Sep
28
රොහාගේ මරණය සැමරීමට ගිය අයගේ නිවසේ තවත් ඩ්‍රෝන කැමරා 5 ක්
ප‍්‍රධාන පෙළේ පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අඟුලානේ රොහා නමැත්තා මියයෑමෙන් පසු එහි සතුට සැමරීම සඳහා ගල්කිස්ස පොදු සුසාන භූමියේ ඩ්‍රෝන කැමරාවක් උපයෝගි කරගෙන මල් ඉසීමට තැත් කළ බව කියන ඩ්‍රෝන කැමරා හිමිකරුගේ නිවසේ තිබී තවත් ඩ්‍රෝන කැමරා 05 ක් දෙහිවල පොලිසිය මගින් පෙරේදා (26 දා) අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අංජු නමැත්තාගේ සහෝදරයා වන ලන්සියා රොහාගේ මෙහෙයවීමෙන් ඝාතනයට ලක්වීමෙන් පසු ලන්සියාගේ සිරුර ගල්කිස්ස පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇත.
අංජු නමැත්තා මේ වන විට ඉතාලියේ පදිංචිව සිටී. ඔහුගේ උපදෙස් මත ලන්සියාගේ සොහොන මලින් සරසා ඩ්‍රෝන කැමරාවකින් ගුවනේ සිට සොහොනට මල් ඉසීමට සැලසුම් කර සිටියදී දෙහිවල පොලිසියට ලද තොරතුරක් මත ඩ්‍රෝන කැමරා හිමිකරු සමඟ තවත් තිදෙනකු පසුගිය සිකුරාදා (25 දා) අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් තිදෙනා අතර අංජුගේ සහෝදරියක ද සිටින අතර ඔවුන් සිව්දෙනාම ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (28 දා) තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නීති විරෝධී ලෙස ඩ්‍රෝන කැමරා භාවිතා කිරීම සම්බන්ධයෙන් එහි හිමිකරු බව කියන කඩුවෙල ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ තිබී රුපියල් ලක්‍ෂ 20 ක් පමණ වටිනා තවත් කැමරා 05 ක් සහ උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කැමරා සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ (27 දා) පැවසීය.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පේ‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත දෙහිවල පොලිස් ස්ථානාධිපති දුෂ්මන්ත ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති රොෂාන් උදයංග මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.
චමින්ද සිල්වා - එස්. ටී. ආරියරත්න