Dec
23
RMV තවත් ජාවාරමක් අහුවෙයි (Video)
ව්‍යාජ ලිපිලේඛන සකසා නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කර ඇති වාහන 700ක් ගැන තොරතුරු මේ වන විට සොයාගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඒ පිළිබඳ අදාළ පරීක්ෂණ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදී ඇති බව ද මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
එහිදී ඔහු පැවසුවේ, "මේකෙදී ඉතාම පැහැදිළිව නොයෙකුත් ව්‍යාජ ලේඛන ඇත්ත වශයෙන්ම ව්‍යාජ ලේඛන කියන්නත් බෑ පරිඝනක පද්ධතියට ඇතුළුවෙලා හරිලේඛන හදලා තියෙනවා ව්‍යාජ විදියට. නියමිත වාහන නොවන වාහන ඇතුළත් කරලා තියෙනවා," යනුවෙනි.
"හැබැයි මේවා හොයාගන්න පුළුවන්. මේ වගේ රථ වාහන යම් ප්‍රමාණයක් අපි භාරදීලා තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අංක සහිතව. මේ ව්‍යාජ ලියාපදිංචි කරන අය කරන්නේ වාහන අරගෙන හදලා දෙපාර්තමේන්තුවේ සමහර අයත් එක්ක එකතුවෙලා වෙන පාර්ශ්වයකට විකුණනවා. එතකොට අනෙක් පාර්ශ්වය දෙපාර්තමේන්තුව හරහා තමන්ගේ නමට මේක පැවරුනහම හොර වාහනයක් කියලා හිතන්නේ නෑ. බහුතරයක් මේ වාහන දැන් තියෙන්නේ මුල් අයිතිකාරයා ළඟ නොවෙයි. එතකොට මේ වන්දිය ගෙවන්න වෙන්නේ මේ රථය තියෙන අයට".
එම පරීක්ෂණවලදී එම වාහන මිලදීගත් පුද්ගලයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු විමසීමට ඉඩ ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් අතර වැරදි කරන නිලධාරීන්ද සිටින බවත් ඔවුන්ට ද ස්ථානමාරු ලබාදීමට ක්‍රියාකළ බව ඔහු පැවසීය.
"පසුගිය කාලසීමාව තුළ අංශ කිහිපයක් ඔස්සේ අපි පරීක්ෂණ පැවැත්වුවා. එහිදී එම ස්ථානය යම් දූෂණ සහ වංචා සිදුවන ස්ථානයක් යන්න තේරුම් ගියා. එක ප්‍රසිද්ධ රහසක්. මේක නිවැරදී කිරීම සඳහා තමයි ජනාධිපතිතුමා අපට වගකීම පැවරුවේ. පහුගිය වර්ෂයක් පුරා අපි ඒ ගැන කටයුතු කරගෙන ගියා. අපි බහුතරයක් නිලධාරීන්ට දැනුම්දීම් කෙරුවා නිවැරදි විය යුතුයි කියන කාරණය. නිවැරදි වුණු තැනුත් තියෙනවා නොවුණු තැනුත් තියෙනවා. නොවුණු තැන් පිළිබඳව අපි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා"