Aug 08

රටේ කෙරුමන් අතර වැජඹුණු SF ලොක්කා මඟ මරපු හැටි එක් දරු පෙම්වතිය හෙළිකරයි


“අවි ගත්තෝ අවියෙන්ම නසිති. අවි ආයුධ අත දරා සිටින්නවුන්ට වැඩි ආයුෂ නැත. ඒ අනුව පාතාල කෙරුමන්ට, වැඩ පෙන්වන්නට දඟලන වැඩ කරුවන්ට මිනිසුන් බිය වද්දමින් රටේ නමක් සාදා ගන්න දඟලන ලොක්කන්ට කවදා හරි සිදුවන්නේ කාගේ අතින් හෝ මැරුම් කන්නටය.

පසුගිය කාලපරිච්ඡේදයන් තුළ මෙසේ මැරුම් කෑ අය බොහෝය.

ඉකුත්දා රටේ නමගිය තවත් කෙරුමන් දෙදෙනකුට මැරුම් කන්නට සිදුවිය. ඒ දෙන්නම ලොක්කෝය. එක් අයකු අංගොඩ ලොක්කාය. අනෙකා එස්.එෆ්. ලොක්කාය. ඒ, ඉකුත් පස්වැනිදාය. රට පුරා මහ ඡන්ද උණුසුම පැතිර තිබිණි. කාගේත් අවධානය යොමු වූයේ මහ ඡන්දය කෙරෙහිය. රට පුරා පිහිටි පොලිස් ස්ථානවල රාජකාරි කරන පොලිස් නිලධාරීහුද මැතිවරණ රාජකාරියේ යෙදී සිටියහ.

මහ ඡන්දයද කිසිදු බාධාවකින් අවහිරතාවකින්, ප්‍රචණ්ඩත්වයකින් තොරව පැවැතෙද්දී අනුරාධපුර මූලස්ථාන පොලිසියට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ වන විට වේලාව දහවල් 11.50ට පමණ විය. ඇමැතුමෙන් කියැවුණේ දහයියාගම හන්දිය අසල මොටෝරියක් ගිනි ගෙන දැවෙන බවය.

සිද්ධිය වහා මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සංජීව මහානාම මහතාට දැනුම් දෙන ලදී. ඒ වන විට ඔහු සිටියේ සිය නිල ජීප් රියේ මැතිවරණ රාජකාරිවල යෙදෙමිනි. ලැබුණු ඇමැතුමත් සමඟ ඔහු අනුරාධපුර දහයියාගම දෙසට රිය ධාවනය කරන්නට පොලිස් රියැදුරාට අණ දුනි. මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා සිද්ධිය වූ ස්ථානයට යන විටත් ඒ අවට පිරිස් රැඳී සිටියහ. ගිනි ගෙන තිබූ වාහනය ඒ වන විටත් ගින්න නිවා දමා තිබිණි.

මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා සිදුවී ඇත්තේ කුමක්දැයි අවට සිටි පිරිසගෙන් විමසුවේය. ඔහුට අනාවරණය වූයේ වෙඩි තැබීමක් සිදුව ඇති බවත්, වෙඩි තැබීමෙන් තුවාල ලත් පුද්ගලයා වාහනයෙන් පිටතට ගෙන මහ රෝහලට පිටත් කර යවා ඇති බවත්ය.

“වෙඩි වැදුණේ කාටද කියලා ඒ වෙනකොට අපි දැනගෙන හිටියේ නැහැ. මම මගේ නිලධාරීන්ව හොස්පිට්ල් එකට යවලා මම සීන් එකේම හිටියා. පස්සේ මට ආරංචි වුණා වෙඩි වැදුණ පුද්ගලයා රෝහලට ගෙනයනකොටත් මියගිහින් කියලා. ඒ පුද්ගලයත් එක්ක කාන්තාවකුත් වාහනයේ ඉඳලා තියෙනවා. වෙඩි තියන වෙලාවේ එයා වාහනෙන් පැනලා ගිහින්. ඒ වෙනකොට ඒ ගෑනු ළමයත් එතැන හිටියේ නැහැ.

මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා සිද්ධිය පැහැදිලි කළේ එසේය.

තුවාල කරු රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබූ අතර වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ හිසට හා පපුවට බරපතළ තුවාල සිදුවී තිබිණි.

පසුව සිද්ධිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ගීගනගේ මහතාටත් අනුරාධපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා උතුරු මැද පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාටත් දැනුම් දීමට මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා කටයුතු කළ අතර ඔවුනගේ උපදෙස් මත සොකෝ අංශයේ ඇඟිලි සලකුණු අංශයටත් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයටත් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලදී.

වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇත්තේ රණසිංහ මුදියන්සේලාගේ ඉරෝන් රණසිංහ නමැති 31 හැවිරිදි අයකු බවට ඒ වන විටත් පොලිසිය හඳුනාගෙන තිබිණි. මියගිය අයට දහයියාගම ලොකු මල්ලී ලෙසත් එස්.එෆ්. ලොක්කා යන අන්වර්ථ නමත් පට බැඳී තිබිණි. ඔහු ඒ වන විටත් රටේ කෙරුමන් අතර වැජඹුණු අයෙකි. ඉරෝන් රණසිංහ අනුරාධපුර දහයියාගම හන්දිය කාර්මික පෙදෙසේ පවිත්‍රපුර ලිපිනයේ පදිංචිව සිටි අතර ඔහු යුද හමුදා විශේෂ බළකායේ (SF) සේවය නියුතුව සිට වැඩ තහනමට ලක් වූ අයෙකි.

ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව විමර්ශන ඇරඹූ මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු අපරාධ විමර්ශන කණ්ඩායමේ මූලික අරමුණ වූයේ මේ එස්.එෆ්. ලොක්කා ඝාතනය කළේ කවුරුන්දැයි සොයාගැනීමය. මේ සඳහා සිද්ධිය ඇසින් දුටු අයෙක් සිටීම විමර්ශනවලට මහත් සහායක් දුන්නේය. ඒ අනුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගේ කැඳවීම මත එස්.එෆ්. ලොක්කාට වෙඩි ප්‍රහාරය එල්ල වන විට ඔහු සමඟ සිටි කාන්තාව පොලිසියට කැඳවිණි.

මොකක්ද වුණේ.....

“අයියා ජිම් එකට ගිහින් ව්‍යායාම කරලා කාර් එකෙන් මාත් එක්ක ගෙදර එනකොට තමයි මේ දේ වුණේ. එදත් වෙනදා වගේම අයියා වේගයෙන් කාර් එක පැද්දා. රේල් ගේට්ටුව ළඟදී අයියා කාර් එකේ වේගය අඩු කරනවත් එක්කම “ඩෝං........... ඩෝං” ගාලා සද්දයක් ඇහුණා. මම හිතුවා රතිඤ්ඤා වෙන්න ඇති කියලා ඡන්දෙ දවසත් නිසා ඒ වෙලාවේ අයියා ඔළුව කෙළින් කරලා වෙඩි තියපු කෙනා දිහා බැලුවා. විනාඩි පහක් විතර කෙළින් ඉඳලා අයියා සීට් එකේ අනිත් පැත්තට වැටුණා. “කාර් එක ස්ලෝ කරනවත් එක්ක කැබ් එකකුයි ස්කූටි බයික් එකකුයි ආවා. ඒ දෙකෙන් එකකින් ආපු කෙනෙක් තමයි අයියට වෙඩි තියන්න ඇත්තේ.

“කලින් දවසේ රෑ අපේ ගෙදර ඇවිත් ආපහු යනකොට අයියා කිව්වා පොඩි සීන් එකක් තියනවා ඒ හින්දා ඉක්මනට ගෙදර යන්න ඕන කියලා. මම ඒ වෙලාවේ අයියට පොඩ්ඩක් ඉඳලා යන්නයි කිව්වා. කවුරුහරි මොනවා හරි කියලා තියෙන නිසා මේ සිද්ධියට කලින්දා අයියා ගෙදරින් එළියටවත් බැස්සේ නැහැ.

ඇය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා හමුවේ කීවාය. අනුරාධපුර කාර්මික පෙදෙසේ සිය සහෝදරයාගේ නිවෙසේ ඉරෝන් රණසිංහගේ දේහය අසල හඬා වැටෙමින් ඇය වැඩි දුරටත් මෙසේද පැවැසුවාය.

“මෑත කාලයේ අයියා කිසිම නරක වැඩක් කළේ නෑ. සල්ලි නැතත් ණය වෙලා හැමෝටම උදවු කළා. මම ඒ ගැන ඇහැව්වාම මැරිලා යන එකටනේ අපි මේ හැමදේම කරන්නේ කිව්වා. මැය විවාහක කාන්තාවකි. එක් දරු මවකි. එහෙත් ඇය ඒ වන විට එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතියයි.

ඇගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙළි වූයේ එදින උදෑසන එස්.එෆ්. ලොක්කා ඇය සමඟ දහයියාගම හන්දියේ පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානයට (ජිම් එකට) ගොස් ඉන්පසුව ඒ අසල පිහිටි වෙළෙඳසලකට ගොස් එළවළු මිලදී ගෙන ඇති බවය. පසුව කාර්මික පෙදෙසේ පිහිටි සිය නිවෙසට පෙම්වතිය සමඟ එමින් සිටියදී අනුරාධපුර ඩී.ඇස්. සේනානායක මාවතේ දහයියාගම හන්දියට නුදුරු දුම්රිය හරස් මාර්ගය අසලදී වාහනයේ වේගය අඩුවෙත්ම ඊට පසුපසින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් එස්.එෆ්. ලොක්කාට වෙඩි තබා ඇති බවය.

ඒ වන විට ලොක්කාගේ පෙම්වතිය හිඳ ඇත්තේ ඔහුගේ අසුනට පසුපස අසුනේය.

කළු පැහැති ජැකට්වලින් හා කළු පැහැති රෙදි පටිවලින් මුහුණු ආවරණ පැලඳ මුහුණු වැසුණු හිස් වැසුම් පැලඳ සිටි තුවක්කුකරුවන් පැමිණ ඇත්තේ කළු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකිනි.

ලොක්කා ගමන් ගත් වාහනය පසුපසින් පැමිණි යතුරුපැදිය ධාවනය කරවූ පුද්ගලයා ලොක්කාගේ වාහනයට ඉස්සර කොට එය වාහනයේ අසුනට කිට්ටු කළ විට පිටුපස සිටි පුද්ගලයා සිය අත තිබූ ටී පනස් හය ගිනි අවියෙන් එක දිගට රිය අසුනේ සිටි ලොක්කාට වෙඩි තබා ඇත. ඒ සමඟ ලොක්කා රිය අසුන මතින් ඇද වැටෙද්දීම ගිනි අවියෙන් නිකුත් වූ තවත් වෙඩි උණ්ඩයක් රථයේ එන්ජිමට එල්ල වෙත්ම රථය එකවරම ගිනි ගෙන ඇත.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව එස්.එෆ්. ලොක්කාට වෙඩි තැබූ තුවක්කුකරු දක්‍ෂ වෙඩික්කරුවෙකි. ඊ 56 ගිනි අවිය සිය උදරයේ සඟවාගෙන එස්.එෆ්. ලොක්කා ගමන් ගත් මෝටර් රිය ආසන්නයට පැමිණ ඇති වෙඩික්කරු දුම්රිය මාර්ගය අසලදී රථයේ වේගය අඩු වනවාත් සමඟ එස්.එෆ්. ලොක්කාට වෙඩි තබන්නට පටන් ගෙන තිබේ.

වෙඩික්කරු සිය යතුරුපැදියේ සිටගෙනම එස්.එෆ්. ලොක්කා දෙසට වෙඩි තබා ඇති බවටද තොරතුරු ලැබී තිබේ.

මේ අතර තුවක්කුකරු පැමිණි ස්කූටි යතුරුපැදියට අමතරව තවත් යතුරුපැදි දෙකක්ද වෙඩි ප්‍රහාරයට පැමිණ ඇතැයි දැනගන්නට ලැබී ඇත. එස්.එෆ්. ලොක්කාගේ පපුව දෙසට තුවක්කුව එල්ල කර වෙඩි තැබූ තුවක්කුකරු පසුව මෝටර් රියේ පිටුපස ‍ෙදාර විවර කර රථය තුළටද වෙඩි තබා ඇති බවටද තොරතුරු ලැබී තිබේ. මේ සියල්ල නිවැරදිව තහවුරු කරගැනීම සඳහා නගරයේ ඇති සීසීටීවී කැමරා පරීක්‍ෂා කෙරෙමින් තිබේ.  ඒ ඔස්සේ පැමිණි යතුරුපැදි හඳුනාගැනීමට උත්සාහ කරන බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව නාඳුනන තුවක්කුකරු පැමිණි යතුරුපැදිය අභය මාවත ඔස්සේ පලා යද්දී මෝටර් රථයෙන් බැසගත් එස්.එෆ්.ගේ පෙම්වතිය කෑ ගසන්නට වූ අතර ඒ සමඟ එතැනට පැමිණි පිරිස් වෙඩි වැදී සිටි ලොක්කා අනුරාධපුර රෝහලට යැවීමට කටයුතු කර තිබේ. ඒ වන විටත් වාහනය දැවෙමින් තිබූ අතර මේ බව දැනගත් අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ගින්නෙන් දැවෙන රථයේ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ. එහෙත් ගින්නෙන් රථයට දැඩි හානි සිදුවී තිබිණි.

එස්.එෆ්. ලොක්කාට වෙඩි තබා ඇත්තේ ටී පනස්හය වර්ගයේ ගිනි අවියකිනි. දඩයක්කරුවන් ටී 56 වර්ගයේ පතරොම් 8ක් පමණ මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන තිබිණි. ඉන් හිස් පතොරම් 8ක් ඒ වන විටත් සොකෝ නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි.

එස්.එෆ්. ලොක්කා මෙලෙස වෙඩි තබා ඝාතනය කරන්නේ මන්ද? ඒ කවුරුන්ද? යන්න සෙවීමට මේ පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

එස්.එෆ් ලොක්කා ඝාතනය වන්නේ වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටියදීය.

අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු හා ගිනස් වාර්තාලාභියකු මෙන්ම කරාටේ ශූරයකු වූ අනුරාධපුර, කඩ පනහ ප්‍රදේශයේ පිහිටි “පැනොරාමා” රාත්‍රි සමාජ ශාලාව හිමි වසන්ත සොයිසා යන අය ඝාතනය කිරීම මොහුට එල්ල වී තිබූ ප්‍රබලම චෝදනාවයි.

ඊට අමතරව පොලිසිය මෙතෙක් කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මොහු පාතාල නායකයකුගෙන් හෙරොයින් තොගයක් ලබාගැනීමෙන් පසු ඔහුට ඒ සඳහා මුදල් ගෙවා නොතිබීම නිසා පාතාල නායකයා හා එස්.එෆ්. ලොක්කා අතර ආරවුලක් තිබී ඇති බවය.

එසේම පෞද්ගලික බැංකුවක් සතු අධි සුපිරි අවුඩි මෝටර් රථයක් කොල්ලකෑමේ වරදකටද මොහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරී ඇති බවයි.

මේ අතර ඔහුට එරෙහිව තවත් චෝදනා කිහිපයක්ද එල්ල වී ඇති අතර කරාටේ ශූර වසන්ත සොයිසාගේ පුතා විසින් මොහුට එරෙහිව රුපියල් ලක්ෂ 1,000ක මුදලක් වන්දි ඉල්ලා දිසා අධිකරණයේ නඩුවක්ද පවරා ඇති බවත් අනුරාධපුර මූලස්ථානය කියයි.

මේ කෙසේ වෙතත් එස්.එෆ්. ලොක්කා කරළියට එන්නේ වසන්ත සොයිසාගේ ඝාතනයත් සමඟිනි.

1989දී අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ උපන් ඉරෝන්  රණසිංහ අනුරාධපුරයේම ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ අතර එම විද්‍යාලයේම ශිෂ්‍ය නායකයකු ලෙසද කටයුතු කළ අයෙකි. පසුව පාසල් ගමනට ආයුබෝවන් කී ඔහුගේ එකම ආශාව වූයේ යුද හමුදා සේවයට එක්වී නිලයක් දරන අයකු වීමය.

ඒ අනුව 2007 වසරේදී යුද හමුදා විශේෂ බළකායට එක්වී පුහුණුව ලැබූ මොහු ක්‍රීඩා කටයුතුවලටද දක්ෂතා දැක්වූ අයෙකි. එහෙත් ඔහුට වැඩි කලක් එස්.එෆ්. බළඇණියේ සේවය කිරීමට නොහැකි විය. ක්‍රීඩා කිරීමේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් මොහු මූලස්ථානයට මාරු කිරීමත් සමඟ ඔහුගේ බලාපොරොත්තු බොහොමයක් කඩ විය.

ඒ නිසාම ඔහු හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වීමට අවසර ඉල්ලුවද ඒ සඳහා ඔහුට අවස්ථාව හිමි නොවීය.

මෙලෙස රාජකාරි කරමින් සිට නිවාඩු ලැබ ගමට පැමිණි මොහු ඉන් පසුව රැකියාවට යෑම අතපසු කළේය. ඒ කාලය තුළ කඩවසම් තරුණයකු වූ මොහු ගමේ මිතුරන් සමඟ කෙළිදෙළෙන් කල් ගෙවීය. එස්.එෆ්. බළකායේ සේවය කිරීම නිසා මිතුරන් ඔහුට දැක්වූයේ මහත් ගෞරවයකි. ඒ එස්.එෆ්. ඒකකය සටන් බිමේ ඒ වනවිටත් රණ ශූරයකු වී සිටීම නිසාය.

ඒ වනවිට අනුරාධපුරයේ පවත්වාගෙන ගිය ‘පැනොරාමා’ සමාජ ශාලාව තරුණයන් අතර ඉමහත් ජනප්‍රිය ස්ථානයක් විය. එහි අයිතිකරු වූයේ වසන්ත සොයිසාය.

අෑත අතීතයේ අනුරාධපුරය හෙල්ලූ කැලැත්තෑවේ සොයිසා ඔහුගේ පියාය. වසන්ත සොයිසාද පියා මෙන් ජනප්‍රිය පුද්ගලයකු වූ අතර නිවාඩු නිකේතනයක් ලෙස සුළුවෙන් ඇරැඹි තම හෝටල් ව්‍යාපාරය වැඩිදියුණු කර ගනිමින් රාත්‍රි සමාජ ශාලාවක් බවට පත් කරගෙන අතමිට සරු කරගත් ඔහු වටාද සමාජයේ නිලතල බලතල ඇති පිරිසක්ද වූහ.

ඒ අතරතුර ඔහු කරාතේ ක්‍රීඩාවද දක්ෂ ලෙස ප්‍රගුණ කළ අයෙක් විය. කරාතේ සෙන්තේවරයකු ලෙසද කටයුතු කළ හෙතෙම ගිනස් වාර්තා කිහිපයක්ද තබමින් රටේ මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රසිද්ධියට පත්විය. එක්තරා රූපවාහිනි නාළිකාවක් මෙහෙයවූ රියැලිටි වැඩසටහනකින් ඔහු එහි කිරුළද දිනා ගත්තේය. දුම්රිය මැදිරි තුනක් කටින් ඇදීම, සිමෙන්ති ලෑලි හිසෙන් ගසා කඩාදැමීම, උළුකැට 525ක් ශරීරයෙන් ගසා කඩාදැමීම ඇතුළු ගිනස් වාර්තා රැසකට හිමිකම් කී වසන්ත සොයිසා සිය රාත්‍රි සමාජ ශාලාවද බලය, ආධිපත්‍ය සමඟින් පවත්වාගෙන ගියේය.

තරුණ ඉරෝන්ද මිතුරන් සමඟ වසන්තගේ රාත්‍රි සමාජ ශාලාවට මහත් ප්‍රිය කළේය. මත්පැන් බොමින් සමාජ ශාලාවේ නළඟනන් සමඟින් නටන්නට මේ පිරිස මහත් ළැදිකමක් දැක්වූහ. යළි හමුදාවට නොගියද වසන්ත සොයිසාගේ නයිට් ක්ලබ් එකට යන්නට මේ මිතුරෝ අමතක නොකළහ.

මෙලෙස රාත්‍රි සමාජ ශාලාවේ විනෝද වෙමින් කාලය ගත කළ ඉරෝන් ඇතුළු කණ්ඩායම සමාජ ශාලාවේ හිමිකරු හා ගෝලබාලයන් සමඟ ගැටුම්ද ඇති කරගත්හ. බොහෝ ගැටුම්වලට මුල් වූයේ කා බී විනෝද වූ පසු නියමිත මුදල ගෙවීම හරිහැටි සිදු නොවීම නිසාය.

රාත්‍රි සමාජ ශාලා සේවකයන් නියමිත බිල ගෙවන්නට කියද්දී ඉරෝන් ඇතුළු පිරිස කියා ඇත්තේ යොදා ඇති මිල මුදල් අධික බවය. වැඩියෙන් මුදල් අය කරන බවය. මුදල් තැබීමට නොහැකි වන විට ඒ අයට රිසිසේ සලකන්නට නයිට් ක්ලබ් හිමිකරුවන්ගේ ගෝලබාලයෝ හොඳින් සැදී පැහැදී සිටිති. මේ නිසා ඉරෝන් සමඟ ඇති වූ ගැටුම්ද එමටය.

2015 වසරේ ජුනි මාසයේද මෙවැනි ගැටුමක් ඇතිවිය. රුපියල් ලක්‍ෂයකට ආසන්න බිලක් ගෙවීමට ඉරෝන් ප්‍රතික්‍ෂේප කළේය. නළඟනක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මීට මුල් විය. අවසානයේ එය ගැටුමකට මුල පිරුණු අතර හෝටල් සේවකයන්ගෙන් හොඳ හැටි පහර කෑ ඉරෝන්ට පැය කිහිපයක් සමාජ ශාලාවේ කාමරයක් තුළ දණ ගසා සිටීමටද සිදුවිය. තමා හමුදාවේ නිලධාරියකු වූ බැවින් ඉරෝන්ට මින් මහත් ලැජ්ජාවක් ඇති විය. මිතුරන් ඉදිරියේ දණ ගැසීම නිසා ඔහුට මහත් කෝපයක්ද ඇති වී තිබිණි. එදා  පටන් ඉරෝන් ඇතුළු මිතුරන්ට පැනරෝමා තහනම් කලාපයක් බවටද පත්විය.

ගමේ මිතුරන් සමඟ කාලය ගත කළත් මත්පැන් ටිකක් තොල ගෑ සැණින් ඉරෝන්ට අවශ්‍ය වූයේ පැනරෝමා නයිට් ක්ලබ් එකට ගොස් කෙල්ලන් සමඟ කා බී රිසි සේ සතුටු වන්නටය. සිද්ධියෙන් සති දෙක තුනකට පසුවද ඔහු මිතුරන් සමඟ නයිට් ක්ලබ් ගියේය. ඒත් පැනරෝමා සමාජ ශාලාවේ බ්‍රවුන්සර්ලා (ආරක්‍ෂක භටයන්) ඔහුට හා මිතුරන්ට ඇතුළට යෑමට ඉඩ නොදුන්හ.

“එහෙනම් උඹලා අපිට යන්න දෙන්නේ නැහැ. අපිත් අනුරාධපුරේ හරිද බලාගමුකෝ. ඉරෝන් ඇතුළු පිරිස එදින ආරක්‍ෂකයන්ට එසේ තර්ජනය කරමින් එතැනින් පිටවූයේ සමාජ ශාලාවට කිසියම් අලාභ හානියක්ද සිදු කරමින්ය.

පසු දින මේ බව එහි හිමිකරු වසන්ත සොයිසාද දැනගත්තේය. ඔහු ඉරෝන් ඇතුළු කණ්ඩායමට එරෙහිව අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කළේ ඉරෝන් සමාජ ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවත් එය වැළැක්වූ තැන හෝටලයට අත්බෝම්බයකින් දමා ගසා ඇති බවත් කියමින්ය.

මේ පැමිණිල්ල ඉරෝන්ටද සැලවිය. වසන්ත සොයිසා බොරු පැමිණිල්ලක් දමා ඇති බව ඉරෝන් සිය මිතුරන්ට කීවේය. සිද්ධිය සම්බන්ධයෙන් තමා කොයි මොහොතේ හෝ පොලිසියට කොටුවනු ඇතැයි සිතූ ඉරෝන් අනුරාධපුරෙන් පලාගියේය. ඒ පලායෑමත් සමඟ ඔහු හමුදාවෙන් පැනගිය සෙබළකු ලෙසද හංවඩු ගැසිණි.

මේ නිසා වසන්ත සොයිසා සිය රාත්‍රි සමාජ ශාලාව කිසිදු කරදරයකින් තොරව පවත්වාගෙන ගිය අතර ඉරෝන් ඇතුළු කණ්ඩායම එහි නොපැමිණීම ඔහුගේ සිතට සැනසුමක්, සතුටක් ගෙන දුන්නේය. එහෙත් වසන්ත සොයිසා ගැන දැඩි වෛරයක් හිතේ තබාගෙන සිටි ඉරෝන් වසන්තට එරෙහිව විවිධාකාර අභියෝග එල්ල කළේය.

මේ අතරතුර වසන්ත සොයිසාට එරෙහිවද පිරිසක් නැඟීසිටියහ. ඒත් වසන්තගේ බලය මැද හිස එසවීමට නොහැකිව සිය ව්‍යාපාර පවත්වාගෙන ගිය අයය. පිරිස අතර සංචාර නිකේතන හෝටල් පවත්වාගෙන යන කිහිපදෙනෙක්ද වූහ. මොවුන් සමඟ සබඳකම් ඇති කර ගැනීමට ඉරෝන්ට මේ නිසා පහසුවිය.

ඔහු දිනක් සිය මුහුණුපොත ගිණුම ඔස්සේ පණිවුඩයක් මුදාහැරියේය.

“දැඩි නිහඬතාවක භූමිකම්පාව - අනුරාධපුර පාතාලය නැවත අලුත් කරනවා. සමාජයට වැරැදි වැඩ කරපු අය අවධාරණයෙන් ඉන්න. ඉක්මනින් බලාපොරොත්තුවන්න.”

කමින්සූන් - ලොකු මල්ලී

මෙම පණිවුඩය කාටත් ගෙන දුන්නේ ප්‍රශ්නයකි. මේ අතරතුර ඉරෝන්ගෙන් සිය මිතුරන්ට හදිසි කැඳවීමක් ලැබිණි. ඒ 2015 ඔක්තෝබර් 24 වැනිදාය.

“මචං මගේ ගාණේ පොඩි පාටියක් දෙනවා... හෝටලේ.. ෆුල් ෆන් එකක් ගමු. කොහොම හරි රෑට සෙට් වෙයන්. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

ඉරෝන් හෙවත් ලොකු මල්ලිගේ පණිවුඩයට අනුව ඔහුගේ මිතුරෝ හවස උදා වෙද්දීම අනුරාධපුරේ නිවාඩු නිකේතනයකට පැමිණියහ. ඊට ඉරෝන්ගේ සොහොයුරාද එක්ව සිටියේය. මත්පැන් මෙන්ම බයිට්වලින්ද සාදය සකසා තිබිණි. රාත්‍රියේ පැවැති සාදය ටිකෙන් ටික උණුසුම් වෙද්දී ඉරෝන් ඇතුළු මිතුරන් කා බී සතුටු වෙමින් හොඳ හැටි සප්පායම් වන්නට වූහ.

“ලොකු මල්ලි... උඹ මොකටද හැංගෙන්නේ? ඇයි උෟට බයටද. උඹ යකෝ එස්.එෆ්. කොල්ලෙක්...”

“උඹ එස්.එෆ්. පොරක්. උඹට ගේමක් දෙන්න උෟට බැහැ. ඇයි අපි තුම්පනේද?”

මෙලෙස නොයෙකුත් දේ කියමින් පදමට වැදුණු මිතුරෝ ඉරෝන් මුරුංගා අත්තේ තබමින් උදම් ඇනූහ.

“උෟ මට නිකම් බෝම්බයක් දැම්මේ

උෟ හිතාගෙන ඇති උෟ චණ්ඩියා කියලා. අපි උගේ ක්ලබ් එකට වැඩක් දෙමු.”

අවසානයේ ඉරෝන්ද සිය මිතුරන්ගේ කීම තහවුරු කරමින් වසන්ත සොයිසාගේ රාත්‍රි සමාජ ශාලාවට වැඩක් දීමට තීරණය කළේය.

රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගත වෙද්දී ඉරෝන් කණ්ඩායමේ නායකත්වය ගත්තේය. ඔහුට සහාය වුණේ නාවික හමුදා සෙබළෙකි. හෝටලයේ කාමරයක තිබූ පොලු කැබලි මිතුරන් අතට පත්විය. එකකු අතේ කුඩා අත් පොරවකි. ඉරෝන් අත කඩුවකි.

“වැඩේ මෙහෙමයි. අපිට ඕන ක්ලබ් එකට ගහනවා මිසක් එතැන මිනිසුන්ට ගහන්න බැහැ. ක්ලබ් එකට ගහලා ඒකේ තියෙන බෝතල් ටිකකුත් අරගෙන එමු. ඉන්න මිනිසුන්ට ගහන්න එපා. එතකොට මේක ලොකු ලෙඩක්”

ඉරෝන්ගේ කීමට කවුරුත් අවනත වූහ.

“කවුරුත් හඳුනාගන්න බැරි වෙන්න යන්න ඕන එකෙක් හරි මාට්ටු වුණොත් ඔක්කොම මාට්ටු”

එසේ කී ඉරෝන් ගෙනැවිත් තිබූ ගෝනි මිතුරන්ට දුන්නේය. ඒ කපා උඩුකය වැසෙන සේ දමා ගැනීමටය. දෙනෙත් වැසෙන සේ රෙදි පටි බැඳගත යුතු වේ. ලොරි රථයක්, මෝටර් රියක්, ත්‍රීවීල් එකක් ගමනට සූදානම් කර තිබිණි. ඒ මත නැඟුණු පිරිස පැමිණි වාහන වසන්ත සොයිසාගේ රාත්‍රි සමාජ ශාලාව අතරමඟ නතර කොට අවි ආයුධ අතැතිව සමාජ ශාලාව වෙත පියවර නැඟූහ.

මෙතැන ඉඳගෙන පටන් ගනිල්ලා”

ලැබුණු විධානයත් සමඟ සමාජ ශාලා පරිශ්‍රයේ නතර කර තිබූ රථවාහන කිහිපයකට පොලුපහර එල්ල විය. ඒවා පොඩි පට්ටම් කරමින් ඇතුළට ගිය පිරිස අතරින් එකකු හෝටලය තුළට පෙට්රල් බෝම්බයක්ද එල්ල කළේය. සමහරු පොලුවලින් සමාජ ශාලාවේ වීදුරු කඩා බිඳ දැමූහ. එකකු මුදල් අයකැමිවරයා රැඳුණු ස්ථානයට ගොස් ඔහුට පහරදී ලාච්චුවේ තිබූ මුදල් සියතට ගත්තේය. පැමිණි අය හෝටලයේ තිබූ මත්පැන් බෝතල් පැහැර ගත්හ. එහෙත් පැමිණි කිසිවකු හෝටලයට පැමිණි පිටස්තරයන්ට පහර දුන්නේ නැත. ඒත් හෝටල් සේවකයන් කිහිපදෙනකු කඩුපහර හා පොලු පහරවලින් තුවාල ලැබූහ.

මේ වනවිට තම හෝටලයේ සිදුවන ක්‍රියාකාරකම් දෙස එහි හිමිකරු වසන්ත සොයිසා ආරක්‍ෂිත කැමරා කාමරයට වී සියල්ල බලා සිටියේය. තම සමාජ ශාලාව කුඩු පට්ටම් කරන පිරිස දුටු ඔහු මහත් කෝපයට පත්ව සිය සේවකයන්ට ඊට මුහුණ දෙන ලෙස කීවද සේවකයෝ ඊට ඉදිරිපත් නොවූහ. ඒ තිබූ බියටය.

අවසානයේ පැමිණි පිරිසට මුහුණ දීමට වසන්ත සොයිසා ඉදිරිපත් විය. සේවකයන් ඔහුට ඉදිරියට යන්නට ඉඩ නොදුන්නද ඒ ගැන නොසැලකූ වසන්ත සොයිසා සටන් බිමට බැස්සේ පැමිණි පිරිසට කරාටේ පහර එල්ල කරමින්ය. කරාටේ පහරින් එකා දෙන්නා ඇද වැටෙද්දී වසන්ත දුටුවේ එකකු පොරොවෙන් හෝටලයට පහර දෙන අයුරුය. වසන්ත වහා ඔහුට පහර දෙන්නට උත්සුක වෙද්දී ඊට කලින් පොරොව ඇති තැනැත්තා ඉස්සර විය. පොරෝ පහර කෑ වසන්ත එතැනම ඇද වැටුණේය. ඒ සමඟම තවත් පොරෝ පහර දෙක තුනක් එල්ල කෙරිණි. ඒ සමඟ පැමිණි සිටි පිරිස සමාජ ශාලා භූමියෙන් පලා ගියහ.

හෝටල් පරිශ්‍රයෙන් පලාගිය ඉරෝන් ඇතුළු පිරිස අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශය බලා පිටත්ව ගොස් පැහැරගෙන ආ මත්පැන් බෝතල්වල රස බැලූහ.

“මචං වසන්තයා මැරුණද දන්නේ නැහැ. කෝකටත් අපි ගමේ ඉන්න නරකයි”

කළ චණ්ඩිකම් ගැන පිරිස උදම් අනද්දී ඉරෝන් සහ සොහොයුරා කොළඹ බලා යෑමට තීරණය කළහ. ගෝලබාලයන් සිය ගෙවල්වලට ගියහ.

සිද්ධිය ඒ මොහෝතේම අනුරාධපුර පොලිසියට දැනගන්නට ලැබිණි.

නිලධාරීහු ඒ රාත්‍රියේම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ. ප්‍රහාරය හෝටල් පරිශ්‍රයේ සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබිණි. හිස හා සිරුරු වැසෙන සේ ගෝනි හා පෝරඋර යොදාගෙන සිටි නිසා පිරිස හඳුනාගැනීමට නොහැකි වූහ. සිද්ධියෙන් ඒ වන විටත් වසන්ත සොයිසා මියගොස් තිබිණි.

පසුදාට පහන්විය. කෝටිපති ව්‍යාපාරිකයකු සමාජශාලා හිමිකරුවකු හා කරාතේ ශූරයකු වන වසන්ත සොයිසාගේ ඝාතනය පිළිබඳ මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් දෙන්නට විය. ඒ සමඟ පැවැත්වූ පරීක්ෂණයේදී වසන්ත සොයිසා ඝාතනයට කලින් ඝාතකයන් රැඳී සිටි හා සාදය පැවැත්වූ හෝටල් හිමියා පොලිසියට සොයාගත හැකි විය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී වසන්ත සොයිසා ඝාතනයට සහභාගි වූ පිරිස හා එය මෙහෙයවූ ඉරෝන්ගේ තොරතුරු හෙළි විය. ඒ සමඟ මාධ්‍ය වාර්තා කළේ වසන්ත සොයිසා ඝාතනයට එස්. එෆ්. ලොක්කා සම්බන්ධ බවත් ඔහු ඒ වන විටත් පැන ගොස් ඇති බවත්ය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඝාතන සැකකරු එස්.එෆ්. ලොක්කා බව කියමින් ඔහුට මහත් ප්‍රසිද්ධියක් දීමත් සමඟ ඉරෝන් රණසිංහ නොහොත් දහයියාගම ලොකු මල්ලී එස්.එෆ්. ලොක්කා නමින් කරළියට පැමිණියේය. පැය විසිහතරක් යන්නට මත්තෙන් වසන්ත සොයිසා ඝාතනයට සම්බන්ධ වූ හයදෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සෙසු අයගේ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.

ඒ අතරතුර මාධ්‍ය තව තවත් තොරතුරු වාර්තා කරමින් සැඟව සිටින එස්.එෆ්. ලොක්කා සහ ඔහුගේ සොහොයුරා විදේශ රටකට පැන යෑමට සූදානම් වන බවද කීවේය. තවත් සමහරු කීවේ ඔහු නගරයේ ඇතැම් වෙළෙඳසල්වලින්  කප්පම් ගන්නා බවය.

මේ අතර එෆ්.එස්. ලොක්කා වටා තවත් පිරිස් එක්වන්නට පටන්ගත් අතර  සමාජ ජාලා වෙබ් අඩවි තුළින් නොයෙකුත් ප්‍රකාශ කරමින් ඔහු කළ කී දේ සාධාරණ කරන්නටද උත්සාහ ගත්තේය. ඔහු කීවේ වසන්ත සොයියාගේ රාත්‍රි සමාජ ශාලාව අනුරාධපුර පූජනීය නගරයෙන් ඉවත් කිරීම ගැන සතුටු වන බවය.

වසන්ත සොයිසා මරන්න කවුරුත් ප්ලෑන් කළේ නැහැ. අනුරාධපුරයෙන් මේක අයින් කරලා දාන්නයි කිව්වේ. අනෙක කිසිම මැර කණ්ඩායමක් අපේ නැහැ. කොන්ද පණ තියෙන පිරිමි තරුණ පිරිසක් මේකට ගියේ.

මම විශේෂ බළකායේ අවුරුදු 10ක් සේවය කළා. යුද්දෙ කළා. රට වෙනුවෙන් සේවය කළා. ඒත් මේ කට්ටිය කරපු දේවලින් හරි ගමනක් යන්න බැරි වුණා. මාධ්‍ය කියනවා මම රට යනවා කියලා. මම මේ රට දාලා කවදාවත් යන්නේ නැහැ. මම අසනීපයෙන් ඉන්නේ. ලබන බදාදා මම පොලිසියට භාර වෙනවා.

‘අනුරාධපුරය හදන්න අපි තමයි නැඟී හිටියේ. ඒ නිසා ක්ලබ් එක අනුරාධපුරයෙන් අයින් වුණා. බුද්ධ ශාසනයටත් වැඩක් වුණා. ඒ ගැන සතුටුයි. ඒ නිසා එල්ලුම් ගහට ගියත් අපි බය නෑ.’

එස්.එෆ්. ලොක්කා එසේ සමාජ ජාලා ඔස්සේ පණිවුඩ දෙමින් සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ නොයෙකුත් පින්තූර හා විස්තර ලබා දෙමින් කාලය ගත කරද්දී ඔහු ගැන අවධානයෙන් සිටි පොලිසිය හලාවත ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

පසුව ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙලෙස බන්ධනාගාරයේ වසරක පමණ කාලයක් රැඳී සිටි එස්.එෆ්. ලොක්කා 2017 පෙබරවාරි 19 වැනිදා ඇප මත පැමිණීමෙන් අනතුරුව ගෝලබාලයන් අනුරාධපුර නගරයේදී ඔහු පිළිගත්තේ රතිඤ්ඤා පත්තු කරමින් කේක් ගෙඩියක් කපා මල්මාලා දමමින් සිය සතුට ප්‍රකාශ කරමිනි.

සමහරු ලොක්කා සමඟ සෙල්ෆි ගැසූහ. වසරක කාලයක් පුරා නිදැල්ලේ සිටි ඔහු ඉන් අනතුරුව අනුරාධපුර හා ඒ අවට සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමට මහත් වෙහෙසක් දැරුවේය. එස්.එෆ්. ලොක්කා කී පමණින් පිරිස ඔහුට මහත් බියක් දැක්වූහ. කප්පම් ගැනීම් පිළිබඳවද තොරතුරු බුද්ධි අංශයට වාර්තා විය. එහෙත් එස්.එෆ්. ලොක්කාට විරුද්ධව පැමිණිලි කිරීමට වෙළෙඳසල් හිමියෝ බියක් දැක්වූහ.

මේ අතර එස්.එෆ්. ලොක්කා සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථයක් පැහැරගෙන ඇති බවට අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට තොරතුරක් ලැබිණි. ඒ බව දැනගත් ප්‍රධාන පොලිස් පරීක්ෂ සංජීව මහතා මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරද්දී හෙළි වූයේ ටියුෂන් ගුරුවරයකු භාවිත කළ සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථය කල්බදු නොගෙවීම නිසා අත්පත් කරගෙන කොළඹට රැගෙන යමින් සිටියදී එස්.එෆ්. ලොක්කා විසින් එම රථය පැහැරගෙන යළි එය අයිතිකරුට භාරදී ඇති බවය. ඒ රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මතය.

මෙලෙස දින පහක් පොලිසියට කට්ටි පනිමින් සිටි එස්.එෆ්. ලොක්කා අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු ඔත්තුවක් මත දහයියාගම ජයන්ති මාවතේ වාහනයකින් ගමන් කරමින් සිටියදී නිලධාරීන්ට කොටුවිය.

සැකකරුට ඒ මොහොතේම මාංචු දැමුණු අතර පසුව ඔහුගේ වාහනය සෝදිසි කිරීමේදී ජීව අත්බෝම්බයක් සොයාගත හැකි විය. ප්‍රශ්න කිරීමෙන් පසු පැහැරගත් ජීප් රථයද ගුරුවරයා විසින් සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වූ අතර සැකකාර එස්.එෆ්. ලොක්කා අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

අනුරාධපුර බන්ධනාගාරයට කොටුවුණු එස්.එෆ්. ලොක්කා ඒ තුළ සිට නොයෙකුත් ජාවාරම්වලට සම්බන්ධ විය. මත්ද්‍රව්‍ය ජාවාරමට ඔහු අත ගැසුවේ බන්ධනාගාරගතව සිටියදීය. සිය ගෝලබාලයන්ට දුරකථන ඇමැතුම් දෙමින් ඔහු මත්කුඩු විකිණීමේ යෙදුණේය.

පාතාල කෙරුමකුට අයත් මත්ද්‍රව්‍යද වැඩි මුදලක් තබාගෙන ගෝලබාලයන් ලවා විකුණුවේ බන්ධනාගාරය තුළ සිටය. එම මුදල් පාතාල කෙරුමාට නොදී සිටීම ලොක්කාට එරෙහිව නැඟුණු එක් චෝදනාවක් විය.

පසුව ඔහු අනුරාධපුරයේ සිට වාරියපොළ බන්ධනාගාරය වෙත මාරු කෙරිණි. වාරියපොළ බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මහා පරිමාණ බ්‍රවුන් ෂුගර් හෙරොයින් ජාවාරමක් හෙළි කර ගැනීමට උතුරු මැද පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ පළාත් වැටලීම් ඒකකයට ලැබුණේ මේ අතරය.

ඒ අනුව එස්.එෆ්. ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු ඇතුළු සිවුදෙනකු වැටලීම් ඒකකයට කොටු විය. ලොක්කාගේ ප්‍රධාන ගෝලයා ළඟ තිබී බ්‍රවුන් ෂුගර් ග්‍රෑම් 124 මිලිග්‍රෑම් 600ක්ද තවත් සැකකරුවන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 125ක්ද සොයා ගැනිණි. කිසිදු ද්‍රව්‍යයක් කලවම් නොකළ එම බ්‍රවුන් ෂුගර්වල වටිනාකම රුපියල් ලක්ෂ 14 ඉක්මවා තිබිණි.

එලෙස වාරියපෙළ හා අනුරාධපුර හිරගෙවල්වල රක්ෂිත බන්ධනාගාර ගතව සිට හෙරොයින් ජාවාරමට අත ගැසූ ඔහු ඉන් යහමින් මුදල් උපයා ගත්තේය. එලෙස වසර දෙකක් සිරගතව සිටි මොහු මෑතකදී ඇප මත නිදහස්ව පැමිණියේය. ඉන් පසු ඔහු කරළියේ පෙනී සිටියේ නැතත් ෆේස්බුක් ගිණුම ඔස්සේ සාද පවත්වමින් දාන මාන දෙමින් උපන්දින සාද පවත්වමින් ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයකු වීමට උත්සාහ කළේය.

ඔහු පෙම්වතියන් කිහිප දෙනකුම ඇසුරු කළේය. ඉන් දෙතුන් දෙනෙක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව රිමාන්ඩ්ගතව සිටින පුද්ගලයන්ගේ බිරින්දෑවරුන්ය. එහෙත් මෙම කාන්තාවන්ගේ සැමියන් ලොක්කාට එරෙහිව වචනයකුදු කතා කළේ නැත.

ලොක්කාට බියෙන් බොහෝ පිරිස් ඔහුට මුදල් දුන්හ. බිය නිසා පොලිසියට පැමිණිලි කරන්නට ඉදිරිපත් නොවූහ. මේ නිසා ලොක්කා නිදැල්ලේ සිටියේය.

ඉකුත් දින ඔහු අනුරාධපුරයට පැමිණියේ ඡන්දය පාවිච්චි කිරීමටය. ඒ වසර දහයකට පසුවය. ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු ඔහු අනුරාධපුරයෙන් පිටත්ව යෑමට සූදානමින් සිටි බව ඔහුගේ පෙම්වතිය පොලිසියට කීවාය. ඇය මේ සම්බන්ධයෙන් සමාජ ජාලාවන්ටද මෙසේ පවසා තිබිණි.

“අයියා මෑතකදී කිසිම නරක වැඩක් කරලා තිබුණේ නැහැ. අයියට අනුරාධපුරේ ඉන්න ආශාවක් තිබුණේ නැහැ.

අනුරාධපුරේ ඉන්න බැහැ. ඡන්දය දාලා යමු කියලා එයා කිව්වා. මේ පාර ඡන්දේ දැම්මේ අවුරුදු 10කට පස්සේ. ඡන්දය දාලා අනුරාධපුරෙන් යන්නයි හිටියේ.”

අනුරාධපුරයෙන් පිටව යන්නට සිටි එස්.එෆ්. ලොක්කා ඡන්දය දා සිය නිවෙසට යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනයට ලක් වූයේ එලෙසය.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඇතුළු තවත් කණ්ඩායම් රැසක් එස්.එෆ්. ලොක්කාගේ ඝාතකයන් සොයා මෙහෙයුම් දියත් කර ඇත.

ඒ ලොක්කා මරා දැමුවේ කවුද? ඒ කාගේ වුවමනාවටද යන්න නිශ්චය ලෙස දැන ගැනීමටය. උතුරු මැද පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, උතුරු මැද දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අනුරාධපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ගීගනගේ, පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් ඇතුළු කණ්ඩායමක් හා නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඒ. විදානගමගේ ඇතුළු කණ්ඩායමක්ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

- මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.