Sep
23
මහනුවර කම්පාකරමින් මියගිය පවුලේ අවසන් කටයුතු අද සිදුකෙරෙන්නේ මෙහෙමයි
මහනුවර - බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධියෙන් ජීවිතයෙන් සමුගත් මාස එකහමාරක් වයසැති බිළිඳිය සහ ඇගේ මව්පියන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
මේ වනවිට ඔවුන්ගේ දේහයන් බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි අසල්වැසි නිවසක තැන්පත් කර තිබෙනවා.
ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට පොලිස් නිලධාරින් 5 දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත් කර තිබෙනවා.
මහනුවර - බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලකට යට වූ මාස එක හමාරක බිළිදියක් ඇතුලු එකම පවුලේ තිදෙනෙකුට පෙරේදා දිවි අහිමි වූ අතර දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාර දුන්නා.
රැස්ව සිටි විශාල පිරිසකගේ සෝසුම් මැද දේහයන් එම නිවසේ තැන්පත් කෙරුණා.
මහනුවර - බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ලක් ඊට පහළින් තිබූ තවත් නිවසක් සහ හෝටලයක් මතට කඩා වැටුණේ පසුගිය 20 වැනිදා අලුයම 05ට පමණ.
පසුව ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යටවූ නිවසක සිරවී සිටි බිළිදියක් ඇතුළු පස්දෙනෙකු මුදා ගැනීම සඳහා යුධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආපදා සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී බේරා ගැනීමට හැකි වුණේ කාන්තාවන් දෙදෙනෙකු පමණයි.
අදාල නිවසේම අසළ කාමරයේ නිදා සිටි මාස එක මාස හමාරක බිළිදිය 'ඔනෙලා'සහ ඇගේ මව්පියන් අවාසනාවන්ත ලෙස මෙලොව හැරගියා.
කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාට අයත් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ඔහුගෙන් ප්‍රකාශද සටහන් කර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.ටී රාජසේකරන් මහතා සඳහන් කරන්නේ.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ අවසරගැනීම සිදුකළ යුත්තේ නාගරික සංවර්ධන අධිකාරියෙන් බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි
එසේම පොලිස් නිළධාරීන් 5 දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක්ද මේ සම්බන්ධයෙන් පත් කර ඇති අතර එම නිළධාරීන් නිවස ඉදි කිරීම සඳහා අනුමැතිය ලබා දුන් බව කියන සියලු ආයතන වලින් ඒ බව සනාථ කෙරෙන ලේඛන ගෙන්වාගෙන පරික්ෂා කිරීමටද නියමිතයි.
ඒ අනුව නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා එය අවිධිමත්ව ඉදිකර ඇතැයි තහවුරු වුවහොත් නොසැලකිළිමත් කමින් තිදෙනෙකුට මරු කැඳවීම සහ දේපල වලට හානි කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බව පොලිසිය සඳහන් කළා.
මේ අතර, මහනුවර නගරයේ පිහිටා ඇති අවදානම් ගොඩනැගිලි පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා විසින් පත් කල විශේෂඥ කමිටුව මහනුර නගරයේ අවදානම් ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පිළිබඳව අද පොලිසිය කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද සඳහන් කෙරුණා.