Jan
21
මැදවච්චියේ ඉපිද ලෝකය ජයගත් නිහතමානී මිනිසා
මැදවච්චියේ තියෙන කොබටියගොල්ලෑව කියන අතිදුෂ්කර ගමේ ඉපදිලා පිහිඹියගොල්ලෑව පාසලෙන් ශිෂ්‍යත්වය සමත්වුණු තමන්ගේ පුංචි කොළු ගැටයට එයාගේ විදුහල්පති තාත්තා ලොකු බලාපොරොත්තුවක් දෙනවා. පවුලේ වැඩිමලා වුණු මේ කොළු ගැටයා එක්ක මැදවච්චියේ ඉඳන් තකහනියේ පේරාදෙණිය සරසවිය ළඟට එක්ක එන මේ තාත්තා කියන්නේ ‘පුතා ලොකු වෙලා මෙතැනට එන්න ඕන‘ කියලයි. අනුරාධපුර නිවන්තකචේතිය විද්‍යාලයේ ඉගෙනගත්තු මේ කොළු ගැටයා සාමාන්‍ය පෙළ විභාගයත් සමත් වෙනවා. එදත් පේරාදෙණිය සරසවිය පෙන්නපු මේ තාත්තා කලින් කිව්ව කතාවම කියනවා. ඊට පස්සේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනගත්තු මේ ඉලන්දාරියා එක් වතාවක් විතරක් විභාගයට පෙනී ඉඳලා කොළඹ එනවා. එන්.ඩී.ටී කිරීමේ හීනය පැත්තක දාලා සාමාන්‍ය පෙළ ළමයිට ටියුෂන් දීලා, මහරගම හයිඩ්‍රාමනී ආයතනයේ වැඩකරලා අවුරුදු 19 දී ඔහු ඩුබායි යන්නේ පැරඩයිස් සමාගමේ රැකියාවට.
අද වෙද්දි ඔහු මුළු ලංකාවම අඳුනන්නේ සාජා හි ඔනෙක්ස් ඉන්ඩස්ට්‍රීස්, ඔනෙක්ස් බිල්ඩින් සිස්ටම්, ඔනෙක්ස් ඉලෙක්ට්‍රොනික් සර්විස්, නිලෝනා හෝල්ඩින්ග්ස්, ශ්‍රී ලංකා ඔරුවල වානේ සංස්ථාව, පසුගියදා හොරණදී විවෘත වුණු අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන ෆෙරන්ටිනෝ ටයර් කෝපරේෂන් කර්මාන්තශාලාව වගේම හම්බන්තොටදී විවෘත වීමට නියමිත ලංවා සිමෙන්ති කර්මාන්තශාලාවේ හිමිකරු වන නන්දන ලොකුවිතාන යන නමිනුයි.
මැදවච්චියේ ඉපදිලා අද වෙද්දි මුළු ලෝකයටම තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන මේ සාර්ථක ව්‍යාපාරිකයා අපේ සාම්ප්‍රදායික මත අභියෝගයට ලක්කරමින් කියන්නේ, ‘දුප්පත් පවුලකින් එන කෙනෙකුට. රජයේ නිලධාරියකුට ව්‍යාපාරිකයකු වෙන්න බැහැ කියලා, අපේ රටේ මිනිස්සු ළඟ මතයක් තිබෙනවා. මෙය ඔළුවේ තිබෙන මානසික ප්‍රශ්නයක්. එය අයින් කර ගන්න ඕනෑ.‘ කියලා.
මුදල්හදල් ලැබෙද්දී තමන්ගේ මාපියන් පවා අමතක වෙන සමාජයක් ඇතුළේ තමන්ගේ කුඩා අවදිය දුෂ්කර විදියට ගතවුණු අන්දම ගැන සිහිපත් කරන නන්දන ලොකුවිතාන අද කියන්නේ අගහිඟකම් මැද ජීවත් වුණු තමන්ට මාපියන්ගෙන් ලැබුණු ලොකුම දායාදය අධ්‍යාපනය බවයි.
පුංචි රටක් විදියට ලංකාව අද වෙද්දී කොරෝනා වසංගතයෙන් මිදෙන්නට උත්සහ දරන අවස්ථාවක ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් තරම් සුවිශාල ආයෝජනයක් කරමින් මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබාදුන්නු නන්දන ලොකුවිතාන අපිට කියාදෙන්නේ, නපුරු කාලපරිච්ඡේදය තව තවත් අඳුරු සමයක් කරගන්නට වගේම වසන්තය කරගන්නටත් හැකිවෙන්නේ අපිටම බවයි.