැනටත් මා බේරුවල බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා. එහෙත් මට ක්‍රීඩා තරගවලට යන්න රැකියාව නිසා අවස්ථාවක් නැහැ. ක්‍රීඩා තරගයට ගියොත් නිවාඩු දමලා යන්න ඕන. එදාට මගේ පඩිය ලැබෙන්නේ නැහැ. පඩිය කැපෙනවා. සමහරක් අය මගේ කට වහන්න හදනවා. එහෙත් මගේ කට වහන්න බැහැ. පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් තමයි කතා කරන්නේ. ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාව තමයි පාපන්දු. ගාල්ල ක්‍රීඩාංගණය නැතිවීම පාපන්දුවලට වැදුණු මරු පහරක්. මා මේවා කියන්නේ පටු අරමුණු වෙනුවෙන් නෙවෙයි යැයිද චන්න කීවේය.
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්