Sep 04

නෞකාවේ ඉන්ධන කාන්දු වුවහොත් කුමක් වෙයි ද? ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් ද?


ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි මුහුදේ අනතුරට ලක්ව ගිනි ගනිමින් පවතින නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් මුහුදු ජලයට මිශ්‍ර වන ඉන්ධන විනාශ කිරීම සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය රැගත් විශේෂ ඉන්දීය ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළේ සූදානම් කර තැබීමට සැලසුම් කර තිබේ.

නාවික හමුදා රියර් අද්මිරාල් වයි. එම්. ජයරත්න මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ, අදාළ ගුවන් යානය ඊයේ දිනයේදී මත්තල ගුවන් තොටුපොළ වෙත ළඟා වීමට නියමිත බවය.

සමුද්‍රයට මිශ්‍ර වන ඉන්ධන විනාශ කිරීම සඳහා යොදා ගැනෙන අදාළ රසායනය ශ්‍රී ලංකාව සතුව නොපවතින හෙයින් අසල්වැසි ඉන්දියාවේ සහය ඒ සඳහා ඉල්ලා සිටි බව ද ජයරත්න මහතා සඳහන් කළේය.

මෙරට නැගෙනහිර මුහුදු කලාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක ඊයේ (3) උදෑසන 8ට පමණ සිදුවූ පිපිරීමක් හේතුවෙන් ගින්නක් හටගෙන තිබිණි.

කුවේටයේ සිට ඉන්දියාව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ එම නෞකාවේ කාර්ය මණ්ඩලය 23 දෙනෙකුගෙන් සමන්විත විය.

නෞකාව බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක සංචිතයකින් සමන්විත වෙයි.

සිදුවිය හැකි විනාශය කෙතරම් ද?

ඉන්දීය පාරිසරික විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, මෙම ගින්න හේතුවෙන් පරිසරයට විශාල හානියක් සිදුවන අතර යම් හෙයකින් ඉන්ධන කාන්දු වීමක් සිදුවුවහොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇති බවටය.

මේ අතර, නෞකාවේ ගින්න ඉන්ධන ගබඩා වෙත පැතිරගොස් පිපිරීමක් සිදුවුවහොත් ඉන් සිදුවන පරිසර විනාශය යථා තත්ත්වයට පත්වීමට වසර 25ක් හෝ 30ක් වැනි දීර්ඝ කාලයක් ගත වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසීය.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇය පෙන්වා දුන්නේ, 'කිරින්ද සිට නැගෙනහිර දිශාවට ඇති ඉතා සංවේදී පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය ඉතා විශාලයි. කාන්දුවක් සිදුවුවහොත් එයින් විය හැකි හානි වැළැක්වීම සඳහා අපට ඇති කාලය අල්පයි,' යනුවෙනි.

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් එම ඉන්ධන ඉවත් කළ හැක්කේ 60%ක ප්‍රමාණයක් පමණක් බවත් මුහුදු ජීවීන්ට මෙන් ම කලාපීය මුහුදු පද්ධතියට විශාල හානියක් සිදුවිය හැකි බවටත් ඇය අනතුරු ඇඟවීය.

දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද?

එවැනි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාවට එය කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් ඇති ද යන්න පිළිබඳව සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී බලධාරීහු කරුණු දැක්වූහ.

එහිදී අදහස් දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී, දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, යම් හෙයකින් එම නෞකාවේ තෙල් කාන්දුවක් සිදු වුවහොත්, ඇති විය හැකි බරපතළ ම තත්ත්වයට මුහුණ දීම සඳහා ආයතන 15ක් සමග එක්ව ඊට අදාළ කටයුතු සිදු කරගෙන යන බවය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සතුව ඇති සම්පත් හා ශක්තිය අවම බැවින් ඒ සඳහා කලාපීය රටවල ද සහයෝගය ගැනීමට කටයුතු කර ඇති බව ඒ මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව, දකුණු ආසියාතික රටවලට මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කර ඇති බවත්, ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ඒ මහත්මිය පැවසීය.

එසේ ම, ඉන් ඇති වන බලපෑම සමස්ත සමුද්‍රීය කලාපයට ම බලපෑ හැකි බව සභාපතිවරිය සඳහන් කළාය.

යම් හෙයකින් තෙල් කාන්දුවක් ඇති වුවහොත්, එම තෙල් පැතිරීම නෞකාව ඇති ප්‍රදේශයට පමණක් සීමා කිරීම, තෙල් එකතු කිරීම සහ බැහැර කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ස්ථාපනය කර ඇති බව ඇය එහිදී පැවසීය.

ඒ අනුව, අදාළ උපකරණ සහ ද්‍රව්‍ය ත්‍රිකුණාමලය, කිරින්ද සහ හම්බන්තොට යන ප්‍රදේශවල සූදානම් කර තිබේ.

බොරතෙල් මුහුදු ජලයට එක් වුවහොත්, ඒවා දහනය වීමෙන් අන්තරායකර වායු ඇති විය හැකි බැවින්, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා ධීවර ප්‍රජාව ඒ වෙත යාම සීමා කර තිබේ. ඒ අනුව, ඔවුන්ට ධීවර කටයුතු සිදු කළ හැක්කේ අදාළ නෞකාවේ සිට මුහුදු සැතපුම් 5ක දුරින් පමණකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරිය සඳහන් කළේ, ඉන්ධන කාන්දුවක් සිදුවහොත් ඊට අදාළව කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇති බවය. ඒ අනුව, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඊට අදාළ මූලික පියවරක් ලෙස මේ පිළිබඳව තිරුක්කෝවිල් පොලිස්ථානයට පැමිණිලි කළ බව ඇය පැවසීය.

එහිදී සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය, ධීවර පරිසරයට සිදුවන හානිය සහ අනෙකුත් සංවේදී පරිසර පද්ධතිවලට සිදුව හානි නෞකාව අයත් ආයතනයන්ගේ පියවා ගැනීමට හැකි බව ද සභාපතිවරිය සඳහන් කළාය.

එසේ ම ඔවුන්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ කටුයුතු කළ හැකි බව ද ඇය පෙන්වා දුන්නාය.

සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්ධන කාන්දු වූ විගස ඒවා ඝණ තත්ත්වයට පත්වන බවය. එනම් ඒවා ග්‍රීස් බවට වීම සිදුවේ. එම ග්‍රීස් ආරුගම්බේ, නිලාවේලී, වාකරේ සහ ත්‍රිකුණාමලය දක්වා පැමිණියහොත් ඒවා ඉවත් කිරීම සඳහා දිගු කාලයක් ගත වන බවය.

නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් එය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු අනෙකුත් අංශවලට හැකියාවක් ඇති ද යන්න පිළිබඳව මෙහිදී නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල්, රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න මහතා අදහස් දැක්වීය.

රියර් අද්මිරාල්වරයා සඳහන් කළේ, ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත්, ඒවා නෞකාවෙන් පිටතට යාම වැළක්වීමේ 'බූම්' ශ්‍රී ලංකාව සතුව පවතින බවය. එසේ ම ඒවා අදාළ ස්ථානවල දැනටමත් ස්ථාපනය කර ඇති බව ඔහු සඳහන් කළේය.

රියර් අද්මිරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්ධන පැතිරීම වැළැක්වීම සිදු කළ හැකි බව තමන් තහවුරු කරන බවය.

නෞකාවේ තෙල් වෙනත් නැවකට මාරු කළ හැකි ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු අසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද්මිරාල්වරයා සඳහන් කළේ, එය සිදු කළ හැකි බවය. නමුත් ඊට පෙර නෞකාවේ ගින්න නිවා දැමිය යුතු බව ඔහු පැවසීය.

එම ක්‍රියාවලිය නෞකාව සතු සමාගම විසින් තීරණය කරනු ලැබිය යුතු බවත් ඊට අදාළ පහසුකම් එම සමාගම සතුව පවතින බවත් අද්මිරාල්වරයා මෙහිදී සඳහන් කළේය.

නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට ලංකාවට මුහුදු සැතපුම් 22 දුරින් තිබෙන අතර එය, ගොඩබිමට සමාන්තරව දකුණු මුහුද දෙසට සෙමින් ඇදී යන බව අද්මිරාල්වරයා සඳහන් කළේය.

අනතුරට ලක්වන විට නෞකාව පැවතියේ ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 38ක් දුරිනි.

මේ අතර, ගිනිගෙන අනතුරට පත්වී ඇති MT-New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රිය ඇතුළු පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.