Jan 04

අවුරුදු විස්සක් තිස්සේ හන්තාන විකුණුවේ මෙහෙමයි


මහනුවර හන්තාන වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අක්කර තුන්සිය එකොළහක් වසර 1995 සිට 2015 දක්වා කාලය තුළ පෞද්ගලික අංශයට සහ විවිධ පුද්ගලයන්ට බදු දී ඇති බව කියමින් වත්මන් කෘෂිකර්ම ඇමැතිවරයා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. ඔහු මෙම වාර්තාව ඔස්සේ ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් වහා සොයා බලා මෙම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ලබා දෙන ලෙසය.

ඔහු පාර්ලිමේන්තුවේ සභාගත කල වාර්තාව අනුව, හන්තාන වතුයායේ ගලහ කොටසේ අක්කර සියයක් රුපියල් අටලක්ෂ හතළිස් දහසක වාර්ෂික බදු මුදලකට දෙදහස් එකොළහ වසරේදී ගිහාන් සෝමසිරි නැමැත්තෙකුට වසර තිහක කාලයක් සදහා ලබාදී තිබේ. අක්කර පනහක් රුපියල් හාරලක්ෂ පනස් දහසක වාර්ෂික බද්දකට කොමඩිට් අයිලන්ඞ් නැමැති පුද්ගලික සමාගමකට අවුරුදු තිහකට ලබාදී තිබේ. තවත් අක්කර දහයක් රුපියල් එක්ලක්ෂ අසූ දහසකට සහ අක්කර දහහතක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන් දහසකට ඒ. කේ. ඞී. මුණිදාස හා රිසානා කෘෂිකාර්මික පුද්ගලික සමාගමකට වසර තිහකට ලබාදී ඇත. හන්තාන වතු යායේ තවත් අක්කර එකසිය තිස් හතරක් චාමිණි කිරිඇල්ල අක්කර හතළිස් පහක් හුවමාරු ඔප්පුවක් යටතේ, ඉකොටෙල් පුද්ගලික සමාගම (අක්කර විස්සක් රුපියල් පහළොස් ලක්ෂ දහ අට දහස් හත්සිය පනහක වාර්ෂික බදු මුදලකට) සහ හිල්කන්ටි‍්‍ර ෂූටින් ක්ලබ් අක්කර හතරක් රුපියල් එකොළොස් දහස් දෙසිය තිස් දෙකක බදු මුදලකට ද අක්කර තිස් හතරක් ජමීල් උම්මා නැමැත්තියකටද ලබා දී තිබේ.

හන්තාන තේ කම්හල රුපියල් එක්ලක්ෂ පනස් දහසක වාර්ෂික බදු මුදලකට ශ‍්‍රී ලංකා තේ මණ්ඩලයටද හන්තාන ප‍්‍රාදේශීය කාර්යාලය රුපියල් ලක්ෂ නවයක වාර්ෂික බද්දකට ප‍්‍රිහාන් හෝල්ඩින්ස් ආයතනයටද ලබාදී ඇතැයි ස`දහන් වේ. තවත් හන්තාන වතුයායෙන් පර්චස් තිහක් රුපියල් දසලක්ෂ දොළොස් දහස් පන්සියයක වාර්ෂික බද්දකට එම්. ටී. වී. හෙවත් මහරාජා ආයතනයටද රුපියල් දහදහස් අටසිය පනස් හයක වාර්ෂික බද්දකට අක්කරයක ප‍්‍රමාණයක් හන්තාන රජමහා විහාරයට අවුරුදු තිහකට ලබාදී ඇති බව මහින්දානන්ද ඇමැතිවරයා සභාගත කළ වාර්තාවේ සදහන් වේ. ඔහු මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම ඓතිහාසික සිද්ධියකි. දශක ගණනාවක් විවිධ ආණ්ඩු හෙවත් එක්සත් ජාතික පක්ෂය පොදුජන එක්සත් පෙරමුණ හෝ මෛත‍්‍රි රනිල් හවුල් ආණ්ඩුව හෝ හන්තාන ඉඩම් වෙනුවෙන් හඩක් නැගූයේ නැත. සෑම ආණ්ඩුවක්ම කළේ තම හිතෛෂීන්ට මේවා ඇති පදමට සූරා කන්නට ඉඩ හැරීමය.

දශක ගණනාවක් හන්තාන වෙනුවෙන් හඩනගන හන්තාන සුරැකීමේ සංවිධානය පවා මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ මේ වීර ක‍්‍රියාව අගයමින් සිටිති. පළමු වතාවකට මෙම කාරණය එළියට ඇද දමමින් කර ඇත්තේ මධ්‍ය කදුකරයේ වාසනාවට විය යුතුය. ජනතා විමුක්ති පෙරමුණ හෝ මෙවන් කාරණා මතු නොකර තිබියදී මෙලෙස හන්තාන පිළිබදව සැගවුණු තොරතුරු සමාජගත කර විනාශය කරා ගමන්කරන හන්තාන කදු වැටිය ආරක්ෂා කර ගැනීම පරම පවිත‍්‍ර චේතනාව නම් එය ඉතා හොදය.

නමුත් මැතිවරණ සමයක දූවිල්ලක් සේ පැතිර ගිය කටකතාවක් තිබිණි. හන්තාන වතුයායෙන් ඉඩම් කට්ටිකර මැතිවරණයට වෙහෙස වූ උදවියට බදු මුදලකට හෝ ඉඩම් ලබාදීමට කටයුතු කරන බවය. යම් හෙයකින් එවන් පටු සිතිවිල්ලක් හිතේ කොණක හෝ ඇත්නම් මෙයද තවත් දේශපාලන නාට්‍ය රඟ දැක්වීමක්ම විය හැකිය. එසේත් නැතිනම් කිරිඇල්ල මහතාගේ ක‍්‍රියාකලාපය සමාජගත කිරීම හා සෙසු දේශපාලන බලවතුන්ගේත් මහරාජා සහ ජෝන්කීල්ස් වැනි මහාපරිමාණ ධනවතුන්ගේ ක‍්‍රියාකලාප සමාජගත කොට සත්‍ය හෙළි කිරමින් හන්තාන වනජීවී දේපළක් ලෙස රජයට පැවරීම ද විය හැකිය. මේ පිළිබදව තවදුරටත් මේ සමයේ අවදානය යොමු කළ හැකි අවස්ථා කිහිපයක්ම ඇත. මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත් දෙසැම්බර් විසි හතර වැනි දින රැස්වන හන්තාන කළමනාකරණ කමිටුවේදී සාකච්ඡාවට බදුන් වන බත්තරමුල්ල පැලවත්ත පහළවෙල පාර අංක 121/1 ලිපිනයැති ශාමෙන් කිරිඇල්ල මියගේ හන්තාන වත්තෙහි ඔප්පු අංක 097 හා 100 හා පිඹුරුපත් අංක 1191 හි අක්කර 16 රුඞ් 1 පර්චස් 20 ක් විශාල හන්තාන වත්ත ඉඩමේ යටිවදුල ඉවත්කර වගාවක් ආරම්භ කිරීම හා තනිමහල් නිවාසයක් ඉදිකිරීමට ඉඩම් පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස මහනුවර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් විසින් කර ඇති ලිපිය සම්බන්ධව නිරීක්ෂණ සහ නිර්දේශ.

අදාළ නිරීක්ෂණ අනුව මෙම ඉඩම හන්තාන උඩුවෙල මාර්ගයේ උල්පත්කන්ද ආරණ්‍ය සේනාසනයට යන කොන්ක‍්‍රීට් පාරේ කිලෝමීටර් තුනක් පමණ දුරින් පාරෙන් ඉහළ පිහිටා ඇත. හරියටම චාමිණී කිරිඇල්ලගේ ඉඩමට යාබද ඉඩමය. අංශක විස්සත් තිහක් අතර බෑවුමක පිහිටා ඇති මෙම ඉඩම උස අඩි දෙදහස් හයසිය අසූ නවයක් ඉහළින් පිහිටා තිබේ. විශාල ගස් සහිත ලදු කැලෑ සහිත ඉඩමක් වන මෙය ජල පෝශක ප‍්‍රදේශයකි. තේ ගම්මිරිස් හෝ බහු අර්ධ වගාවන් සහිත බවට නිරීක්ෂණය නොවූ බවද මෙහිදී සාකච්ඡා විය. (ලිඛිත සාක්ෂි සතුවේ) ඒ අනුව නිර්දේශය ලැබී ඇත්තේ උක්තාංශය දෙදහස් පන්සියයට ඉහළින් පිහිටා ඇති බැවින් නව ඉදිකිරීම් සදහා එකගතාවයක් නැති බවටය. අඩි දෙදහස් පන්සියයට ඉහළින් වන ජල පෝෂක ප‍්‍රදේශය තුළ කිසිදු වගාවක් සදහා මධ්‍යම පරිසර අධිකාරිය අදාළ නීති රෙගුලාසි ගැසට් අනුකූලව අවසරයක් ලබා නොදෙන බවද එහිදී සාකච්ඡා කෙරිණි.

කිරිඇල්ල මහතා පෙර පවසන පරිදි මෙම ඉඩම් පරම්පරාගත ඉඩම් වේ. පරම්පරාගත වුවත් ජල පෝෂක සහ අඩි දෙදහස් පන්සියයට වඩා ඉහළ අධි සංරක්ෂිත කලාපයේ පිහිටා ඇති මෙම ඉඩමේ වගා කිරීමට කිසිදු නෛතික පසුබිමක් නැති බව පෙර වැවිලි අමාත්‍යවරයා ලෙස වගකීමෙන් කටයුතු පුද්ගලයකු නොදන්නවා විය නොහැකිය. තවද මෙම භූමියේ පෙර වගාවක් පැවති බව කීම ද මුසාවකි. පෙර වගාවක් ඇති බව කියමින් අවසරය ලබා නැවත ඉදිකිරීමක් සිදුකිරීමට වෑයම් කිරීමක් මෙහි ව්‍යංගාර්ථයෙන් කියැවේ.

තවදුරටත් හන්තාන රක්ෂිතයේ ඉඩම් අනිසි ලෙස පරිහරණයට ඉඩ පාදා ගැනීමට බලවතුන් දරණ උත්සාහයන් මෙම කාරණා මගින් හොද හැටි සනාථ වේ. මෙය අද ඊයේ සිට සිදු වූවක් නොවේ.

මහනුවර නගරයට ගිණිකොණ දෙසින් ගලහා නගරය දක්වා දිවෙන කදු වැටියක් ලෙස පිහිටා ඇති හන්තාන පරිසර පද්ධතිය ගගවට පාතහේවාහැට උඩපලාත දෙල්තොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස පුරා පැතිර පවති. මහවැලි ගෙග් අතිශය වැදගත් වූ ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙසට මෙහි බටහිර බෑවුම් ප‍්‍රදේශය හදුනා ගෙන තිබේ. මහවැලි ගගේ අතු ගංගා නිම්නවලින් එකිනෙකට වෙන්ව ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් ලෙස තුන් පැත්තකට විහිදී ගිය හන්තාන කදුවැටිය කන්ද උඩරට සොබාදම් අනන්‍යතාවයේ ප‍්‍රමුඛයාය.

හෙක්ටයාර් එක්දහස් දෙසියක් හෙවත් අක්කර දෙදහස් නවසිය තිස්තුනක් පමණ වන භූමි ප‍්‍රදේශයක් පුරා පැතිර ඇති හන්තාන ස්වභාවික වනාන්තරය හෙළිකර ඇත්තේ බි‍්‍රතාන්‍ය පාලන සමයේදීය. තේ, කෝපි, රබර් වැනි වගාවන් ස`දහා හෙළි කළ මේ භූමිය පසුකාලීනව අතහැර දමා ඇති බැවින් මුඩු ඉඩම් බවටද පත්ව ඇත්තේය.

හන්තාන පහළ ප‍්‍රදේශයේ හෙක්ටයාර් හාරසිය තිස්දෙකක් වසර 1939 දී ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලයට පවරා දී තිබේ. එය අදටත් පේරාදේණිය විශ්වවිද්‍යාලය සතු භූමියක් ලෙස ආරක්ෂිත පරිසර පද්ධතියක් ලෙස පවතී. වසර 1947 වන විට, අක්කර අටසිය පනහක භූමිය විදේශීය පාලනය යටතේ හන්තාන ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමට අයත්ව තිබූ බව කියැවේ. එම භූමිය වසර 1972 අංක 1 පනතේ ඇති ප‍්‍රතිපාදන මත රජයට පවරා ගත් බවද කියැවේ. ඒ අනුව එම කොටස ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෙවත් ඛඍක්‍ යටතට පත්ව ඇත. වසර 1952දී මාර ඇල්බීසියා සහ ඉයුකැලිප්ටස් වැනි දේශීය නොවන ශාකවගාවක් ද වසර 1980 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පයිනස් ශාකය ඉහළ කදු ප‍්‍රදේශය දක්වා වගා
කිරීමට ද කටයුතු කර ඇත.

හන්තාන පරිසර පද්ධතියට අයත් ඉඩම්වල අයිතිය සහ පරිපාලන අයිතිය රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනත් පෞද්ගලික පුද්ගලයන්ටත් අයත්ව ඇති බවට අද වන විට සාක්ෂි ඇත. කෘෂිකාර්මික ඉඩම්වල පරිපාලනමය අයිතිය ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ ශ‍්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට ලබාදීමටද රජය පියවර ගෙන ඇත්තේ 1972 න් පසුවය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව අවශේෂ කැලෑ ප‍්‍රමාණයක් ඇතත් එය මෙතෙක් නිවැරදිව මැන වෙන්කොට නැති බැවින් විවිධ අවස්ථාවලදී ගැටලූ පැනනැගී ඇත්තේ දේශපාලකයන් අතරය. වසර 1987 මැයි පළමුවැනි දින අංක 456/4 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අයත් නූර 39 නැමැති පිඹුරට අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පවරාදී ඇති ඉඩම් ප‍්‍රමාණය අක්කර එකසිය හතළිස් අටකි. විවිධ අවස්ථාවන්හිදී පෞද්ගලික ඉඩම් හිමියන් වෙත පවරා දී ඇති ඉඩම් ප‍්‍රමාණයද කොතැනක හෝ සටහන්ව නැති බැවින්ම හන්තාන ගොඩ වැදි තමන්ගේ ඉඩමක් බවට හන්තාන අත්පත් කරගන්නා පිරිස් එමටය.

ජල පෝෂක රටාව, ජල මූලාශ‍්‍ර ජෛව විවිධත්වය සහ ශාඛ විශේෂ තෘණ විශේෂ සත්ත්ව විශේෂ හෙවත් කෘමි පක්ෂි ක්ෂීරපායි සහ සමනළයන් ඇතුළු සොබාදහමේ අපූරු දායාද සුරැකිව තිබූ මෙම හන්තාන අද වන විට නිල බලයට ධන බලයට යට වූ මුඩු බිමක් බවට පරිවර්තනය වෙමින් තිබේ. හන්තාන සූරා කෑම ආරම්භ වී ඇත්තේ දේශය පාලනය කරන්නට ජනතා කතිරයෙන් පැමිණි උදවිය නිසා යැයි කීමේ කිසිදු අරුමයක් නැත්තේ ය. එහි ගොස් බලන කල සාමාන්‍ය ජනතාවට මේ සා විශාල විනාශයක් කිරීමට තරම් ගල් හිතක් නැති බව ඉතා පැහැදිලිය. දැන් දැන් තත්ත්වය උත්සන්න වී ඉඩම්වල අයිතිය පවා රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්ට සේවකයන්ට සංතෝෂම් වශයෙන් ලබාදීම දක්වා දිවෙන්නේය. දේශපාලන අධිකාරිය හන්තානට පා තබා ඇත්තේ වසර එක්දහස් නවසිය අනූවේදීය. ඒ බව කියන්නේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. ඔහුට අයත් බව කියන අක්කර අටක හන්තාන ඉඩම ඇත්තේ හන්තාන අධි සංවේදී කලාපය හෙවත් අඩි තුන්දහසකට ඉහළ කොටසේය. ඔහුගේ ප‍්‍රකාශය අනුව අන්දිරිස් ජයසිංහ නැමැත්තකු ගෙන් අත්පිට මුදලට සින්නක්කර ලබාගත් මෙම භූමිය දැන් ඔහු සතුය. ඔහු මාර්ග සංවර්ධන ඇමැතිවරයාව සිටි සමයේ මෙම ඉඩම අවට සියලූ මාර්ග කොන්ක‍්‍රිට් දමා සංවර්ධනය කර තිබෙනු දක්නට ලැබෙන්නේය. අඩි තුන්දහසකට වැඩි ඉහළ කොටසේ බැවින් එම ප‍්‍රදේශයේ ජනාවාස අදටත් නැත්තේය. අන්දිරිස්ගේ පෞද්ගලික දේපලක් ලෙස හන්තාන අධිසංවේදී කලාපයේ අක්කර ගණනක ඉඩම පැවැතියේ කෙසේද යන්න හැකි පමණ තොරතුරු සෙව් නමුත් ඒ වග පැහැදිලිව දැක ගන්නට ක‍්‍රමයක් නොතිබිණි.

එතැන් සිට වසර දෙදහස් හත තෙක් හන්තාන පාරිසරික කලාපය පාරසරික ආරක්ෂණ ක‍්‍රමවේද ඔස්සේ පැවැති අතර දෙදහස හතේදී ප‍්‍රයිම් ලෑන්ඞ් නැමැති පුද්ගලික ආයතනයක් විසින් පැමිණ ඉඩම් කට්ටි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණි. පර්චස් දහය සහ පර්චස් දොළහේ කට්ටි පනස් හතක් සකසමින් හන්තාන කදුවැටියේ අඩි දෙදහස් පන්සියයට පහළ කොටසේ බටහිර බෑවුමේ විකිණීමට ඔවුහු පියවර ගෙන තිබිණි. අදටත් පාරිසරික අනුමැතියක් නැති මෙම ඉඩම් සම්බන්ධයෙන් හන්තාන සුරැකීමේ සංවිධානය විසින් අධිකරණය වෙත ගොස් නඩුවක් ගොණු කොට තිබුණද එයද ගගට කැපූ ඉණි සේ වීය.

හන්තාන පාරිසරික ආරක්ෂක කලාපය ලෙස හන්තාන කදුවැටිය ගැසට් පතක් මගින් ප‍්‍රකාශයට පත් කරන්නේ වසර දෙදහස් දහයේ පෙබරවාරි දහහත් වැනිදාය. 1641/28 අංක දරණ මෙම අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් හන්තාන සුරක්ෂිත කිරීම ඒකායන පරමාර්ථය වුවද, මෙහි අඩංගු ඇතැම් කරුණු ඔස්සේ නීතිය අවනීතිය කොට ගෙන හන්තාන බිම සූරා කන්නට අවැසි ඉඩකඩ මින් සැකසී තිබිණි. ඇගිලි පුරුක් අතරින් හෝ රිංගා ගොස් තමන්ගේ කාරිය කරගන්නට සමත් අපේ බලධරයෝ එදා සිට අද දක්වා හන්තාන සූරා කමින් සිටින්නේ තම තමන්ට සුදුසු පරිදි නීතිය නවා ගනිමිනි.

අතිවිශේෂ ගැසට් පත නිකුත් වීමෙන් අනතුරුව හන්තාන ආරක්ෂක කළමනාකරණ කමිටුවක් පිහිටුවූ අතර එහි සභාපති ලෙස එවකට මහනුවර දිස්ත‍්‍රික් ලේකම් ගෝඨාභය ජයරත්න මහතා පත්කෙරිණි. ලේකම් ලෙස මධ්‍යම පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරයාත් සාමාජිකයන් ලෙස රාජ්‍ය වැවිලි සංස්ථාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය නොවන සංවිධානයක් වන හන්තාන සුරැකීමේ සංවිධානය සක‍්‍රීය දායකත්වය ලබා දුන්නේය. තවද ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් පරිහරණ අංශය ස්වාභාවික සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව නාගරික සංවර්ධන අධිකාරිය ප‍්‍රාදේශීය සභා යන සියලූ රාජ්‍ය අංශ මෙම කමිටුවේ නියෝජිතයන් වශයෙන් සිටින්නේය. හන්තානට අත ගසන්නට නම් මේ සියල්ලන්ගේම අවසරය අවැසි විය. හන්තාන සුරැකීමේ ගැසට් පත‍්‍රය නිකුත් වූයේද හතු පිපෙන්නාක් සේය. නකල්ස් පාරිසරික ආරක්ෂක කලාපයක් ලෙස ගැසට් පත‍්‍රය දෙදහස් දහයේ නිකුත් වූ වහාම එවකට පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත කඩිමුඩියේ හනතාන ගැසට්ටුව නිකුත් කළේය. ක්ෂේත‍්‍ර පරීක්ෂාවක් ජෛව විවිධත්ව තොරතුරු ලේඛනයක් පරිසර වටිනාකම් ශාඛ පද්ධති ඇතුළත් වාර්තාවක් හෝ ඉඩම් පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් හෝ ඊට අදාළව සකස් නොකර ගෙන ආ මෙම ගැසට්ටුවට පිං සිදුවන්නට අදටත් කාටත් බඩ පිනුම් ගසන්නට හැකියාව ඇත්තේය.

ඉන් පළමුව ලාභ ප‍්‍රයෝජන ගත්තේ කබීර් හෂීම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාය. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් ඔහු සිය දියණියගේ විවාහක ස්වාමිපුරුෂයා විසින් මහනුවර පේරාදෙණි පාරේ පවත්වා ගෙන යන ලද බ‍්‍රාවෝ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම වෙත පවරා දෙනු ලැබිණි. හන්තාන පහේ කණුව උඩුවෙල පිහිටි මෙම ගොඩනැගිල්ල අලූත්වැඩියාව ස`දහා හන්තාන කමිටු අනුමැතිය 2011 වසරේදී ලැබුණු අතර එම අනුමැතිය අවභාවිත කරමින් නාන තටාක සහිතව ගොඩනැ`ගිල්ලේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම වෙනස් ලෙස ඉදිකිරීමට පියවර ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන් වෙත පැමිණිලි කළද කිසිවකු විසින් ඊට ඇ`ගිලි නොගැසූ බවට සාක්ෂි සහිතව අදටත් කියා සිටින්නේ හන්තාන සුරැකීමේ සංවිධානයේ ප‍්‍රධාන ලේකම් අමිත් සේනානායක මහතාය.

වසර 1986 දී හන්තාන නිවාස සංකීර්ණය හෙවත් රාජ්‍ය සේවකයන් සදහා බද්ධ නිවාස සංකීර්ණයක් සදහා එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් අක්කර 148 ක් ඊට යටත් කොට ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබිණි. දුණුමඩලාව රක්ෂිතයට මායිම්ව හන්තාන නිවාස සංකිර්ණය ඉදිකිරීමට මෙකළ නිවාස අමාත්‍ය රණසිංහ පේ‍්‍රමදාස මහතා අවසර දී තිබිණි. ඒ අනුව නිවාස හාරසියයක් ඉදිකිරීමට පියවර ගෙන තිබිණි. පර්චස් හයක හෝ හතකට සීමා වූ නිවාස සංකිර්ණයෙන් නිවසක් ලබා ගැනීමට කටයුතු කළ අයෙකි සුජීව සේනසිංහ මහතා. ඔහු මෙම නිවාස සංකීර්ණයෙන් නිවසක් ගෙන යළි ඉදිකිරීමක් ලෙස බද්ධ නිවාස පෙළේ පාරිසරික නියමයන් නොසලකා ඉදිකිරීම් සිදු කළේ 2016 දීය. එල්. යූ. අකුරණ මහත්මිය හෙවත් සුජීව සේනසිංහ මහතාගේ මවගේ නමට සියලූ ලිපි ගොනු සකසමින් නිවස ඉදිකළ අතර, නිවසට පැමිණීම සදහා දුණුමඩලාව රක්ෂිතයෙන්ම පස්කපා දුණුමඩලාව මායිම පිරවීමටත් අඩි අටක්ව තිබූ මාර්ගය අඩි පහළොවක් දක්වා පුළුල් කිරීමටත් ඔහු කටයුතු කළේ නීත්‍යානුකූල අවසරය ගෙනය. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හන්තාන සුරැකීමේ සංවිධාන ප‍්‍රශ්න කරමින් බාධා කළ බැවින් 2017 දී මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී චානක අයිලප්පෙරුම මහතා විසින් පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව වෙත පෙත්සමක් නිකුත් කොට කියා ඇත්තේ, එල්. යූ. අකුරණ මහත්මිය හෙවත් නිවසේ හිමිකරුට බාධා කරන බවය. ඒවකට මෙම කාරක සභාවේ සභාපතිත්වය උසුලනු ලැබූයේ සුජීව සේනසිංහ මහතාය. ඔහු පෙත්සම සලකා බලා අකුරණ මහත්මියගේ නිවස සහ අඩි පහළොවේ මාර්ගය නීත්‍යානුකූල බවට අනුමැතිය ලබා දුන්නේය. ඉන් නොනැවතුන ඔවුහු වන සංරක්ෂණ මාර්ගය හෙවත් දුණුමඩලාව රක්ෂිත මායිමේ මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය වියදම් යටතේ සංවර්ධනය කර ඉදිකරනු ලැබීය. මේ ස`දහා නගරාධිපතිවරයාගේ මැදිහත් වීමද ඇතිව දුණුමඩලාවේ හරිත වනයේ ගස් හතක් කපා දැමීමටද කටයුතු කරනු ලැබිණි. ජනතා විරෝධයක් පැන නැ`ගුණද එය ග`ගට කැපූ ඉණි සේ විය.

ඉන් අනතුරුව හන්තාන පාරිසරික කලාපය තුළ අක්කර අටක පමණ කොටසක් තිලක් මාරපන මහතාගේ සහෝදරියකගෙන් මිලදී ගන්නේ රාවුෆ් හකීම් මහතාය. සිය බිරි`දගේ නමට එම ඉඩම මිලදී ගැනීමට ඔහු පියවර ගන්නේ දෙදහස් දහහතරේදීය. යහපාලන ආණ්ඩුව සමයේදී රජය හරිත භූමි ව්‍යාපෘතිය යටතේ වතු කම්කරු ජනතාවට පර්චස් හත බැගින් වූ ඉඩම් කැබලි හන්තානෙන් ලබා දෙන ලෙස දැනුම්දීමට අනුව එවකට හන්තාන වතු අධිකාරිවරයා විසින් රුපියල් 4400 මැනුම් ගාස්තු සහිතව ජනතා ලේඛනයක් සකස්කරනු ලැබූයේ ය. නමුත් අද වන තුරු ඉඩම් කැබලි ලබාදීමක් සිදුනොවූ අතර මේ වන විට හන්තාන වතු කාර්යය මණ්ඩලයේ නිලධාරීන්ට පර්චස් 15 ඉඩම් කැබලි ලබාදීමට පියවර ගෙන යමින් තිබෙන අතර ඒ අනුව 164 දෙනකුගේ ලැයිස්තුවක්ද සකසා තිබේ. මෙම 164 දෙනා අතරට ජනවසම ප‍්‍රාදේශීය කාර්ය මණ්ඩලය ප‍්‍රධාන කාර්ය මණ්ඩලය හන්තාන වත්ත වතු අධිකාරි ඇතුළු කාර්ය මණ්ඩලය වැවිලි කර්මානත අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙන් කොටසක් සහ අවට වතු අධිකාරිවරු ඇතුළත්ව සිටිති.

ඉහත ගිනි ගත් කොටසේ ඉඩම් කැබලි කොට ලබා දීමට සැලසුමක් තිබූ අතර මෙම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ගින්න පැතිර ගියේ දැයි හන්තාන සුරැකීමේ සංවිධානය සැකකරන බව එහි ලේකම්වරයා වන සේනානායක මහතා ප‍්‍රකාශ කර සිටියේය. හන්තාන අක්කර දෙදහස තවතවත් බෙදී ඇත. වසර 2018 හන්තාන උඩුවෙල උඩගම නැගෙනහිර ග‍්‍රාමසේවා වසමෙහි ඉඩම් අක්කර පනස් හතරක කොටසක මේ වන විට තවත් ගැටලූවක් පැනනැ`ගී තිබේ. 54වත්ත ලෙස හදුන්වන මෙම භූමියෙන් අක්කර විස්සක කොටසක් ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් ඇමැතිව සිටියදී ගාල්ලේ පදිංචි කාරියවසම් මහතා වෙත පවරා ඇත්තේ හුවමාරු ඉඩමක් ලෙසය. මේ වන විට මෙම ඉඩම පර්චස් එකක් ලක්ෂ හතරක් වන මිලට ලංසු තබා ඇති අතර ඊට අදාළ දැන්වීම් ද පලකර තිබේ. ගස්කපා සුද්ද කර මුඩු බිමක් බවට පරිවර්තනය කර ඇති මෙම ඉඩම ජලමූලාශ‍්‍ර සහිත භූමියකි. අධි සංවේදී කලාපයක් වන මෙම කොටස හි වන ජල මූලාශ‍්‍ර වලින් ජලය ලබා ගන්නේ ගාල්තැන්න, රටේමුල්ල, පල්ලේගම දකුණ උඩගම නැගෙනහිර සහ බටහිර, මොණරංගල යන ප‍්‍රදේශවල වෙසෙන පවුල් දෙදහසකට වැඩි ජනතාවකි. පාතහේවාහැට ප‍්‍රාදේශීය සභාව මගින් හුණු පිහිල්ලෙන් අරඹා ඇති ජල ව්‍යාපෘතිය අළුපොතකඩ දක්වා දිවෙන්නේ ඉහත කී ජල පෝෂක කලාපයෙන් පහලට ඇද හැලෙන ජලය උපයෝගියෙනි.

මෙයට අමතරව මෙම පාරිසරික පද්ධතිය අභ්‍යන්තරයේ හුණු ගල් තට්ටුවක් පැතිර පවත්නා බැවින් මෙය ආරක්ෂිත ප‍්‍රදේශයක් බවටද නම් කර ඇත්තේය. නායයෑම් අවධානමක් ඇති මෙම භූමිය හි ඉරිතැලීම් සිදුවූ වාරද එමටය. මෑත දිගන වික්ටෝරියා ආසන්නයේ සිදුවූ භූ කම්පනය තලාතුඹය දක්වා විහිද ගිය බව අපි දුටුවෙමු. හන්තාන බෑවුමේ හුණු ගල් සහිත භූගත පෙදෙස ඇත්තේ එම කොටසේය.

මේසා පසුබිමක් යටතේ වන හන්තාන කලාපය වසර 1995 ට පෙර සිටම සූරා කෑමකට ලක්ව තිබිණි. අදද සිදුවන්නේ වක‍්‍රාකාරයෙන් හන්තාන බිම මුදලට විකිණීමය. වතු මංකොල්ලකෑමකි. ගස්කපා ඉවත් කිරීමට නෛතික පසුබිමක් සකසා ගන්නේ වතු කම්කරුවන්ට වැටුප් ගෙවීම පිණිසය. ගස් හාරදහස් ගණනක් කපා දැමීමට ඉකුත් විසිහතර වැනිදා අනුමැතිය ලැබුණේ මධ්‍යම පළාත් පරිසර කමිටුවේදීය. ඊට සාක්ෂි වත්මන් දිසාපතිවරයා සතුය.

මෙවන් කටයුතු සිදුවන්නේ දේශපාලන අධිකාරියේ අනුදැනුම ඇතිවය. වන සංරක්ෂණය යටතට පත්ව ගස්වැල් සුරක්ෂිත වී රටේ අනාගතය වෙනුවෙන් හුස්ම ගන්නට ඉඩක් සලසා දෙන්නේ නම් එය මතු මතු ආත්ම වෙත ගෙන යන පිං රැස්කර ගැනීමක්ද වන්නේය. නමුත් තැන තැන සූරා කමින් කෙලෙසමින් යන මේ ගමනේ වනජීවීයට ඉතිරි වන්නේ මුඩු ඉඩමක් පමණකි.

විශේෂ ස්තූතිය හන්තාන සුරැකීමේ සංවිධානයේ ප‍්‍රධාන ලේකම් අමිත් සේනානායක මහතාට

- සමන්තී වීරසේකර
- දිවයින 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.