Sep
18
රැඳවුවන් 200කට ආසන්න පිරිසක් බන්ධනාගාරයකින් පැන යාමේ සිද්ධියක් ගැන උගන්ඩාවෙන් වාර්තා වෙයි. මෙම රැඳවුවන් මේ ආකාරයෙන් පලාගොස් ඇත්තේ මොරොටෝ නැමැති නගරයෙහි පිහිටි බන්ධනාගාරයකිනි.
ඔවුන් සාමාන්‍ය වැරැදි සඳහා සිරගත වූවන් බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ. බන්ධනාගාරයෙන් පැනගත් රැඳවුවන් එහි සිට අසල ඇති කඳුකර ප්‍රදේශයක් වෙත පලාගොස් ඇත්තේ නිරුවතිනි.
ඔවුන්ට සිර ගෙදර දී ලබා දෙන ඇඳුම් ගලවා දමා මේ ආකාරයෙන් නිරුවතින් ගොස් ඇත්තේ හඳුනා ගැනීමට අපහසු වනු පිණිසය. ඔවුන් තුවක්කු 15ක් පමණ රැගෙන ගොස් ඇති බවටත්, හමුදා නිලධාරියකුට වෙඩි තබා මරා දමා ඇති බවටත් මාධ්‍ය වාර්තා කර තිබිණි.
පලා ගිය රැඳවුවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වීමත් සමග එම ප්‍රදේශයේ සියලු කටයුතු මුළුමනින් ම ඇනහිට තිබූ බව වාර්තා වේ.
බ්‍රහස්පතින්දා උදෑසන වන විට රැඳවුවන් දෙදෙනකු අල්ලා ගැනීමට ආරක්‍ෂක අංශ සමත් වී තිබූ අතර දෙපිරිස අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් තවත් රැඳවුවන් දෙදෙනකු මියගොස් තිබිණි. මෙම බන්ධනාගාරය පිහිටි ප්‍රදේශය හරක් සොරකම් සහ වෙඩි තබා ගැනීම්වලට ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.
සහන් වික්‍රමගේ - අරුණ