Sep
26
පළමු ශ්‍රේණියේ දැරියන් සිව් දෙනෙකු අපයෝජනය කළ උපකාර පංති ගුරා
වලස්මුල්ල - කිරම ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වූ පළමු ශ්‍රේණියේ දැරියන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
දරුවන්ගේ දෙමාපියන් විසින් ගුරුවරයාට පහරදී පොලීසියට භාරදී තිබූ බවයි වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙම උපකාරක පන්ති ගුරුවරයා විසින් කිරම ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් තුළ කලක සිට මෙම උපකාරක පන්තිය පවත්වාගෙන ගොස් තිබුණා.
ඔහු ඊයේ එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දෙමාපියන් විසින් පහරදී අල්ලා ගෙන පන්තිය ඉදිරිපිට බැඳ දැමීමට කටයුතු කර තිබුණා.
සැකකාර ගුරුවරයා ජංගම දුරකථනයේ තිබී අපයෝජන සිද්ධීන් වලට අදාළ වීඩියෝ කිහිපයක් ද දෙමාපියන් සොයා ගෙන තිබෙනවා.
මේ පිළිබඳව දෙමාපියන් වලස්මුල්ල පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි පොලිස් නිලධාරින් විසින් අදාළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරකෑමෙන් බරපතල තුවාල ලබා සිටි ඔහු වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව අනාවරණ වුණේ සැකකරු අගුණකොලපැලැස්ස - හැලේකඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකු බවයි.
අපයෝජනයට ලක්වූ බව කියන දැරියන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.
එසේම, 8 හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක, අද බරපතල වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් නියම කර තිබුණා.