Nov 29

කොරෝනාවෙන් සුවය ලැබූ සේවිකාවන්ගේ සත්‍ය කතාව


Covid-19 යනු ලොවක් දණ ගැස්වීමට සමත් වූ ව්‍යසනයක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය. ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් මෙන් ම චීනය, ඇමෙරිකාව, ඉන්දියාව ආදී ලොව බලවත් රටවල් පවා මෙම ව්‍යසනයෙන් මහත් පීඩාවට ලක්වී ඇති බව නොරහසකි.

ශ්‍රී ලංකාව Covid-19 පළමු රැල්ල ඉතා හොඳින් පාලනය කිරීමට සමත් වුව ද, මේ දිනවල පැතිරෙන දෙවැනි රැල්ල හඳුනා ගැනෙන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවිකාවකගෙනි. මේ නිසා ම පසුගිය කාලවකවානුව තුළ විවිධ අයුරින් බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සමාගම් ජාලය සමාජය තුළ කතාබහට ලක්වන්නට විය. සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම විවිධ මාධ්‍යයන් ඔස්සේ මේ පිළිබඳව බොහෝ කතිකාවත් ගොඩ නැඟෙන්නට විය.

එම නිසා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ Covid-19 වැළඳුණු සේවිකාවන් දෙදෙනකු සොයා ගියේ මෙහි සත්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට මෙන් ම Covid-19 පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ඒමේ අදහසිනි. අප පළමුවෙන් ම සාකච්ඡාවට සම්බන්ධ කර ගත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයෙහි නියුතු සමන්තා හේමමාලි මහත්මියයි.

සමන්තා මහත්මිය, ඔබට Covid-19 වැළඳී ඇති බව දැනගත්තේ කොහොම ද? ඒ මොහොතේ මොක ද හිතුණේ?

මට මුලින් ම උණ තිබුණා. ඒ වගේමයි පාචන ගතියකුත් තිබුණා. ඒ නිසා මම ගම්පහ වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගත්තා. එහිදී වෛද්‍යවරයා මට කිව්වා රෝග ලක්ෂණ අනුව වෛරස් උණක් වෙන්න ඇති කියලා. ඉතින් මම ගෙදර ඇවිත් වෛද්‍යවරයා දුන්න බෙහෙත් බීල නිදිය ගත්තා.

පසුව දා මගේ ශරීර ශක්තිය හොඳින් තිබුණු නිසාත්, රෝගී තත්ත්වය පහව ගිහින් තිබුණු නිසාත් මම වැඩට ගියා. පීසීආර් කළායින් පස්සේ තමයි මට කොරෝනා කියලා දැන ගන්න ලැබුණේ. මම ගොඩක් දුක්වුණා. ඒ වගේ ම මට ගොඩක් බය හිතුණා. මොක ද මට ඉන්නේ පිරිමි දරුවන් දෙන්නෙක්. මගේ ලොකු පුතාගේ වයස අවුරුදු 27. පොඩි පුතාට අවුරුදු 20. එයා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්. එයාල ගැන තමයි මට ගොඩක් බය හිතුණේ.

Covid-19 වයිරසය වැළඳුණු රෝගියෙකු නිසා හදිසියේ ම ඔබට රෝහල්ගත වෙන්න වෙනවා. මේ හේතුවෙන් ඔබට ඇති වූ ගැටලු මොනවා ද?

මම කලිනුත් කිව්ව වගේ මට තිබුණු ලොකු ම ගැටලුව තමයි මගේ පොඩි පුතා දාලා යන්න වෙන එක. මොක ද එයා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්නේ. ඉතින් එයාව තනි කරන එක මට ලොකු ප්‍රශ්නයක් වුණා.

රෝහල්ගත වෙන්න යන වෙලාවෙදි මට මගේ පුතාලා දෙන්නාගේ මූණු දෙක ඉඹින්නවත් බැහැ. ඒ වගේමයි හදිසියේ ම යන්න වුණ නිසා ඒ අය ගැන බලාගන්න කිසි කෙනෙක්ව කතා කර ගන්නවත් බැරි වුණා. ඒක තමයි මට තිබුණු ලොකුම ප්‍රශ්නය. මාව රෝහල්ගත කළායින් පස්සේ මගේ දරුවෝ දෙන්නවත් නිරෝධායනයට යොමු කළා.

ඔබ රෝහල්ගත වෙලා ඉන්න අවස්ථාවේදී නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගය කොහොම ද?

කොරෝනා වැළඳිලා ඇති බවට තහවුරු වුණාට පසුව අපිව ගිලන් රථයක් මඟින් කෙළින්ම අපේ ආයතනයට අරගෙන ගියා. ඒ යන අතරෙදි ගිලන් රථයේ ආපු හමුදා නිලධාරීන් දෙදෙනා අපේ හිත් ගොඩක් හැදුව. ඇත්තටම ඔවුන් ඉතාමත් කාරුණික නිලධාරීන් දෙදෙනෙක්.

ආයතනයට ගියායින් පස්සෙ අපේ සෙරෙප්පු දෙකේ ඉඳල විෂබීජහරණය කළා. ඊට පස්සේ බස් රථයකින් අපිව කඹුරුගොඩ රෝහලට අරගෙන ගියා. මම කියන්නම ඕනේ, වෛද්‍යවරුන්ගේ ඉඳලා රෝහලේ සියලු ම කාර්ය මණ්ඩලය ඉතාමත් හොඳින් අපට සැලකුවා. ඇත්තටම ඔවුන් දෙවිවරුන්.

අපිට උදවු උපකාර කරපු වෛද්‍යවරුන්, හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාමසේවක මහත්වරුන්, ආරක්ෂක අංශවල සියලු ම මහත්ම මහත්මීන් ඇතුළු සියලු ම දෙනාට ස්තුතියි කියන්න, පින් දෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

සමන්තා හේමමාලි මහත්මිය මෙන් ම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කල්හාරි දිල්රුක්ෂිකා ලියනගේ මහත්මිය ද Covid - 19 වෛරසය වැළඳී සුව වුණු තැනැත්තියක්. ඇය හා සාකච්ඡා කළේ ඇයගේ අත්දැකීමත් පාඨක ඔබ සමග බෙදා හදා ගන්නා අදහසිනි.

කල්හාරි මහත්මිය, අපට ඔබ පිළිබඳව විස්තර ටිකක් කියන්න පුළුවන් ද?

මගේ නම කල්හාරි දිල්රුක්ෂිකා ලියනගේ. මම ජීවත් වෙන්නේ නයිවල ප්‍රදේශයේ. මගේ ගෙදර ඉන්නේ මගේ අම්මා සහ වයස අවුරුදු නවයක් වන මගේ දියණිය. මම දැනට වසර තුනක් පමණ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනවා. මගේ අම්මත් වසර දහ තුනක් පමණ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරලා තිබෙනවා.

ඔබට කොරෝනා තිබෙන බව දැන ගත්තෙ කොහොම ද?

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාවත් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුවා. ඒ වෙලාවෙදි තමයි දැනගත්තෙ මට කොරෝනාවෛරසය වැලඳිලා තිබෙනවා කියලා. නමුත් මට රෝග ලක්ෂණ හෝ ඇඟට කිසිම අපහසුවක් නොතිබුණු නිසා මට ඒ තරම් ලොකු බයක් හෝ හැඟීමක් ඇති වුණේ නැහැ.

හදිසියේ ම රෝහල්ගත වෙන්න වුණා ම ඔබට මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?

අවුරුදු නවයක් වයස මගේ දුවව සහ අම්මව තනියම දාලා යන එක තමයි මගේ හිතට වද දුන්න ප්‍රශ්නය වුණේ. නමුත් අසල්වාසීන් ඉතාමත් සුහදශීලීව ඒ අය ගැන හොයලා බැලුවා. මාව I.D.H. රෝහලට ඇතුළත් කළා. පසුව මගේ මව සහ දියණියව මාදුරුඔය නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබුණා. එහිදී මගේ මවට නම් වෛරසය වැළඳුණේ නැහැ. නමුත් මගේ දියණියට වයිරසය වැළඳුණා. ඒ වෙලාවෙදි ඇය වැලිකන්ද රෝහලට ඇතුළත් කළත් පසුව I.D.H. රෝහල වෙතට මාරු කළා. ඒ වෙනුවෙන් මගේ ආයතනයත් මට උපකාර කළා.

ඔබව රෝහල්ගත කළායින් පසුව රෝහල් කාර්ය මණ්ඩලයෙන් සහ නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගය කොහොම ද?

ඇත්තට ම ඔවුන් ඉතාමත් සුහදව සහ කාරුණිකව අප සියලු ම දෙනාට සැලකුවා. මාත් ඇතුළුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ අපි දාසය දෙනෙක් පමණ I.D.H. රෝහලේ ප්‍රතිකාර ලැබුවා. අප සියලු ම දෙනාට ඉතාමත් හොඳින් රෝහල් කාර්ය මණ්ඩලය සැලකුවා.

ඒ වගේමයි සියලු ම නිලධාරීන් තම තමන්ගේ වගකීම් යුතුකම් නිසියාකාරව ඉටු කරමින් අපට ඉතා හොඳ මානසික මට්ටමකින් රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව සලස්වා දුන්නා කිව්වොත් මම නිවැරදියි. ඒ නිසා ම අපි ඉතාමත් සැහැල්ලුවෙන් තමයි රෝහලේ ප්‍රතිකාර ලැබුවේ. අපි කතා බහ කළා, විහිළු තහළු කළා, සින්දු කිව්වා. ඒ විධියට අපිට සැහැල්ලුවෙන් කාලය ගත කරන්න සියලු ම නිලධාරීන් ඉතා දැඩි කැප කිරීමක් කළා.

කෙසේ වුවද මෙම වයිරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගන්නා තුරු අපගේ එදිනෙදා කාර්යභාරයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී තිබේ. මේ නිසා ම අප කවුරුත් පාහේ අපගේ සමාජ වගකීම් නිවැරදි ආකාරයෙන් හඳුනා ගත යුතුය. එහිදී අප ඔබට අවධාරණය කරන්නේ සෞඛ්‍ය ක්‍රමවේදයන් නිසියාකාරව පිළිපදිමින් ඔබගේ මෙන් ම සමාජයේ ද ආරක්ෂාව වෙනුවෙන් කැපවන ලෙසයි.

- ළහිරු ධනංජය
- මව්බිම 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.