Nov 24

කොවිඩ් වලට දේශීය ඖෂධයක්


කොරෝනා මර්දනය උදෙසා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ වූ ඖෂධයන් හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ මේ දිනවල දැඩි කතාබහට ලක්වේ. දේශීය සිංහල වෛද්‍යවරුන් නිෂ්පාදනය කළ බෙහෙත් වර්ග පිළිබඳ සමාජ මාධ්‍ය තුළද සංසරණය වේ. කොරෝනා රෝගය සම්බන්ධයෙන් ආයුර්වේද ඖෂධයන් තිබෙනවද? දැනට ඉදිරිපත්ව ඇති ඖෂධයන් වැඩිදියුණු කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව මැදිහත්වන්නේ කෙසේද යන්න පිළිබඳව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග සමග කළ සංවාදයයි මේ.

කොවිඩ් මර්දනය උදෙසා ආයුර්වේද දෙපාර්තමේන්තුව මොන වගේ දායකත්වයක්ද මේ මොහොතේ ලබාදෙන්නේ…?

කොරෝනා මර්දනයට දේශීය වෛද්‍ය ජාතික කමිටුවක් ඉන්නව. සියලුම පළාත් ආයුර්වේද කොමසාරිස්වරු එකතු කරලා රැස්වීමක් පවත්වල ඒ අයට ජාතික කමිටුව හඳුන්වාදුන් ඖෂධ පිළිබඳ දැනුවත් කළා. බස්නාහිර පළාතේ සහ සබරගමුව පළාතේ ප්‍රධාන බටහිර රෝහල් කීපයක අපේ ඖෂධ ලබාදීම මේ වෙද්දී සිදුවෙනවා. ඒ එක්කම සුව ධරණී නිෂ්පාදනය රට පුරා බෙදාහැරීමේ කටයුතු සිදුවෙනවා. පෞද්ගලික අංශයේ ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් ඒක නිෂ්පාදනය කරලා බෙදාහරිනවා.

ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහටත් සුව ධරණී නිෂ්පාදනය කරල රජයේ කාර්යාල සහ අවධානම් සහිත ප්‍රදේශවල ඉන්න ජනතාවට බෙදාහැරීමේ කටයුතු සිදුකරනවා. ඒ කටයුත්ත සිදුවෙන්නෙ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. මේ වෙද්දී ගම්පහ, බේරුවල, හොරණ, අවිස්සාවේල්ල, කුලියාපිටිය, නැගෙනහිර බටහිර කලාප, පානදුර ආදී අවදානම් කලාපවලට ඒ බෙදාහැරීම සිදුකර තියෙනවා.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය තුළ දේශීය වෛද්‍ය හඬ නැගෙනවද?

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තමයි දේශීය වෛද්‍ය අංශය ක්‍රියාත්මක වුණේ. ඒ අවස්ථාවේදි කොවිඩ් සම්බන්ධ සාකච්ඡාවලට මම සහභාගි වුණා. මේ වෙද්දී දේශීය වෙදකම් ප්‍රවර්ධනයට වෙනම අමාත්‍යාංශයක් නම් කරලා තියෙනවා. ඒ අමාත්‍යාංශයේ ලේකම්තුමිය සහ සෞඛ්‍ය ඇමැතිතුමිය එතනට සහභාගි වෙනවා.

ඒ සාකච්ඡාවලදී නැගෙන හඬට මේ වෙද්දී සාධාරණයක් ඉටුවෙලා තියෙනවද?

ඉහත කිව්ව වගේ මූලික සාකච්ඡාවලදී මම තමයි කරුණු දැක්වුවෙ. එතනදී ජනාධිපතිතුමා අපේ ප්‍රතිකාර ක්‍රම ගැන බොහොම පැහැදීමෙන් කතා කළා. ඒවා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලත් උපදෙස් දුන්නා. එතනදී රෝගීන්ට ප්‍රතිකාර කරනවට වඩා ජනතාවගෙ ප්‍රතිශක්තිය නංවා රෝගය බෝවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම තමයි අපි භාරගත්තේ. පසුගිය පෙබරවාරි අප්‍රේල් මාසවලදී මේ ප්‍රතිශක්තිකරණ ඖෂධ අපි ජනතාවට බෙදාදුන්නා. එතනදී ජනතාවගෙන් අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. අපේ ඖෂධ හින්ද ඔවුන්ට සියලු රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වූ බව ඔවුන් පැවැසුවා. අපිත් ඒක අත්දැක්ක. කොවිඩ්වලට පෙර පෞද්ගලික රෝහල් සායනවල දහස් ගණන් රෝගීන් හිටිය. නමුත් කොවිඩ් කාල සීමාව තුළ එහෙම නිරීක්ෂණය වුණේ නෑ. ඉන් අපට ප්‍රත්‍යක්ෂ වුණා අපි සාර්ථකයි කියලා. ඒ නිසා තමයි දෙවැනි අදියරේදීත් එවැනි ප්‍රතිශක්තිජනක ඖෂධ හඳුන්වාදෙන්න තීරණය කළේ.

ඒ වගේම කියන්න ඕන නියමිත දුරස්ථභාවය, මුව ආවරණ පැලඳීම, නිතරම දෙඅත් සේදීම නොකළහොත් තමන් කොච්චර ප්‍රතිශක්තිජනක පාන බිව්වත් වැඩක් නෑ. කොරෝනා ව්‍යාප්තවීමට අද සිදුකරන දුරස්ථභාවය වගේ දේවල් ආයුර්වේදයෙත් බොහෝ කාලයක ඉඳල පාවිච්චි වෙනවා. ආයුර්වේදයේ සමාජ දුරස්ථභාවය තබාගන්න තියෙන්න ඕන දුර විදිහට සඳහන් කරන්නෙ රියන් හතරක්. රියන් හතරක් කියන්නෙ දළ වශයෙන් සෙන්ටිමීටර් 175ක්. ඒ කියන්නෙ මීටර් දෙකට ආසන්න දුරක්. අද බටහිර වෛද්‍යවරු කියන්නෙත් මීටරයක් නෙමෙයි මීටර් දෙකක් දුරින් ඉන්න කියලා. ඒ නිසා අපේ පැරැණි වෛද්‍යක්‍රමය තුළ මේ නවීන වෛද්‍ය විද්‍යාවේ තියෙන දේවල් මීට පෙර භාවිත කරල තියෙනවා.

මේ කොරොනා දෙවැනි රැල්ල හමුවේ ආයුර්වේද පර්යේෂණායතනයෙන් සිදුවෙන්නෙ මොනවගේ කාර්යභාරයක්ද?

අපේ ආයුර්වේද පර්යේෂණායතනය තුළදී ඖෂධ වැඩිදියුණු කරන්නෙ කොහොමද කියල පරීක්ෂණ සිද්ධ වෙනව. එහි සිදුවන එක පරීක්ෂණයක් තමයි සායනික පර්‌යේෂණය. සායනික පර්යේෂණ සිද්ධ කරන්නෙ නවතම ඖෂධ සම්බන්ධයෙන්. අනෙක් එක සාහිත්‍ය පර්‌යේෂණය. එතනදි පුස්කොල පොත් පරීක්ෂා කරලා, පරණ බෙහෙත් වට්ටෝරු හඳුනාගැනීම සිදුවෙනවා. ඒව අවුරුදු දහස් ගණනාවක් තිස්සේ පාවිච්චි වුණු ඖෂධ. ඒ නිසා එවැනි ඖෂධ නැවත වතාවක් ලොකුවට පර්‌යේෂණවලට භාජන කරන්න අවශ්‍ය නෑ. කොවිඩ් සම්බන්ධයෙන් දැනට එක ඖෂධයක් ගැන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ කණ්ඩායමක් එක්ක පර්‌යේෂණයන් සිදුකරමින් ඉන්නවා. දේශීය වෛද්‍යවරු අපේ ඇමැතිතුමාට ලබාදුන් ඖෂධ වට්ටෝරු කීපයකුත් තියෙනව. ඒව සම්බ-න්ධයෙනුත් දැනට පර්‌යේෂණ කටයුතු සිද්ධ වෙනවා.

කොවිඩ් සඳහා මේ වනවිට දේශීය වෛද්‍ය වට්ටෝරු සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙනව. එවැනි ඖෂධ ආයුර්වේද දෙපාර්ත-මේන්තුවට ඉදිරිපත් කර තියෙනවද?

ඔව්, එවැනි වට්ටෝරු අපට ඉදිරිපත් කරල තියෙනවා.

එම ඖෂධ වර්ග වැඩිදියුණු කිරීමට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවද?

අපේ පර්‌යේෂණා-යතවලදී පර්‌යේෂණ කරල ඖෂධවල අඩුපාඩු සකස්කර ගැනීමට අවශ්‍ය දැනුම ලබාදෙන්න තමයි අපෙත් බලාපොරොත්තුවා. සමහර ඖෂධ වට්ටෝරුවල නෙමේ ගැටලුව තියෙන්නේ ඒව සැකැස්මේ (Processing) ගැටලුවක් තමයි තියෙන්නෙ.

එවැනි අවස්ථාවලදී මූල්‍ය ආධාර ලබාදෙනවද ඒවා නියමාකාරයෙන් සකස්කර ගැනීමට…

තවම අපෙන් ඒ සඳහා ඉල්ලීමක් කරලත් නෑ, අපි ඒ සඳහා යොමුවෙලත් නෑ. මොකද ආයුර්වේද දෙපාර්තමේන්තුව මැදිහත්වෙලා මේ ඖෂධ නිෂ්පාදනය කරදෙන හින්ද. නමුත් ඉදිරියෙදි යම් අවස්ථාවකදී අපට ඒ ගැන සලකා බලන්න වෙයි. දේශීය වෛද්‍ය ඇමැතිතුමත් එක්කත් කතා කරල එවැනි අවශ්‍යතාවන් වෙනුවෙන් ඒ සම්බන්ධීකරණය කරන්නත් අපිට පුළුවන්.

කොරෝනා වෙනුවෙන් නිෂ්පාදනය කර තියෙන දේශීය ඖෂධද මොන විදිහටද මේ වෙද්දී වැඩිදියුණු කරල තියෙන්නේ…

සුදර්ශන චූර්ණය (චූර්ණයක් කියන්නෙ කුඩක්) අද පෙත්තක් විදිහට නිෂ්පාදනය කරල තියෙනව. ඒ ආයුර්වේද නිෂ්පාදන සංස්ථාව. ඒ වගේ තවත් ඖෂධ නවීකරණය සිදුවෙනව.

ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් නොයෙක් විවේචනයන් පසුගිය සමයේ තිබුණා. කිසිදු පර්යේෂණාගාරයක ඔප්පු කර නැතිව ලබාදෙන ඖෂධ පිළිබඳ නැවත සිතාබැලිය යුතු බවයි බටහිර වෛද්‍යවරු පවසන්නේ…

ඒකට අපිට හොඳ පිළිතුරක් තියෙනවා. මේ බෙහෙත් වර්ග අපි පාවිච්චි කරලා තියෙන්නෙ මීට අවුරුදු පන්දාහකටත් ඈත අතීතයෙ ඉඳලා. ඒවායින් කිසිම අතුරු ආබාධයක් මේ දක්වාම ඇවිත් නෑ. ඉඟුරු, කොත්තමල්ලි වගේ දේවල් කුළුබඩු විදිහටත් පාවිච්චි කරනවා, බෙහෙත් විදිහටත් පාව්චිච් කරනවා. අනෙක් කාරණය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිඅරගෙන තියෙනව අවුරුදු සීයක් දෙසීයක් ඈත අතීතයේ ඉඳල භාවිත වන ඖෂධයක් නැවත වතාවක් සායනික පර්‌යේෂණ කරල තහවුරු කරන්න ඕන නෑ කියලා.

ඒ වගේම ඉඟුරු, කොත්තමල්ලි කොහොමද පුද්ගලයන්ට බලපාන්නේ කියලා ලෝකය පුරාම පර්‌යේෂණ සිද්ධ වෙලා තියෙනවා. මේව මනුෂ්‍ය ශරීරයට අහිතකර වෙන්නෙ නෑ. හැබැයි වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ ආයුර්වේද ඖෂධ භාවිත කිරීමෙන් නම් අතුරු අාබාධ ඇතිවෙන්න පුළුවන්. ඒක බටහිර වෛද්‍ය ක්‍රමයටත් අදාළයි. අනෙක් කාරණය ආයුර්වේද ඖෂධ කිසිම රසායනික බන්ධනයකට ලක්කරන්නේ නෑ. ස්වාභාවික කොළ පොතුවලින් හදන ඖෂධ. ඒ නිසා බටහිර ඖෂධ වගේ නෙමේ ආයුර්වේද ඖෂධවලින් ඇතිවන අතුරු ආබාධ අවමයි. එහෙම ආයුර්වේද ඖෂධ ගැන පර්‌යේෂණ කරන්න ඕන කියනව නම් අපි කන බත්පත පවා පර්‌යේෂණයට ලක්කරන්න වෙනවා. මොකද අපි කන ආහාරවල කොච්චර නම් රසායනික ද්‍රව්‍ය තියෙනවද? ඒ නිසා ඒක සුළුතරයක් වූ බටහිර වෛද්‍යවරුන්ගෙ මතයක්. අද GMO එක පවා අගය කරනව ආයුර්වේද ඖෂධවල ගුණ ගැන.

රට පුරා ආයුර්වේද රෝහල් කොපමණ ප්‍රමාණයක් තියෙනවද?

ප්‍රධාන රෝහල් හතරක් තියෙනව. පර්‌යේෂණ රෝහල් හතක් තියෙනවා. පළාත් රෝහල් නවයක් තියෙනවා. ආයුර්වේද ප්‍රතිකාර කරන ආයතන පන්සීයකට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා.

ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන් සඳහා සූදානම් කරන බවට පසුගිය සමයේ පැවැසුණා. මේ වෙද්දි ඒ කාර්යයන් සිදුවෙනවද?

දැනට අපේ ව්‍යාපෘති යෝජනාව සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකර තියෙනවා. මේ දක්වා තවම අපට ඒ අවස්ථාව ලැබිල නෑ. නමුත් බන්ධනාගාර රෝහලේ ඉන්න රෝගීන්ට ප්‍රතිකාර කරන්න කියන ඉල්ලීම අපට ඇවිත් තියෙනවා. ඒක හොඳ අවස්ථාවක්. ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුවෙමින් යනවා. ඊට අවශ්‍ය මූලික සාකච්ඡා දේශීය වෙදකම් ප්‍රවර්ධන ආයුර්වේද ග්‍රාමීය රෝහල් සංවර්ධන ලේකම්තුමිය එක්ක පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වුවා.

කොරෝනා මර්දනයට පත්කර තියෙන දේශීය වෛද්‍ය ජාතික කමිටුව තමයි කොරෝනා රෝගීන්ට ලබාදෙන සියලු ඖෂධ පන්ති නිර්දේශ කරල තියෙන්නෙ. දැනට ලංකාවෙ සුලබව ගන්න පුළුවන් ඖෂධවලින් වඩාම ගැළපෙන ඖෂධ මොනවද කියන එක තෝරල ඒව තමයි දෙන්න ලෑස්ති කරල තියෙන්නෙ.

මොන වගේ දේශීය ඖෂධද කොරෝනා රෝගීන්ට ලබාදෙන්නේ. දැනට මොන රෝහල්වලද එම ඖෂධ භාවිත කරන්නේ…?

බස්නාහිර පළාතෙ මිනුවන්ගොඩ, පිඹුර, හෝමාගම, ඉංගිරිය වගේ රෝහල්වල අපේ ඖෂධ ලබාදීම සිදුකරනවා. ඒ දෙන්නෙ ජාතික කමිටුව නිර්දේශ කරපු ගුඩුච්චාදී චූර්ණය, සුදර්ශන චූර්ණය (පැණිය නෙමේ), ෂඩාංග පානය, කවලග්‍රහය කියන මුඛ සේදුම් ඖෂධය වැනි ඖෂධ.

ඒ ඖෂධ භාවිත කිරීම නිසා කොරෝනා රෝගීන්ට මොනවගේ සුබවාදී බලපෑමක්ද වෙලා තියෙන්නේ…?

බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්වරිය යටතේ තමයි බස්නාහිර රෝහල්වලට එම ආයුර්වේද ඖෂධ ලබාදෙන්නේ. එතුමිය පැවැසුවේ සතියක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළාම ඒක නෙගටිව් වෙනවා කියලා. දැන් වර්තමානය තත්ත්වය යටතෙ පළමු පී.සී.ආර්. එකෙන් පස්සෙ පීසීආර් කරන්නෙ නැති නිසා නිශ්චිතව දෙයක් කියන්න බෑ. නමුත් රෝගීන්ගේ රෝග ලක්ෂණ අඩුවෙන බව නම් නිරීක්ෂණය වෙනවා.

නොයෙක් රෝගයන්ට නොයෙක් බෙහෙත් වට්ටෝරු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනව. එවැනි පසුබිමක් යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කළ ඖෂධයක් හඳුනගන්නෙ කොහොමද?

දැනට වෙළඳපොළේ තියෙන බහුතරයක් ඖෂධ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කළ ඒවා තමයි. බොහොම සුළු පිරිසක් තමයි අපේ අනුමැතියකින් තොරව ඖෂධ නිකුත් කරන්නෙ. ඒවා සම්බන්ධයෙන් අපි ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා වෙළෙඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කරනව. ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කළ ඖෂධයක් නම් එහි ලියාපදිංචි අංකයක් සඳහන් කර තියෙනව. ඒක ලැබෙන්නෙ ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි ඖෂධ නිෂ්පාදනාගාරවලට විතරයි. 6 ඉලක්කමෙන් ආරම්භවෙන ලියාපදිංචි අංකයක් තමයි එතනදි ලබාදෙන්නෙ. එහෙම ලියාපදිංචියක් ඇති නිෂ්පාදනාගාරයකට පමණයි ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ දක්වා සුව ධරණී නිෂ්පාදනය කරන්න අනුමැතිය දුන්න නිෂ්පාදනාගාර නාම ලේඛනය අපේ වෙබ් අඩවියේ සඳහන් වෙනව. ඒ වගේ වෙනත් ඕනෑම ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුවක් ආවොත් අපේ වෙබ් අඩවිය පරීක්ෂා කරල එය තහවුරු කරගන්න පුළුවන්.

එහෙම අනුමැතිය ලබාදී තියෙන නිෂ්පාදනාගාර ඒ නියමිත ප්‍රමිතියට ඖෂධ නිකුත් කරන බවට පසුවිපරමක් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් සිද්ධ වෙනවද?

ඔව්, අපි එහෙම ඖෂධ නිෂ්පාදනය කරන්න අවසර ලබාදුන්න ආයතන නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරල තියෙනවා. බහුතරයක් ආයතන තියෙන්නෙ ගම්පහ ප්‍රදේශයේ නිසා යම් බාධාවක් ඒකට මේ දිනවල ඇතිවෙලා තියෙනවා. ඊට හේතුව එම ප්‍රදේශ ලොක්ඩවුන් කර ඇති නිසා. ඉදිරියේදී! අපේ ලියාපදිංචිය ලබා තියෙන ඖෂධ නිෂ්පාදනාගාරවල නිපදවන ඖෂධ නියමිත ප්‍රමිතියට අනුකූලව තියෙනවද කියල පරීක්ෂා කරනවා.

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම, දේශීය වෛද්‍ය ක්‍රම ගැන අද වෙනදාටත් වඩා කතා කරනව. මේක හොඳ අවස්ථාවක් දේශීය වෛද්‍ය ක්‍රමය රට තුළ ප්‍රචලිත කරන්න. ඒ සඳහා මොනවගේ සූදානමක්ද ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ තියෙන්නේ…?

අද තියෙන කාර්යබහුල සමාජ ක්‍රමය තුළ ජනතාවට ආයුර්වේද ඖෂධ සකසා ගැනීමේ අපහසුතාවක් තියෙනව. ඒ නිසා ආයුර්වේද ඖෂධවල ගුණයට හානියක් නොවන ආකාරයට ඖෂධ සංස්කරණය කරල පහසුවෙන් ජනතාවට භාවිත කරන්න පුළුවන් ආකාරයට නිෂ්පාදනය කරන්න අවශ්‍ය පර්‌යේෂණ කටයුතු මේ වෙද්දි කරගෙන යනවා. ආයුර්වේද ඖෂධයක තියෙන ප්‍රධාන ගුණ තමයි රස, ගුණ, වීර්ය, විපාක, ප්‍රභාව. ඒ කිසිම ගුණයකට අපි කරන නවීකරණවලදී හානි නොවෙන්න කටයුතු කරනවා.

සංවාදය – ලක්මාල් බෝගහවත්ත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.