Sep
06
පැපිලියවල පස් නිවුන් දරුවන්ගේ සැඟවුණු කතාව
පැපිලියවල ගනිහිගම පදිංචි ප්‍රියදර්ශන ලියනආරච්චිටත් රසාංජලි ජයවර්ධනටත් පසුගිය අගෝස්තු 31 වැනි දිනය ජීවිතයේ වටිනා දිනයක් විය. ඒ, ඔවුන් දෙපළ විවාහ ප්‍රාප්ත වී එදිනට වසර 3ක් සම්පූර්ණ වන නිසාය. එහෙත් මෙවර ඔවුන්ට ඔවුන්ගේ තෙවැනි විවාහ සංවත්සර දිනයේ වටිනාකම පස් ගුණයකින් පමණ වැඩි වී ඉතාමත් සුවිශේෂි දවසක් බවට පත් වූයේ මෙම යුවළ ඊට තෙදිනකට පෙර (28 වැනිදා) බිලිඳියන් පස් දෙනකුගේ මවුපියන් බවට පත් වූ බැවිනි. පසුගිය සිකුරාදා ඔවුන්ට මවුපිය පදවිය උරුම වූයේ එදින සිදු වූ පස් නිවුන් දරු උපතත් සමඟය.
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ බිහි වූ පස් නිවුන් දැරියන් මේ වන විට සිටින්නේ එම රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ය. දැරියන්ගේ මව වන 29 හැවිරිදි රසාංජලි ජයවර්ධන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව පසුවෙයි. එක්වරම දියණියන් පස්දෙනකුගේ වගකීම් කර පින්නා ගත් පියා වන ප්‍රියදර්ශන ලියනආරච්චි අපට හමුවුයේ එහිදීය.
“මම පූගොඩ නගරයේ පොඩි සපත්තු සාප්පුවක් කරන කෙනෙක්. මගේ බිරිඳ ගුරුවරියක්. එයාට ගුරු පත්වීම ලැබුණේ අපි විවාහ වුණ අලුතමයි. මුලින්ම පත්වීම ලැබුණේ වව්නියාවේ ගාමිණි විද්‍යාලයට. ඒ කාලේ රසාංජලිට දරු ගැබක් තිබුණා. ඒත් දුෂ්කරය පසුව දරුගැබ නැති වුණා. අපේ කුළුඳුල් දරුවා අහිමි වීම ගැන අපි දෙදෙනාම ගොඩාක් දුකින් හිටියේ. ඒ නිසාම අපි දරුවන් ප්‍රාර්ථනා කරලා රුවන්වැලිසෑයට බාරහාර වුණා. මම නම් දෙවියන්ගෙන් ඉල්ලුවෙම දරුවෙක් නෙමෙයි, දරුවො ගොඩාක්. ඒ නිසාම වෙන්න ඇති මට එකපාරටම දරුවන් පස්දෙනෙක් ලැබුණා.” යනුවෙන් පැවසුවේ දරුවන්ගේ පියා ප්‍රියදර්ශන ය.
කිරිකැටියකුගේ සිහිනය සැබෑ කර ගැනීමට ඔවුහු නොවිඳිනා දුක් කන්දරාවකට මුහුණ දුන්හ. ප්‍රථමයෙන්ම සිදු කළේ වව්නියාවේ සිට පූගොඩ ප්‍රදේශයේ පාසලකට මාරුවීමක් ලබා ගැනීමට උත්සාහ කිරීමයි. එහෙත් රසාංජලිට මාරුවීමක් ලැබුණේ පූගොඩ කිට්ටු පාසලකට නොවේ. මීගමුවේ හෝලි රෝසරි පාසලට ය. ඉන් සැනසුණු රසාංජලිත් ප්රියදර්ශනත් අනතුරුව, දරුවකු ගැන සිතන්නට වූහ.
මේ අතරවාරයේ දී රසාංජලි ගැබ් ගත්තේ ඔවුන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමිනි. එහෙත් ඇයට පෙබරවාරි මාසයේ සිට පාසල් යෑමටවත් හැකි වූයේ නැත. ඊට හේතුව ඇයට දවසකට 15 වතාවක් පමණ වමනය යෑමයි. ප්‍රියදර්ශන සඳහන් කරන්නේ එම කාලයේ රසාංජලි කිසිවක් ගැන හරිහැටි අවබෝධයක්, නිනව්වක් නැතිව මිය ගිය අයකු සේ කාලය ගත කළ බවයි. රාගම රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට ඔවුන් තීරණය කළේ පෙර අත්විඳි අභාග්‍ය සම්පන්න අත්දැකීම නිසාමය.
“මේ කාලයේදි තමයි ස්කෑන් කරලා දැන ගත්තේ දරුවන් හතරදෙනෙක් ලැබෙන්න ඉන්නවා කියලා. පස්සෙ තමයි දරුවෝ පස්දෙනෙක් සිටින බව කිව්වෙ. ඒ වෙලාවේ රසාංජලීව පරීක්ෂා කරපු වෛද්‍යවරයා කිව්වා දරුවෝ පස්දෙනෙක් බිහි කිරීම භාරදූර කාර්යයක්, දරුවන් කුස තුළ දරාගෙන සිටීමෙන් මව ගොඩාක් දුර්වල වෙනවා. අම්මාගේ ජීවිතයට වුණත් අනතුරක් වෙන්න පුළුවන් කියලා. ඒක අහලා ඇත්තටම මමත් භය වුණා. දරුවෝ වටිනවා වුණාට දරුවන්ගේ අම්මාව ඊට වඩා වටිනවානේ.
ඒ වෛද්‍යවරයා කිව්වා දරුවො පස්දෙනාගෙන් දෙදෙනකුව අයින් කරන්න කියලා. ලංකාවේ එය නොකරන නිසා ඉන්දියාවේ ගිහින් කරන්න කිව්වා. අපි දෙදෙනාට මුකුත්ම හිතා ගන්න බැරි වුණා. මගේ අයියාගේ බිරිඳත් වෛද්‍යවරියක්. එයාගෙනුත් ඇහුවා. මගේ යාළුවෙකු ඉන්නවා මිලාන් කියලා කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක්. මම එයාටත් විස්තරය කිව්වා. මිලාන් මට කිව්වා සොයිසා රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රධානි මහාචාර්ය අතුල කළුආරච්චි වෛද්‍යවරයා හම්බ වෙන්න කියලා. ඊටපස්සේ අපි අතුල කළුආරච්චි විශේෂඥ වෛද්‍යවරයාව හම්බ වෙන්න ගියා.” යනුවෙන් ප්‍රියදර්ශන ලියනආරච්චි විස්තර කළේය.
මේ වන විට මාර්තු මාසයට එළැඹී තිබිණි. කොරෝනා වසංගතය හේතුවෙන් රටම වසා දැමූ කාලය විය. ඉන්දියාවේ යෑමට තබා කොළඹට යෑමටවත් නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබිණි. මහාචාර්ය අතුල කළුආරච්චි ඔවුන්ට පැවසුවේ දෛවය විසින් ලබා දී ඇති අභියෝගයට මුහුණදෙන ලෙසටයි. රසාංජලිට ද සොයිසා කාන්තා රෝහලේ සායනයට පැමිණෙන ලෙසට උපදෙස් ලැබිණි. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ මහාචාර්ය ඒකකය මහාචාර්ය අතුල කළුආරච්චි, ප්‍රබෝධන රණවීර, අසංක ජයවර්ධන, චන්දන ජයසූරිය ඇතුළු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනකුගේ අධීක්ෂණය පවතින ඒකකයකි. රසාංජලිගේ බිය සැක පහව ගොස් දිරිමත් සිතින් මුහුණදීමට ශක්තිය ලැබුණේ එමනිසාය.
අප්‍රේල් මාසයේදී රසාංජලිට බඩේ කැක්කුමක් ඇති විය. වහාම ක්‍රියාත්මක වූ ප්‍රියදර්ශන ඇයව ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කළේ අවදානමක් ගත නොහැකි නිසාය. ස්කෑන් පරීක්ෂණයක් කර, ගර්භයට හානියක් නොමැති බව තහවුරු කර ගනු ලැබූවද ඇයව සතියක් පමණ රෝහල්ගත කර තිබුණත් ඇගේ බඩේ කැක්කුම අඩු වූයේ නැත. ඉන්පසුව වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ උදරය විවෘත කර පරීක්ෂා කළ යුතු බවයි. එය ඉතා ප්‍රවේශමෙන් හා දැඩි අවධානයෙන් සිදු කළ යුතු සැත්කමකි. වෛද්‍යවරු එය ඉතා සාර්ථකව සිදු කළහ. දරුවන් පස් දෙනකු කුස තුළ හොවාගෙන සිටින රසාංජලි නිරතුරුවම වෛද්‍යවරුන්ගේ විශේෂ අවධානයට ලක්විය යුතු බැවින් කුසට සති 18 සම්පූර්ණ වූ දා සිට ඇයව රෝහල්ගත කිරීමට වෛද්‍යවරුන් විසින් තීරණය කෙරිණි. එහෙත් එය ඇයට මානසික පීඩාවක් විය හැකි බැවින් විටින් විට නිවසට ගොස් ආපසු පැමිණීමට ඉඩ ප්‍රස්තා ලබා දී තිබිණි.
“මහාචාර්ය ඒකකයේ දෙවැනියා විදිහට හිටියේ විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර. ඒ වෛද්‍යවරයා රසාංජලිව සැහැල්ලුවෙන් තබා ගන්න එයාගේ බය නැති කළා. එයාත් සැහැල්ලුවෙන් සිටින බව පෙන්නුවා. ඒ වගේම වෛද්‍යවරුන් රසාංජලිට ඇවිදින්න දුන්නේ නැහැ. රෝද පුටුවෙ තියාගෙන උපස්ථායකවරියන් තල්ලු කරගෙන ගියේ. රසාංජලි දරුවන් පස් දෙනෙකු කුස තුළ තබාගෙන පුදුම දුකක් වින්දේ. උදරය විශාල නිසා හැරෙන්න පෙරළෙන්න බැහැ. මට කරන්න තිබුණේ දෙවියන්ට කියන එක තමයි. මම මගේ අතින් ම කිරිපිඬු උයාගෙන හැමදාම කැලණි විහාරයට ඇවිත් කිරි ආහාර පූජා කළා. දවස් 200 ගණනක් බෝධි පූජා තිබ්බා. කිරි වෙහෙරට කප්රුකක් පූජා කළා. මම පින්දහම් කරන විට රසාංජලිත් වේදනාවක්, බියක් නැතිව සිනාමුසුව හිටියේ ඒ ගැන එයාටත් විශ්වාසයක් තිබුණු නිසා.” යනුවෙන් තවදුරටත් අදහස් පළ කළේ ප්‍රියදර්ශන ලියනආරච්චි ය.
අගෝස්තු 28 වැනි සිකුරාදා පෙරවරුවේ එම අසිරිමත් මොහොත උදාවිය. මහාචාර්ය ඒකකය හෙවත් 3 වැනි වාට්ටුව වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර, වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් ද සොයිසා කාන්තා රෝහලේ පස් නිවුන් දරු උපත සාර්ථකව සිදු කළහ. මෙම සිසේරියන් සැත්කමට නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සරෝජා ජයසිංහ, නොමේරු ළදරු ඒකකයේ නව ජන්ම විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් සහ නලීන් ගමමිතිගේ ඇතුළු හෙද කාර්යය මණ්ඩලය දායක වූහ.
විනාඩි 5ක් ඇතුළත බිහිවූ බිලිඳියන් පස්දෙනාගේ බර කිලෝ ග්‍රෑම් 1ට වඩා වැඩි විය. එහෙත් කිලෝග්‍රෑම් 2ට අඩු විය. බිලිඳියන් පස්දෙනා නිරෝගීව උපත ලැබූවත් නොමේරු ළදරු ඒකකයේ රඳවා සිටින්නේ නිරන්තරයෙන් වෛද්‍යවරුන්ගේ අවධානය බිලිඳියන්ට ලැබිය යුතු නිසාය. මව ද අධික රුධිර වහනය හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මව සහ දරුවන් පස්දෙනා සාමාන්‍ය වාට්ටුවකට දමන තෙක් ප්‍රියදර්ශන දැරියන්ගේ ජන්ම පත්‍ර සකස් කිරීම කල් දමා තිබේ. ජන්ම පත්‍ර සෑදීම, නම් තැබීම සිදු කෙරෙන්නේ ඊට පසුවය. දියණියන් පස්දෙනකුගේ පියකු වූ ප්‍රියදර්ශන ලියනආරච්චි දැන් සූදානම් වන්නේ නිවසට රැගෙන ආ පසුව කිරිකැටියන් සිය කාමරයේ තබා ගැනීම පිළිබඳවය. ඒ සඳහා නිදන කාමර 2ක් මැද ඇති බිත්තිය කඩා එක් නිදන කාමරයක් වශයෙන් පිළියෙල කර තිබේ.
“දරුවන් පස්දෙනෙක් හදන එක ලොකු අභියෝගයක් තමයි. ඒක මම හොඳින් තේරුම් අරගෙන සතුටින් මුහුණ දෙනවා. මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බබාලා පස්දෙනාව රැක බලා ගැනීමට වැඩිහිටි ඥාතින් නොමැති වීම. මගේ අම්මා තාත්තා දෙන්නාම නැහැ. රසාංජලිගේ අම්මා විතරයි ඉන්නේ. දරුවන්ව වඩා ගන්න, කවන්න, නාවන්න වැඩිහිටි ඥාති කෙනෙක් ඉන්නම ඕනෑ. එක්කෙනෙකුට විතරක් දරුවො පස්දෙනෙක් බලා ගන්න බැහැනේ.” ප්‍රියදර්ශන තමුන් හමුවේ ඇති ලොකුම ගැටලුව ගෙනහැර පෑවේ එලෙසිනි.
ප්‍රියදර්ශන ලියනආරච්චි සහ රසාංජලි ජයවර්ධන වසරක පමණ කාලයක් ඇසුරු කර දෙපාර්ශ්වයේ ආශිර්වාදය මැද විවාහප්‍රාප්ත වූ යුවළකි. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාව වසරකට සීමා වුවද ඔවුන් දැන හඳුනා ගැනෙන්නේ කුඩා වියේ පටන්ය.
“මට කාගෙන්වත් උදව් ඉල්ලන්න බැහැ. දරුවො ලැබුණේ මගේ වුවමනාවට. කවුරු හරි මට උදව් කළාට කමක් නැහැ. මම එපා කියන්නේ නැහැ. මම මගේ උපරිම ශක්තියෙන් දරුවො පස්දෙනා රැක බලා ගන්නවා.” යනුවෙන් ප්‍රියදර්ශන ලියනආරච්චි තිර අදිටනින් පැවසුවේ ලංකාවේ සිවුවැනි පස් නිවුන් දරු උපතේ වාසනාවන්ත පියා වීමේ උද්දාමයෙනි.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත