Jan 13

එංගලන්ත වෛරස ප්‍රභේදය මෙරටදී හඳුනාගත්තේ මෙහෙමයි


එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ තහවුරු කරති.

ඒ අනුව එම වෛරස ප්‍රභේදය හඳුනාගත් 51වන රට වන්නේ ශ්‍රී ලංකාවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් එම වෛරස් ප්‍රභේදය එම පුද්ගලයාගේ ජීව නියැඳියක් "Genetic sequencing" නම් ක්‍රමවේදයට ලක්කර හඳුනාගෙන තිබුණි.

ඒ පිළිබඳ ව පැහැදිළි කරමින් එම විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ මෙරට කොවිඩ් වසංගත තත්ත්වය ඇතිවීමත් සමගම ආසාදිතයින් ගේ ජෛව සාම්පල පර්යේෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තම කණ්ඩායම වෙත එවූ බවය.

"සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නිරන්තරයෙන්ම සාම්පල එවනවා "genetic sequencing" ස‍ඳහා. මේ දක්වා අපේ විද්‍යාගාරයේ අවස්ථා කිහිපයකදී "genetic sequencing" එක කරලා ඉවරවෙලා, ඒ අවශ්‍ය කරන සියලුම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් වසංගත රෝග විද්‍යා අංශයටත් ලබා දීලා තියෙනවා."

"අපි දැනට මේ හොයාගත්ත කරුණු අනුව අපි වාර්තා කරලා තියෙනවා දැනට මේ එක වෛරස් එකක් එක පුද්ගලයෙකුගේ සාම්පලයක ඔය සියලුදෙනා කතාවෙන බ්‍රිතාන්‍යයේ සැරිසරන. ඒ "mutation" එක හා සමානකම් තියෙන වෛරස් එකක් අපි හඳුනාගෙන තියෙනවා."


වෛද්‍ය ජීවන්දර මහතා පැවසුවේ ඔවුන් හඳුනාගත් වෛරස් ප්‍රභේදය එංගලන්තයෙන් හමුවූ වෛරස ප්‍රභේදයම බව විදෙස් විද්‍යාගාරයක් ඔස්සේ තහවුරු කරගත් බවය.

"ඒක අපි තහවුරුකරලා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා තියෙනවා. මේ හඳුනාගත්ත මේ වෛරස් එකේ මේ "strain" එකේ අපි "mutation" හඳුනාගෙන තියෙනවා. N510Y, P681H සහ 6976 ඩීවියේෂන් එක තියෙනවා. මේක අන්තර්ගත වන්නේ පැන්ගොලියන් ලිනේජ් එකේ B117 කියන ලිනේජ් එකට තමයි අන්තර්ගත වෙන්නේ. තවදුරටත් මේ පර්යේෂණ දිගටම සිදුකරගෙන යනවා."


කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ගැන පසුගියදා එංගලන්තයෙන් වාර්තා වුණි. පසුගිය සැප්තැම්බර් මාසයේදී කෙන්ට් ප්‍රාන්තයෙන් එම වෛරස ප්‍රභේදය පළමු ව හඳුනා ගැනිණි.

එම ප්‍රභේදය එතෙක් පැවති වෛරසයට වඩා වේගයෙන් පැතිර යන බවට එරට පර්යේෂකයෝ පැවසුහ.

එම ප්‍රභේදය පිළිබඳ ව තොරතුරු වාර්තාවීමත් සමගම රටවල් විශාල සංඛ්‍යාවක් එක්සත් රාජධානිය හා පැවති ගුවන්ගමන් තාවකාලිකව නවතා දැමීය.

B 117 ලෙස නම් කරඇති එම වෛරස ප්‍රභේදය මේ වනවිට රටවල් 50කින් පමණ වාර්තා වී තිබේ.

ඉන් රටවල් 13ක පමණ මේ වනවිට එම වෛරස් ප්‍රභේදය සාමාන්‍ය ජනතාව අතර පැතිර ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර, එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද තහවුරු කළේය.

විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බව වෛද්‍ය සුදත් සමරවීර මහතා එහිදී පැවසීය.

"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අපේ රට තුළින් හඳුනාගන්නා කොවිඩ් -19 ආසාදිතයින්ගේ වෛරසයේ ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම අධ්‍යනය කරනවා. ඒ අනුව මෑතකදී විදේශවල සිට පැමිණි අය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර ඔවුන්ගේ ජාන සංයුතිය හඳුනාගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ අවස්ථාවේ එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්ත නව ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා. අපි දැන් දන්නවා මේ අවදානම අපේ රට තුළට තිබෙනවා. ඒ නිසා විදේශ රටවල සිට පැමිණෙන අය ගැන විශේෂ අවදානය යොමුකළ යුතුයි."

ඔහු පැවසුවේ, මේ තුළින් පරණ වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව රෝගය වේගයෙන් පැතිරීමට හැකියාව ඇති බැවින් ආසාදිතයින් ප්‍රමාණය වැඩිවිය හැකි බවය.

"ඊට සමානුපාතිකව රෝගය උත්සන්න වන ප්‍රමාණයත් රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්," යැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.