Sep
09
අටලුගම දී අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර 15 හැවිරිදි දැරියක් (වීඩියෝ)
බණ්ඩාරගම, අටළුගම, මාරව ප්‍රදේශයේ ගංජා ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ජාවාරම්කරුවන් ප්‍රහාරයක් එල්ල විය.
එහිදී පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, සැරයන්වරියක් හා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලැබීය.
“ගොටුකොළ රිෆායි“ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බණ්ඩාරගම, අටළුගම, මාරව, ඉජිතුමා මාවත ප්‍රදේශයේ නිවසක ගංජා ජාවාරමක් සිදුකරන බවට බණ්ඩාරගම පොලීසියට තොරතුරු ලැබී තිබුණි.
ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට යන්නේ, අද පෙරවරු 8.30 ට පමණ.
එහිදී නිවැසියන් පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට බාධා කළේය. පසුව ගංජා ජාවාරම සිදුකරන නිවසේ සිටි කාන්තාවන් පිරිසක් පොලිස් කාන්තාවන් දෙදෙනෙකුට කෙස්වැටියෙන් ඇද පහරදුන් අයුරු කැමරාවේ සනිටුහන් විය.
එම අවස්ථාවේ දී එක් කාන්තාවක් පොලිස් කාන්තාවකට පා පහරක් ද එල්ල කළ අයුරු ද දක්නට ලැබුණි.
පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට එම කාන්තාවන් පිරිස උත්සාහ දැරීය.
මේ අතරතුර දී ගංජා ජාවාරමේ යෙදෙන බවට පැවසෙන තවත් පුද්ගලයෙකු පිහියක් ද රැගෙන විත් පොලීසියට පහරදීමට උත්සාහ කළේය.
මොවුන්ගේ පහරදීමෙන් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, සැරයන්වරියක් හා පොලිස් කොස්තාපල්වරියක් ද තුවාල ලැබුවා.
පසුව සැකකරුවන් ජීවත් වූ නිවස පරීක්ෂා කළේ, පොලිස් නිල සුනඛයන් ද යොදාගනිමින්.
එහිදී නිවස තුළ තිබී කේරල ගංජා ග්‍රෑම් 500 ක් සොයා ගනු ලැබීය.
කෙසේ වෙතත්, පහරදීම සිදුකළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර, ඒ අතර 15 හැවිරිදි දැරියක් ද සිටියි.
සැකකරුවන් සියලු දෙනා එකම පවුලේ ඥාතීන් වන අතර, පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.