Dec 24

"රෑ පටන් ගත්තු කතාබහ උදේ ඉවර වුණේ ඔහුගේ පෙම්වතිය වෙලා"


කසුනි කාවින්දි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ දම්මිගේ චරිතයෙන්. ඉන්පසු රාවණා සහ සයිබර් බෙගර්ස් නාට්‍ය වල ඇය අමතක නොවන චරිත රඟපෑවා රංගන ජීවිතේදි නිර්මාණ වෙනුවෙන් පෙම්වතියගේ චරිතයට පණ දීපූ කසුනි, සැබෑ ජීවිතේදීත් පෙම්වතියක් වෙලා. හංග හංග හිටපු කසුනිගෙයි අකලංක ප්‍රභාෂ්වරගෙයි ආදර කතාව ගැන දැන්නම් කසුනි හංගන්නේ නැති හැඩයි.

ඇත්තටම මම පෙම්වතියක් කියලා සමාජ මාධ්‍යවලින් හෙළි නොකරපු කාලයක් තිබුණා. මට ගොඩක්ම ඉන්නේ පිරිමි යාළුවෝ. මගේ පිරිමි යාළුවෝ එක්ක ගත්ත ෆොටෝ ෆේස්බුක් එකේ දැම්මත් මගේ කොල්ලා එක්ක මට ෆේස්බුක් එකේ ෆොටෝ දාන්න බැරි තත්ත්වයක හිටියේ. මගේ හිතේ පොඩි සැකයක් වැඩ කළ නිසා ඒ ගැන එතරම් කතා කළේ නැහැ. නමුත් දැන් මට මේ සම්බන්ධය ගැන දෙගිඩියාවක් නැහැ. මම සම්බන්ධකම් ගැන හංගන කෙනෙක් නෙමෙයි. මට මීට කලින් ආදර සම්බන්ධතා තිබිලා තියෙනවා. ඒ අයටත් මම අවංකවම ආදරය කළා. නමුත් ඒ සම්බන්ධවල අවසානය කොයි වගේ වෙයිද කියලා ගැටලු සහගත තත්ත්වයක් තිබුණා. විවිධ නොගැළපීම් එක්කම ඒ සම්බන්ධ නැති වෙලා ගියා. ආදර සම්බන්ධයකදී සල්ලි, යාන වාහන, පෙනුම වගේ බාහිර සාධකවලට මම අවධානය දුන්නෙම නැහැ. ආදර සම්බන්ධයකදි දෙන්නෙක් අතර ඇතිවන මානුෂීය ගනුදෙනුවට මම කැමැති වුණා.

එකිනෙකා ගැන හොයා බැලීම, අවශ්‍ය වෙලාවෙදි ළඟ හිඳීම වගේ ඒ ගනුදෙනුව ඇති කළේ තියෙන දේවල් ගැන මම හරියට හිතනවා. ආදරේ කරද්දි මම කොහොම කෙනෙක්ද කියලා දන්නෙ මගේ ළඟ ඉන්න අය විතරයි. මම කෑගහලා හිනා වෙලා පිස්සු නටලා හිටියට ආදරේ කරද්දි මම හරිම බොළඳයි. බොළඳයි කියලා මම අනෙකාට නීති දාන්නේ නැහැ. උපරිම නිදහසේ සිරීයස් විදිහට ආදරේ කරනවා. ආදර සම්බන්ධ තිබ්බට කාලයක් යද්දි විවිධ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධ හිතුවේ නැති තැන්වලට ගමන් කරනවා. සම්බන්ධයකදි අපි අපහසුවෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අකලංක කියන්නේ ජීවත් වෙන්න අපහසු නැති කෙනෙක්. දැන් අපේ ආදර සම්බන්ධය හංගන්න කාරණයක් නැහැ.

ආදර සම්බන්ධතා බිඳ වැටෙද්දි දික්කසාදය වැනි තීරණයක් ගනිද්දි සමාජය කාන්තා පාර්ශ්වය ගැන වැරදි කෝණයකින් බලන්න වගේම ඔවුන්ගේ ජීවිත විවේචනය කරන්නත් යුහුසුලු වෙන බව රහසක් නෙවෙයි. කසුනි තමන්ගේ ජීවිතයේ තිබුණූ ආදර කතා ගැන විවෘත වෙද්දිත් කසුනිටත් ඒ චෝදනාවම එන්න බැරි නැහැ. ඒ නිසාම ඇය සම්බන්ධතා ඇතිවීම නැතිවීම වගේම ඒවා විවේචනය කිරීම ගැනත් අපූරු අදහසක් අපේ කතාබහේදි එකතු කළා.

මට සම්බන්ධතා ගොඩක් තිබ්බා කිව්වට මට මහලොකු ගොඩක් සම්බන්ධකම් තිබ්බේ නැහැ. කලා ක්ෂේත්‍රයේ අය වගේම කලා ක්ෂේත්‍රයෙන් පිටත අය එක්කත් මට සීරියස් සම්බන්ධතා කිහිපයක් තිබිලා තියෙනවා. මට ඒවා හංගන්න ඕන වුණේ නැහැ. මම කොළඹින් පිට කෙනෙක්. ඒ සමාජය කොළඹ සමාජයට වඩා ටිකක් වෙනස්. සම්ප්‍රදායන් රකිනවා හරියට. අපේ පවුල්වල පවා එහෙමයි. මම කොළඹ ඇවිත් වෙනස් වුණ කෙනෙක් නෙමෙයි. මම කොහොමත් හිතන පතන විදිහ වෙනස්. කලා ක්ෂේත්‍රයේ වැඩ කරද්දි මම විවෘතව දේවල් අත්වින්දා. සමහරු හදාගෙන ඉන්න රාමුවෙන් පිට ඉන්න කෙනෙක් මම. ඒ නිසා සම්බන්ධතා බිඳවැටීම ගැනත් විවෘතව බලන්න මට පුළුවන්. දෙන්නෙක් අතර සම්බන්ධයක් ඇති වුණාට පස්සෙ යම් කාලයක් යද්දි කුමක් හෝ සාධක එක්ක ඒ සම්බන්ධකම් වෙනස් වෙන්න පුළුවන්. අනෙක් අයගේ ජීවිත විනිශ්චය කරන අයට වුණත් එහෙම වෙන්න පුළුවන්. සම්බන්ධතා බිඳුණම විවේචනය කරන සමහරුන්ගේ ජීවිතවල එවැනි බිඳවැටීම් වෙලාම නැද්ද. ආදරය කරන කෙනාම විවාහ කරගන්න, එයා එක්කම විවාහ වෙලා මැරෙනකල් ඒ කෙනා එක්කම ඉන්න ලැබෙන්නෙ අතළොස්සකට. ඒ අය වාසනාවන්තයි. නමුත් ගොඩක් දෙනෙක්ගේ ජීවිතවල බිඳවැටීම් වෙලා තියෙනවා. පුද්ගලයන්ගේ විවිධ මානසික මට්ටම් නිසා සම්බන්ධකම් ඇතිවෙනවා නැති වෙනවා. මටයි අකලංකටයි වුණත් ඒක පොදුයි. අපි මේ මොහොතේ අනාගත සැලසුම් හදාගෙන ආදරයෙන් ඉන්නවා. ඉස්සරහට මොනවා වෙයිද කියලා අපි දන්නෙ නැහැ. සම්බන්ධකම් සදාකාලිකයි කියන්න අපිට බැහැ. මම සම්බන්ධකම් ඇතිවීම නැතිවීම දිහා බලන්නේ උපේක්ෂාවෙන්. අපි සම්බන්ධයක් පටන් ගන්නේ මේක තමයි ජීවිත කාලෙම තියෙන සම්බන්ධය කියලා හිතාගෙන. නමුත් නොහිතපු දේවල් වෙලා සම්බන්ධකම් කැඩෙනවා. මමත් තිබ්බ සම්බන්ධතාවලදි අවංකව හිටියේ. නමුත් දරාගන්න බැරි තැන්වලදි ඒ සම්බන්ධකම් කැඩිලා ගියා. ඒක තමයි ස්වභාවය. අනෙක් අයගේ ජීවිත විනිශ්චය කරන අයටත් එය අදාළයි.

ආදරේදි බිඳ වැටීම්වලට මුහුණ දුන්න කසුනි රංගන ක්ෂේත්‍රයෙම ඉන්න අකලංකට ආදරය කරන්නත් හේතු ඕනෑතරම් තියෙන්න ඇති. අකලංකගෙයි කසුනිගෙයි අහඹු හමුවීම් ජීවිතයට තෝරගන්න තරම් ළෙන්ගතු වෙලා තිබුණේ මේ විදිහට

ආදරය කරද්දි මට නළුවෙක්ද කියන දේ අදාල වුණේ නැහැ. මට ඕන වුණේ ජීවත්වෙන්න පහසු මනුෂ්‍යයෙක්. අකලංක කියන්නේ අනෙකාට ගරු කරන හරිම ආදරණීය මනුෂ්‍යයෙක්. මම අකලංකව අවුරුදු අටක විතර ඉඳන් දන්නවා. මම විශ්ව විද්‍යාලේ නාට්‍ය කරද්දි අකලංක එළියේ නාට්‍ය කරමින් හිටියා. පස්සෙ කාලේ අපි දෙන්නට එකට වැඩ කරන්නත් ලැබුණා. අපි දෙන්නා මාර ළග යාළුවෝ නෙමෙයි. මම ළඟින්ම ආශ්‍රය කරන රංගන ශිල්පීන් පිරිසක් ඉන්නවා මේ ක්ෂේත්‍රයේ. මම කාර්යබහුල වෙන කාලෙට ඒ සෙට් එක මට මගහැරෙනවා. ආයෙත් මම එයාලව හොයාගෙන යනවා. එහෙම ගියපු එක කාලෙක අකලංකත් ඒ සෙට් එකේ හිටියා. ඒ කාලේ මගේ තිබ්බ සම්බන්ධතා බිඳ වැටිලා වගේම අකලංකගෙ තිබ්බ ආදර සම්බන්ධයත් බිඳිලා තිබ්බ කාලයක්. සම්බන්ධකම් ගැන කලකිරුණ තැනක අපි දෙන්නම හිටියේ. එක දවසක් අපි දෙන්නම කතා කරන්න පටන් ගත්තා. ඒ වෙද්දි මගේ හිතේ අකලංක ගැන යම් කැමැත්තක් තිබ්බා. රෑ පටන් ගත්ත අපේ කතාබහ ඉවර වුණේ පාන්දර. අපි දෙන්නම විවෘත චරිත. අපි දෙන්නට දෙන්නා ගැන තියෙන හැඟීම අපි කතා කළා. මම ඔයාට කැමැතියි, ඔයා මට කැමැතිද කියලා අපි ඇහුවේ නැහැ. නමුත් අපි ගැන අපිට තියෙන අදහස තේරුණා. ඒ පටන් ගැන්ම දැන් අවුරුද්දක් විතර ගලාගෙන යනවා.

ආදර සම්බන්ධයකදි කෙනෙක් අනෙකාව පාලනය කරන්න යන තැන සිදුවෙන ගැටලු ආදර සම්බන්ධයක හරහට හිටින්න පුළුවන්. කසුනි, අකලංක ආදර කතාව ඇතුළේ එවැනි තහංචි නැද්ද කියලත් අපි අහපු ප්‍රශ්නයට කසුනි ළඟ උත්තරයක් තිබුණා.

එයා කවදාවත් කිසිම දෙයකට වාරණ දාලා නැහැ. මගේ ජීවිතය ගෙවන විදිහ, මම මොනවගේ කෙනෙක්ද කියලා එයා හොඳට දන්නවා. මම කොළඹට ඇවිත් අවුරුදු අටක් දහයක් තනියම ජීවත් වෙනවා. මම ජීවත් වෙන්න ඕන විදිහ දැනගෙන ජීවත් වෙන නිසා එයා කිසිම දෙයක් කරන්න එපා කියලා මට කියන්නෙ නැහැ. මම කැමැති විදිහට ඉන්න කියලා එයා කියන්නෙ. එයා දෙන නිදහස රකින්නත් මම දන්නවා. ඒ නිසා මට අකලංක එක්ක සම්බන්ධයක් තියාගන්න පහසුයි.

මේ ආදර කතාවට අම්මගෙන් තාත්තගෙන් අවසර ගන්නත් කසුනි අපූරු ක්‍රමයක් පාවිච්චි කරලා තිබුණා. කසුනිගෙයි අකලංකගෙයි ආදර කතාවට තාත්තාගෙන් ලැබුණ ප්‍රතිචාරයත් කසුනි බලාපොරොත්තු වුණ ප්‍රතිචාරයට වඩා වෙනස්.

මම සාමාන්‍යයෙන් අම්මට හැමදේම කියනවා. හැබැයි තාත්තාට හැමදේම කියන්නෙ නැහැ. තාත්තා පොලිසියේ වැඩ කරපු කෙනෙක් නිසා අපි පොඩි කාලේ ඉඳන් තාත්තාට ටිකක් බයයි. ඒ නිසා මම තාත්තා එක්ක හැමදේම විවෘතව කතා කළේ නැහැ. මගේ ජීවිතයට ස්ථීර සහකරුවෙක් මුණගැහුණම ඒ ගැන තාත්තට කියනවා කියලා හිතා ගත්තා. මුලින් තිබ්බ සම්බන්ධතා ගැන අවිනිශ්චිත බවක් තිබ්බ නිසා ඒ ගැන තාත්තාට කිව්වේ නැහැ. අකලංකගෙයි මගෙයි සම්බන්ධය පටන් ගත්තේ සම්බන්ධයක් කියන්නෙ මොකක්ද කියන අවබෝධය එක්ක. ඒ නිසා මට එයා එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතුණා. මේ සම්බන්ධය ගැන තාත්තට කියන්න ඕනේ කියලා හිතලා ඒ ගැන දිග ලියුමක් තාත්තට ලියලා තියලා මම කොළඹ ආවා. ඒක බලලා තාත්තා මට කතා කළා. තාත්තගෙන් බලාපොරොත්තු නොවුණ ප්‍රතිචාරයක් මට ලැබුණෙ. ඔයාලා දැන් වැඩිහිටියෝ . ඒ නිසා හොඳ දේ මොකක්ද කියලා ඔයාලා දන්නවා කියලා තාත්තා මට කිව්වා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට පවුලෙන් කැමැත්ත ලැබුණා.

ආදරය කරන කසුනියි අකලංකයි කැඳලි බඳින්න නම් ඉක්මන් නැති හැඩයි. අනාගතය ගැන කසුනිට හොඳ දැක්මක් තියෙන නිසාම ඔවුන් කැදලි බඳින්න සැලසුම් කරන විදිහ ගැන අපිට කිව්වා.

ජීවත් වෙන්න ආදරය විතරක් තිබ්බම ඇති කියලා හිතලා විවාහ වෙන්න බැ. අපි දෙන්නම ආර්ථික පැත්තෙන් ස්ථාවර වෙන්න ඕනේ. අපි දෙන්නට ඉන්න තැනක් හදාගන්න ඕනේ. නැත්නම් කොච්චර ආදරේ තිබ්බත් ඔය ප්‍රශ්න නිසා සම්බන්ධතා බිඳෙන්න පුළුවන්. ඒ නිසා බඳින එක නෙමෙයි වැඩේ. යම් ස්ථාවරයක් හදාගෙන විවාහ වෙන්න තමයි අපි දෙන්නගෙම බලාපොරොත්තුව තියෙන්නෙ.

පසුගියදා යෙදිලා තිබ්බ කසුනිගෙ උපන්දිනය දවසේ අකලංක වගේම ක්ෂේත්‍රයේ මිත්‍රයන් කිහිප දෙනෙක්ගෙන්ම පුදුම කිරීම්වලට මුහුණ දෙන්න කසුනිට සිද්ධ වුණා. අනෙක් අයව පුදුම කරන්න පෙරමුණ ගන්න කසුනිට තමන්ගේ ආදරවන්තයාගෙන් ලැබුණ ඒ පුදුම කිරීම අමතක වෙන්නෙ නැතිවෙයි. එයටත් හේතුව කසුනිගෙන්ම දැනගන්න ලැබුණා.

මම සාමාන්‍යයෙන් පුදුම කිරීම්වලට මාරම කැමැතියි. මට පුදුම කිරීම් හම්බුණේ නැතත් මගේ යාළුවන්ව ළඟින්ම ඉන්න අයව පුදුම කරන්න මම බැහැලා වැඩ කරන්නෙ. අකලංක ඒ දේවල්වලට එහෙම කැමැති නෑ. හැබැයි එයා දන්නවා මම ඒ දේවල්වලට කැමැතියි කියලා. ඒ නිසා මගේ උපන්දිනය දවසේ තව යාළුවො ටිකක් එක්ක ගෙදරට කඩා පැන්නා. එහෙම පුදුම කිරීමක් මම බලාපොරොත්තු වුණේම නැහැ. එදාම කලණ අයියයි කෞශල්‍ය අයියයි කේක් එකක් අරන් ඇවිත් මාව පුදුම කළා. පාරෙදි තමයි ඒ කේක් එක කපන්න වුණේ. ඉතිං උපන්දිනය දවසේ දෙපාරක්ම මම පුදුම වුණා.

කසුනි මේ දවස්වල සයිබර් බෙගර්ස් නාට්‍ය නිසා වෙනස් මුහුණුවරකින් ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා. කසුනිට පැසසුම් වගේම විවේචනත් ගෙනාපු ඒ නිර්මාණය ගැනත් කතා නොකරම බැහැ.

යම් නිර්මාණයක පිටපත කියෙව්වම ඒක මගේ හිතට අල්ලනවා නම් ඒක ගැමි චරිතයක්ද ඊට වෙනස් චරිතයක්ද බලන්නෙ නැතුව කරනවා. රඟපාද්දි මට ප්‍රතිපත්ති සීමා නැහැ. මම රංගන ශිල්පිනියක්. මට රඟපාද්දි කොන්දේසි නැහැ. රඟපාද්දි සෑබෑ ජීවිතයෙන් එහාට ගියපු චරිතයක්, අවස්ථා සංසිද්ධි ටිකක් මට නිරූපණය කරන්න තියෙන්නෙ. එතකොට මම වාරණ දාගන්න එක හරිද? වාරණ දාගත්තොත් චරිතයට අවශ්‍ය සාධාරණය කරන්න බෑනෙ. තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ දම්මිගේ චරිතයට මම සාධාරණයක් කළා වගේම සයිබර් බෙගර්ස් නිර්මාණයේ සකූගේ චරිතයටත් මම සාධාරණයක් කරන්න උත්සාහ කළා. සකූ කියන්නෙ හොරකම් කරන මිනිස්සු රවටලා සල්ලි ගන්න චරිතයක්. ඒ නිර්මාණයේ ප්‍රචාරණවලට පාවිච්චි කළ පෝස්ටරයේ මම දුම්බොන දර්ශනයක් තියෙන්නෙ. නමුත් ඒ කතාවෙ දුම්බොන දර්ශන නැහැ. සිංදුවක තමයි ඒ දර්ශන තියෙන්නෙ. ඒ දර්ශනයක් තමයි පෝස්ටරයට දාලා තිබුණේ. ජායාරූපයක් ලෙස එයට කැමැති වුණ අය ඒකට හොඳ ප්‍රතිචාර දුන්නා. කිහිප දෙනෙක් එය විවේචනය කළා. ඒ අය දාපු ඒ කමෙන්ට්ස් බලලා මම ඒක බැහැර කළා.

කසුනි කිව්ව කතාව ඇතුළේ රංගනයෙදි කසුනිට කිසිම වාරණයක් නැද්ද කියලත් බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන්.

මම වාරණ දාගෙන නැහැ. රංගනයට ආපු කාලේ මම නිරුවත් හා අඩ නිරුවත් දර්ශන රගපාන්න තියෙන අවස්ථා දෙකක් මගහැරියා. මොකද මට ඒ කාලේ ඒ වගේ රංගනයක් කරන්න පොඩි තිගැස්මක් තිබ්බා. මම දැන් රංගනයෙදි වාරණ තියාගෙන සීමා දාගෙන වැඩ කරන්නෙ නැහැ. සිප ගන්න දර්ශන,මත්පැන් පානය කරන දර්ශන හෝ අඩනිරුවත් රංගනයක් කරන්න හෝ මම වාරණ දාගන්නෙ නැහැ. ඉස්සර එවැනි චරිත කරන්න තිබ්බ තිගැස්ම දැන් මට නැහැ. මම යම් කාලයක් ක්ෂේත්‍රයේ හිටියා. හැබැයි ලැබුණ පළියට මම චරිතයක් කරන්නෙ නැහැ. යම් නිර්මාණයකට එවැනි දර්ශනයක් කොච්චර අවශ්‍යද කියලා මම බලනවා. මම දැන් යම් කාලයක ඉඳලා ක්ෂේත්‍රය තුළ වැඩ කරන නිසා වැඩ සිද්ධ වෙන විදිහ දන්නවා. ඒ නිසා මම වාරණ සීමා තියාගෙන වැඩ කරන්නෙ නැහැ. කාරණා බොහොමයක් ගැන සියපාරක් හිතලා තමයි මම එවැනි දර්ශනයක් කරනවා නම් කරන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.