Sep 09

කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී කළ තර්ජන


ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට තමා බිය නොවන බවත්, පොලීසියට වඩා ශක්තිමත් ජාලයක් පාතාලය සතු බවත් පවසමින් පාතාල සාමාජික පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක නමැත්තන් සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට පළමුවරට බී වාර්තාවකින් කරුණු වාර්තා කළේය.

ඒ අනුව, දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පොඩි ලැසීගෙන් ඊට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීමටත්, දැඩි ආරක්ෂාවක් යටතේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටත් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බන්ධානාගාර දෙපාර්තමේන්තුව වෙත නියෝග නිකුත් කළේය.

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පසුගිය ජුනි 26 වනදා එහි උපවාසයක් ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පස්දෙනෙකු සහ බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා එහි ගොස් ඇති අතර එම අවස්ථාවේ ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් "පොඩි ලැසී" සහ කොස්ගොඩ තාරක යන රැඳවියන් එම බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශන පිළිබඳව ඊයේ (08) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් හරහා කරුණු වාර්තා කළ අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ සිද්ධියට මුහුණ දුන් බන්ධනාගාර නිලධාරීවරුන් බූස්ස බන්ධනාගාරයේ අංක 10 සිරමැදිරියේ රඳවා සිටි ජනිත් මදුසංක ද සිල්වා නොහොත් පොඩි ලැසී නම් සංවිධානාත්මක අපරාධකරුවාගේ සිර මැදිරිය අසලට ගිය අවස්ථාවේ ඔහු එම නිලධාරීන්ට උස් හඬින් තර්ජනය කර ඇති බව විමර්ශනයේදී ලබාගත් ප්‍රකාශ හරහා අනාවරණ වී ඇති බවය.

බන්ධනාගාරය තුළට ජංගම දුරකථන රැගෙන ඒම වළක්වා තිබුණද තමා විසින් ලබාදෙන පණිවිඩ තම ජාලයේ සාමාජිකයින්ට ලැබෙන අතර තමා සිරකර තැබුවද සිදුවන ක්‍රියාකාරකම් කිසිවිට නොනවතින බවත්, බන්ධනාගාර අධිකාරිවරයාගේ සිට සියලුම දෙනාට හිමි ඉරණම මරණය වන බවත් පොඩි ලැසී නම් සංවිධානාත්මක අපරාධකරුවා බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබේ.

අනතුරුව බන්ධනාගාර නිලධාරීන් අංක 09 සිරමැදිරියේ රඳවා සිටින තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරකගේ සිරමැදිරිය අසල ට ගිය අවස්ථාවේ ඔවුන්ට නිදහස ලබානොදුනහොත් ඕනෑම අයෙක් මරා දැමීමට පසුබට නොවන බව ඔහු පවසා ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

“සර්ගේ ගෙදර ඇඩ්‍රස් එක දෙන්න, මට ඕනේ නම් පැය දෙකක් ඇතුළත ගෙදරට වෙඩි තියලා පෙන්වන්න පුළුවන්. ජනාධිපති ඉන්නෙත් අවුරුදු 05යි. ඊට පස්සේ බලාගමු, එයත් ලොකු නැහැ , ජනාධිපතිට ආරක්ෂක ලේකම්ට තියා කාටවත් බය නැහැ. පුළුවන්නම් ගිහින් ආරක්ෂක ලේකම්ටත් එන්න කියන්න. පොලීසියටත් වඩා ඉස්සරහින් අපේ නෙට්වර්ක් එක ඉන්නේ. යකඩ කෑලි ඕනේ තරම් අපි ළඟ තියෙනවා. ඕනේ තරම් ගෝලයෝ ඉන්නවා. මම STF එකේ හිටියේ. ගේට්ටුවෙන් බැරිනම් වහළ කඩාගෙන හරි එළියට යනවා “ යනුවෙන් කොස්ගොඩ තාරක නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පවසා ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුව් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී ඇති බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය කාර්ය බළකායේ නිලධාරියෙක්,  "STF එකේ එවුන්ට T 56 න් ගහලා මදි, අත්බෝම්බ දෙක තුනක් ගහලා මරාගෙන මැරෙන්න ඕනේ. STF එකේ ලොක්කාටත් ගහන්න ඕනේ. එහෙම වුණොත් මම ඉතිහාසගත වෙනවා" යැයි මෙම අපරාධකරුවන් ප්‍රකාශ කළ බවට ද ප්‍රකාශ ලබාදී ඇති බවය.

මොවුන්ට මෙලෙස කටයුතු කිරීමට ආත්ම ශක්තිය ලැබුණේ කෙසේ දැයි ප්‍රශ්න කළ දිලීප පීරිස් මහතා සිහිපත් කළේ ඇතැම් බන්ධනාගාර නිලධාරීන් ආපරාධකරුවන්ගේ සිරමැදිරිවලට වන්දනා කරන බවට වාර්තා වූ සිද්ධිය ඇතුළු සිද්ධි හරහා අපරාධකරුවන්ට මෙලෙස කටයුතු කිරීමට උත්තේජනයක් ලැබෙන බව.

මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙසට නම්කර තිබෙන කොස්ගොඩ තාරක නැමැත්තා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින අතර  දෙවන සැකකරු වන පොඩි ලැසී නැමැත්තා මේ වන විටත් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින නිසා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බව දිලීප පීරිස් මහතා පවසා තිබේ.

එමෙන්ම මීළඟ නඩු දිනයේදී පොඩි ලැසී නැමැත්තා අධිකරණය හමුවට රැගෙන ඒමට අවසර දෙන ලෙසත් , එදිනට අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පොලීසියට දැනුම් දෙන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා ප්‍රකාශ කළේ පොඩි ලැසී නමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය නියෝගය නිකුත් කරන බවය.

එමෙන්ම පොඩි ලැසී නැමැත්තා එළඹෙන සැප්තැම්බර් 25 වනදා අධිකරණයට රැගෙන එන ලෙසත් එදිනට අධිකරණ පරිශ්‍රයට විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයන ලෙසත් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.