Sep
23
පුංචි පවුල අවසන් ගමන් යයි (වීඩියෝ)
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමේ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිලිඳියගේ අවසන් කටයුතු අද (23) සිදුකෙරුණි.
ඒ බොහෝ පිරිසකගේ සෝ සුසුම් මැදය.
බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් නිවසක්, ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතට කඩා වැටීමෙන් අඹුසැමි යුවළකට සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳියට දිවි අහිමිවූයේ පසුගිය ඉරිදාය.
ජීවිතක්ෂයට පත් චමිල ප්‍රසාද් සහ අචලා ඒකනායකගේත්, ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති දියණිය ඔනෙලාගෙත් දේහ එම ප්‍රදේශයේම ඔවුන්ට අයත් තවත් හෝටලයක අද පස්වරුව වන තෙක් තැන්පත් කර තිබුණි.
කටුගස්තොට මහයියාව පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඥාතීන්, හිතවතුන් ඇතුළු බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මැදය.
ජීවිතක්ෂයට පත්වූ චමිල ප්‍රසාද්ගේ වැඩිමහල් සොයුරා අද එංගලන්තයේ සිට අවමංගල්‍යයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි අතර නිරෝධායනයට රැගෙන යන අතරතුර ඔහු සුසාන භූමිය වෙත පැමිණියේය.
එය ඉතා සංවේදී අවස්ථාවක් විය.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් කඩාවැටුණු පස්මහල් නිවස සහ එම ප්‍රදේශය අදත් නිරීක්ෂණය කළේය.
සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගෙන් විමසීමක් කළේය.
ඔහු පැවසුවේ කඩා වැටුණු නිවසේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වන මුල් ලේඛනවල පිටපත් අධ්‍යයනය කරමින් පවතින බවය.
එහි අවසන් වාර්තාව මෙම සතිය ඇතුළත සකස් කොට අවසන් කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
මහනුවර නගරයේ අනවසර සහ අවිධිමත් ගොඩනැගිලි පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පත්කළ කමිටුව පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේදී අද රැස්විය.
එම වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාට හෙට (24) ලබාදීමට නියමිතය.