Jan 15

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් ගමන් අරඹන ස්ථාන


කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන "පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් " නියමු වැඩසටහන අද (15) පෙරවරුවේ ආරම්භ විය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

දැනට හයිලෙවල් මාර්ගය ඔස්සේ පමණක් දියත් වන මෙම බස් රථ සේවාව ඉදිරියේදී සෙසු ප්‍රධාන මාර්ග වලටද ව්‍යාප්ත කිරීමට නියමිතය.

සතියේ දිනවල උදෑසන සහ පස්වරුවේ කාර්යාල වේලාවන්වලදී කොළඹ නගරය සහ ඒ අවට මාර්ගවල පවතින්නේ දැඩි රථ වාහන තදබදයකි.

ඊට විසඳුම් සෙවීම සඳහා මංතීරු නීතිය, බස් ප්‍රමුඛතා මංතීරුව ආදී විවිධ ව්‍යාපෘතීන් දියත් කළත් පොලීසිය ඇතුළු රථවාහන බලධාරීන්ගේ අදහස වී තිබුණේ තනි තනිව කොළඹ නගරයට ඇතුලුවන පෞද්ගලික රථවාහන සීමා කළයුතු බවය.

ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ "පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් " නමින් නව බස්රථ සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කෙරුණි.

මෙම ව්‍යාපෘතිය යටතේ සිය පුද්ගලික රථයෙන් කොළඹ නගරයට පැමිණි ජනතාවට මින් ඉදිරියට ලංගම මගින් හඳුන්වාදෙන නව රථගාල්වල රථය නවතා අධි සුඛෝපභෝගී බස් රථයකින් සිය ගමනාන්තයට යෑමට අවස්ථාව උදාවේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පැවසුවේ, "මේවා වායුසමනය කළ බස්රථ, විනාඩි 10න් 10ට බස්රථ පිටත් කරන්න සැලසුම් කරලා තියෙනවා. කොළඹ නගරයේ ස්ථාන 5ක වාහන නතර කිරීමේ පහසුකම් සකස්කරලා තියෙනවා. කොට්ටාව මාකුඹුර, තලංගම ඩිපෝව, බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථ අංගනය, 138 මාර්ගයේ ස්ථානයක් සහ නුගේගොඩ. ඒ තැන්වල තමන්ගේ වාහන ගාල් කරලා සිටිබස් සේවාව භාවිත කරන්න පුළුවන්. ඉදිරියේදී ගාලුපාර, 120 පිළියන්දල පාර, මීගමුව පාර සහ නුවර පාර හරහාත් මෙම සේවාව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා," යනුවෙනි.

මෙම නියමු බස් රථ සේවාවේ සමාරම්භය අද පෙරවරුවේ කොට්ටාවේදී සනිටුහන් වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී ''සිටිබස්'' සේවාවේ ජංගම දුරකථන යෙදවුමද නිල වශයෙන් අන්තර්ජාලයට එක් කෙරුණි.

එම යෙදවුම, ජංගම දුරකථනයට බාගත කිරීමෙන් පසු GPS තාක්ෂණයෙන් බස්රථ ඇති ස්ථාන, බසය තුළ සිටින මගීන් ගණන ඇතුලු කරුණු රැසක් දැනගැනීමට මගීන්ට අවස්ථාව උදාවේ.

දැනට කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ඇරඹෙන මෙම බස්රථ සේවාව ගමන් මාර්ග දෙකක් ඔස්සේ සිදුකෙරේ.

ඉන් එක් මාර්ගයක් වන්නේ කොට්ටාවේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ පිටකොටුව හරහා ටෙක්නිකල් හංදිය, රාජගිරිය, පැලවත්තට පැමිණ පන්නිපිටියෙන් හැරී මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට පිවිසීමය.

අනෙක් මාර්ගය වන්නේ කොට්ටාවේ සිට හයිලෙවල් මාර්ගය හරහා නුගේගොඩට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට, ජාවත්ත, ටොරින්ටන්, පුරහල, යුනියන් පෙදෙසින් ලෝටස් වටරවුමට පැමිණ ඉන් ගාලුමුවදොර වෙත පිවිසීමය.

ගාලුමුවදොරින් එම බස්රථය නැවතත් කොල්ලුපිටිය, තුම්මුල්ල හංදිය ඔස්සේ හයිලෙවල් මාර්ගයට පිවිස එම මාර්ගය ඔස්සේ කොට්ටාවට පිවිසෙනු ඇත.

වයිෆයි පහසුකම්ද සමගින් ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ''සිටිබස්'' සේවාවේදී ගමන් ගාස්තුව සාමාන්‍ය බස්රථ ගාස්තුව මෙන් දෙගුණයකි.

වාහන නියාමනය, බස්රථ සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ, "බොහො ස්ථානවල අපි වාහන නැවතුම් ස්ථාන හදලා තියෙනවා. මුල් කාලයේදී ඒ සඳහා මුදල් අය කරන්නේ නෑ. අපි ආරක්ෂාව සපයනවා. මේවා අපි දිනපතා විෂබීජහරණය කරනවා. උණ බලනවා. සෞඛ්‍ය උපදෙස් බස් රථ තුළදී පිළිපදිනවා. ඒ නිසා බයකින් හෝ සැකයකින් තොරව මේ නව බස්රථ සේවාව භාවිත කරන්න කියලා අපි ආරාධනා කරනවා," යනුවෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.