Sep 05

අබුඩාබි නුවර පිපිරීමකින් මරු වැළඳගත්, සමිත් ගැන නොඇසූ කතාව


“සමියෝ උඹට මෙහෙම වුණේ ඇයි? උඹ හොඳ මනුස්සයෙක්. හිත හොඳ මිතුරෙක්. ඉතිං උඹ වගේ එකෙකුට මෙහෙම වුණා කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද?”

මුහුණු පොතේ ඉන්න සමිත් රංගනගේ යාළු මිත්‍රයෝ හැමෝම වගේ තමන්ගේ දුක ප්‍රකාශ කර තිබුණේ ඔන්න ඔය විදිහටයි. ඒ කාටවත් සමිත්ගේ හදිසි වියෝව විශ්වාස කරන්න බැහැ. ඒ වගේම අවාසනාවන්ත විදිහේ මරණයක් ඔහුට අත් වේවි කියලා ඔවුන්ට හිතන්නවත් බැහැ.

ඒත් දැන් සමිත් රංගන මෙලොව හැර ගිහින් ඉවරයි. ඒ වගේම අභාග්‍ය සම්පන්න ඉරණමක ප්‍රතිඵලයක් ඊට හේතු වෙලත් ඉවරයි.

“ඔය සිද්ධිය වේච්ච දවසේ උදෙත් පුතා අපිට කතා කළා. හැමදාම රාත්‍රියට ගෙදරට කතා කරල අපේ දුක සැප හොයා බලන පුතා එදා කවදාවත් නැතිව උදේ වරුවේ කතා කළා. අපි ඇයි උදේ වරුවේ කතා කරන්නේ කියලා ඇහුවම අද මම උදේ වැඩට ආවා. යාළුවත් නිවාඩු ගිහින් කියලත් කිව්වා. ඉතිං වෙනදා වගේම ඒ වීඩියෝ කෝල් එකෙන් ඉන්න තැන අවට වටපිටාවත් අපිට පෙන්නුවා.” එහෙම කියන්නේ සමිත්ගේ තාත්තා.

අබුඩාබියේ එයාර්පෝට් පාරේ ප්‍රසිද්ධ අවන්හලේ සේවය කරමින් සිටියදී ගෑස් නළයක් පුපුරා ගිහින් මේ විදිහේ අවාසනාවන්ත මරණයක් හිමි වූයේ වැලිගම වරකාපිටිය මිහිකම් උයනේ පදිංචිව සිටි 29 හැවිරිදි සමිත් රංගනයි.

සමිත් අබුඩාබි රටේ සේවයට යන්නේ 2014 අවුරුද්දේ. මාතර මහා විද්‍යාලයෙන් උසස් පෙළ කරලා, නුගේගොඩට ඇවිත් පරිගණක තාක්ෂණය පිළිබඳවත් හදාරපු සමිත් මේ විදිහේ රස්සාවක් හොයාගෙන යන්නේ අනාගතය ගැන හොඳින් සැලසුම් කරලයි.

“අපි හුගක් දුප්පත් මිනිස්සු. මම ගොවියෙක්. අපිට කියලා මහ ලොකු වත්කම් නැහැ. පුතා මේවා තේරුම් ගත්තා. එයා අපි දෙන්න ගැනත් එකම නංගිගේ අනාගතය ගැනත් හිතුවා. 2014 සාමාන්‍ය රස්සාවකට ගිය සමිත් පුතා ....... ආයතනයේ වැඩ පරීක්ෂකයෙක් වෙලා අන්තිමට මැනේජර් කෙනෙක් විදිහට උසස්වීම් ලැබුවා. එයා හොඳින් ඉගෙන ගෙන ඉස්සරහට ආපු විදිහ ගැන අපිත් ආඩම්බර වුණා.”

සමිත් රංගනගේ තාත්තා අශෝක මෙහෙම කියන්නේ හදවතේ තෙරපෙන වේදනාව සුසුම්වලින් පිට කරන ගමන්. සමිත්ගේ අම්මා නම් ඉන්නේ කතා කරන්න පුළුවන් මානසික තත්ත්වයකින් නෙමෙයි.

සමිත් තමන්ගේ සේවා ස්ථානයේ රාජකාරියට එන්නේ රාත්‍රියටයි. ඒ නිසාම ඔහු ඉඩක් ලැබුණු මොහොතක ගෙදරට කතා කරනවා. එහෙම කතා කරන ඔහු වැඩිපුරම කාලය ගත කරන්නේ අම්මා තාත්තා නංගිව හිනස්සන්න, විහිළු කරන්න. ඒ වෙලාවට රසම රස කෑම පෙන්නා නංගිව අවුස්සන්න සමිත් අමතක කරන්නේ නැහැ.

මේ විදිහට විහිළු කරන සමිත් ඊළඟට බොහොම හැඟුම්බරව මෙහෙම කියනවා.

“ඔයගොල්ලන්ට දුක් විඳින්න මම ඉන්නතුරු ඉඩ තියන්නේ නැහැ. බලාගන්නවා. ඒ නිසා බයවෙන්න එපා.”

සමිත් මේ කතාව එදා, ඒ කියන්නේ පසුගිය 31 වැනිදා උදේ වරුවෙත් කිව්වා. ඒත් හවස් වෙද්දී ඔහුගේ ඒ බලාපොරොත්තු හොරු අරන් ගියා.

පසුගිය පෝය දවසේ උදේ පුතාගේ යාළුවත් අපට කතා කරලා පොඩි අනතුරක් වෙලා සමිත් ඉස්පිරිතාලේ කිව්වා. ඊළඟට එයාව තාම හොයනවා කිව්වා. ගෑස් නළයක් පුපුරා ගිහින් කියලත් කිව්වා. කොහොම හරි පස්සෙන් පස්සෙදි තමයි මේ කතාව අපිට දැනගන්න හම්බ වුණේ. ඒක දැනගත්තෙත් අපේ දුව දිගින් දිගටම මේ ගැන අහපු නිසයි.

සමිත් රංගන කවදාවත් නැතිව වැඩට ආපු උදය වරුවේ සේවය ඔහුට ඉවර කරන්න බැරි වුණා. කවුරුත් නොහිතපු විදිහට ඒ ආයතනයේ තිබුණු ගෑස් නළය පුපුරා ගියා. ඒ ගින්නෙන් පස්සේ තිබුණු සුන් බුන් මැද තමයි සමිත් රංගන මිය ගිහින් හිටියේ.

“අපි තවමත් හරියට මේක වුණේ කොහොමද කියලා දන්නේ නැහැ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වගේම වගකිව යුතු තැන් බොහොමයකට අපි කතා කළා. ඒත් වැඩක් වුණේ නැහැ.” සමිත් රංගනගේ තාත්තා වේදනාවෙන් කීවේය.

සමිත් ගෙදර හිටිය එකම හයිය. ඒ හයිය දැන් ඔවුන්ට නෑ. කොටින්ම සමිත්ගේ දේහය ලංකාවට අරන් එනකොට ඊට මුදල් ගෙවන්න වුණොත් ඒ හයියවත් සමිත්ගේ මවුපියන්ට නැහැ. උසස් පෙළ කරලා ගෙදර ඉඳන් රස්සාවක් හොය හොයා අයදුම්පත් යවන හංසනීටවත් ඒ හයිය නැහැ.

“මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. දැන් ඉතිං අපේ ජීවිත ඉවරයි.” සමිත්ගේ තාත්තා වේදනාවෙන් යුතුව නැවත කියනවා.

පසුගිය අවුරුද්දේ මාර්තු මාසේ ලංකාවට ආපු සමිත් විවාහ ගිවිස ගත්තා. ඒ නුගේගොඩ පරිගණක පන්තියේදී හඳුනාගත්ත දුල්ගොඩ ලක්මිණී එක්ක.

ලක්මිණීටත් මේ සිද්ධ වෙච්ච නස්පැත්තිය තවමත් හීනයක්. සමිත් එක්ක එකතුවෙලා හදාගන්න හදපු ලස්සනට ලෝකය අද එහෙම පිටින්ම හීන ගොඩක් වෙලා.

“පුතා විවාහ ගිවිස ගෙන ලංකාවෙන් ගියේ ආපසු ඉක්මනට ඇවිත් විවාහ උත්සවය ගන්නයි. ඒත් කොරෝනා වසංගත තත්ත්වය නිසා හැමදේම වෙනස් වුණා. එයා කතා කරන හැම වෙලාවෙම කිව්වේ මේ ප්‍රශ්න ඉවර වුණු ගමන් ලංකාවට එනවා. ඇවිත් අපි එකට ඉම්මු කියලා. කොරෝනා වසංගතය නිසා පුතාලගේ .... ආයතනයත් මාස දෙකක් විතර වහලා තිබුණා. ඒ කාලේ පඩි ලැබුණෙත් නැහැ. ඒත් පුතා කිව්වේ තත්ත්වය හොඳ වුණාම හරියාවි තාත්තේ කියලා. සාමාන්‍යයෙන් පුතා අපිට කතා කළාම විනාඩි 45ක් පැයක් විතර ෆෝන් එකේ ඉන්නවා. අපේ දුක සැප අහනවා. අසනීපයි කිව්වොත් බෙහෙත් ගන්න කියලා සල්ලි ඉක්මනට එවනවා. දැන් කවුද දෙයියනේ අපිව බලන්නේ. කෝ අපිට ඒ හයිය?” සමිත්ගේ පියා සුසුම් හෙළමින් කිව්වා.

ජීවිතේ හරිම පුදුමාකාරයි. කරදර දුක් කම්කටොළු පේනතෙක් මානයේ නැති අවස්ථාවකදී වුණත් මාරයා ඇවිත් අපේ ජීවිතවලට එබෙනවා. එහෙම එබිලා නිකම් යන්නේ නැහැ. අපිවත් අරගෙන යනවා. ඒ යන්නෙත් මේ ලෝකේ ජීවත් වන අපේ අයට සදාකාලික දුකක් ඉතිරි කරලා. ඒක හරිම කුරිරුයි.

මේ සංවේදී සටහන අවසන් කිරීමට පෙර සමිත් රංගන 31 වැනිදා උදය වරුවේ සිය ආදරණීය මෑණියන් සමඟ කතා බහ කරමින් සිටියදී කියූ කතාව අදටත් සමිත් රංගනගේ මවගේ මතකය තුළ දෝංකාර දෙයි.

“අම්මේ.... මම ඊයේ රෑ මාර හීනයක් දැක්කනේ. මම හීනෙන් හොල්මනකට බය වුණා.”

සමිත් එසේ කීවේ සිනාසෙමින් වෙනදා වාගේමය. එහෙත් ඉන් ටික වේලාවකට පසුව පෙර කී ලෙසම හොල්මන කෙසේ වෙතත් මාරයා සියල්ල කණපිට හරවා සදාකාලික දුකක් සමිත් රංගනගේ පවුලේ අයට මෙන්ම හිතවතුන්ට අත්කර දුන්නාය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
- මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.