Aug 28

බැසිල්ට පාර්ලිමේන්තු එන්න ඉඩ දී ඉල්ලා අස්වෙන්න සුදානම්


කවුරුන් කෙලෙස මොනවා කිවුවත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම සදහා ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇති බවත් ඒ නිසා කුමන බාධක ආවත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම අහෝසි කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට ජනතාවගේ බහුතරය අකැමැති බවට සමීක්ෂණයකින් හෙළි වුයේ යැයි රාජිත සේනාරත්න මහතා කරන ප්‍රකාශය පට්ටපල් බොරුවක් බවයි. බොරු සමික්ෂණ වාර්තා වලින් ජනතමය යටපත් කළ නොහැකි බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණිමට අවශ්‍ය නම් ඊට ඉඩ ලබා දීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු බොහෝ දෙනෙකු ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින බව ද  පෙන්වා දෙයි.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට ඉඩ නොදෙන බව පවසමින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීම සදහා අද (27) කැදවා තිබු මාධ්‍ය හමුවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. මාධ්‍ය හමුව අද උඩුගම්පොළ කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“පහුගිය මහ මැතිවරණයේ දී අපි ජනතාවගෙන් තුනෙන් දෙකක බලයක් ඉල්ලුවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න. ජනතාව ඒ බලය අපිට දුන්නා. ජනතාව ජනාධිපතිතුමා කෙරෙහිත් අගමැතිතුමා කෙරෙහිත් ඒ විශ්වාසය තැබුවා. දැන් අපි ඒ විශ්වාසය තහවුරු කරන්න ඕන. ඒ නිසයි අපි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න කටයුතු කරගෙන යන්නේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රට ගොඩනගන්න නෙමෙයි. රාජපක්ෂලාගෙන් පළිගන්න. නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක් කළේ. ජනාධිපතිවරණයට තුන් පාරක් ඉල්ලන්න බෑ කියන වගන්තිය ගෙනාවේ මහින්ද මහත්තයා නැවත මේ රටේ ජනාධිපති වෙන එක වළක්වන්න. රාජපක්ෂ පවුලේ කෙනෙක් රටේ නායකයා වෙන එක වළක්වන්න තමයි ද්විත්ව පුරවැසිභාවය පිළිබද නීතිය දැම්මේ. 35 ට වැඩි කළේ නාමල් එයි කියන බයට. යහපාලන ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රාජපක්ෂලා භීතිකාව නිසයි. 19 වන ස්වාධින කොමිෂන් සභා පත් කළා කිවුවට එහෙම එකක් වුණේ නෑ. මේක ගෙනාපු හිටපු ජනාධිපතිවරයාම කිව්වා 19 න් රට අරාජික වුණා කියලා. යහපාලනය කාලේ ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් බෙදීම නිසා රට ඉදිරියට නෙමෙයි ගියේ පසුපසට.

19 කෑලි කෑලි අරගෙන මේක සංශෝධනය කරනවාට වඩා සම්පූර්ණයෙන්ම අහෝසි කරලා එහි ඇතුළත් වුණු තොරතුරු පණත වගේ හොද කාරණා ඇතුළත්ව 20 වන සංශෝධනයක් ඉදිරිපත් කිරීම තමයි අපේ අරමුණ.

ප්‍රශ්නය – රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා කියන්නේ රටේ ජනතාව 19 වන ව්‍යවස්ථාව අහෝසි කරන්න එකග නෑ කියලයි. සමීක්ෂණයකින් එය තහවුරු වූ බව ඔහු කියනවා.

පිළිතුර – ඔය සමීක්ෂණය කරා කියන්නේ හිරාල් ලක්තිලක කියන එජාප හිටපු මන්ත්‍රීවරයෙක්. ඔහු මෛත්‍රීපාලගේ උපදේශකයෙක් විදිහටත් හිටියා. හොර සමීක්ෂණ අපිට වැඩක් නෑ. මේ රටේ ජනතාව 19 අහෝසි කරන්න අපිට මහ මැතිවරණයේ දී බලය දුන්නා. හැමදාම රාජිත කළේ මේ රටේ ජනතාව බොරු කියලා රවට්ටපු එක. ඒකම තමයි ආයෙත් කරන්න හදන්නේ. ඔය වගේ බොරු බේගල් වලට රටේ ජනතාව ආපහු රැවටෙන්නේ නෑ. 19 න් රට අරාජික වුණා කියලා මුළු රටම පිළීගන්නවා. රාජිතලාට ඕන 19 තියාගෙන ජනාධිපති අගමැති අතර අර්බුදයක් හදලා රට අරාජික කරන්න. ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත්, අපේ ආණ්ඩුවවත් රාජිතලාගේ ගැට වලට අහුවෙන්නේ නෑ. අපි 19 සම්පූර්ණයෙන්ම අහෝසි කරනවාමයි. 20 වන සංශෝධනය කඩිනමින් ගේනවා. මම නම් කියන්නේ රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉක්මණින් ගෙන ආ යුතු බවයි”.

ප්‍රශ්නය –  මොන විදිහේ ව්‍යවස්ථාවක් ද ආණ්ඩුව ගේන්න හදන්නේ?

පිලිතුර – රටට වැඩ කරන්න පුළුවන් රටේ ජනතාවගේ අයිතිය සුරක්ෂිත කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි ගේනවා. 19 නිසා රටේ ජනාධිපතිට තීන්දු ගන්න බෑ. අගමැතිට තීන්දු ගන්න බෑ. පාර්ලිමේන්තුවට තීන්දු ගන්න බෑ. ඒ ව්‍යාකූලත්වය නැති කරලා එක නීතියක් තියෙන එක රටක් හදන එක තමයි අපේ අරමුණ.

ප්‍රශ්නය – 19 අහෝසි කරන්න හදන්නේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන්න පාර කපන්න කියලයි විපක්ෂය කියන්නේ. ඇමෙරිකන් පුරවැසියෙක් අගමැති කරන්න හදනවා කියලයි ඔවුන් කියන්නේ.

පිලිතුර – සිංගප්පුරු පුරවැසියෙක් රටේ ආර්ථික මර්මස්ථානයකය ප්‍රධානියා කරලා මහ දවල් මහ බැංකුව මංකොල්ල කන්න පාර කපපු උදවිය තමයි මෙහෙම කියන්නේ. පහුගිය මැතිවරණයේ දී ගෝඨාභය මහත්තයා ඇමෙරිකන්කාරයා කියලා කිව්වා. ඒත් අද මේ රටට ආදරයෙන් වැඩ කරන්නේ කවුද කියලා මේ මුළු රටම දන්නවා. බැසිල් මහත්තයාට පාර්ලිමේන්තු එන්න අවශ්‍යනම් එතුමාට ඒකට කිසිදු බාධාවක් නෑ. ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍ය නෑ බැසිල් ඇමතිතුමාව ගේන්න. එතුමාට තියෙන්නේ ඇමෙරිකන් පුරවැසිභාවය අහෝසි කරගෙන පාර්ලිමේන්තුවට එන්න. එතුමා තමයි මේ පක්ෂය හැදුවේ. එතුමා තමයි පක්ෂය ජයග්‍රහණය කළේ. එතුමා නිසා තමයි ගෝඨාභය මහත්තයා රටේ ජනාධිපති වෙන්නේ. අපි බොහෝ දෙනෙක් කැමතියි බැසිල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට එනවනම්. එතුමාට ඕනනම් මැතිවරණයටත් ඉදිරිපත් වෙන්න තිබුණා. නමුත් බැසිල් ඇමතිතුමා බලලෝභියෙක් නෙමෙයි. එතුමාට චෝදනාවක් තිබුණා මහින්ද මහත්තයා පැරදුණේ එතුමා හින්දා කියලා. ඒ නිසා නැවත මහින්ද දිනවීමේ ඕනෑකමක් එතුමාට තිබුණා. එක රාජපක්ෂ කෙනෙක් වළක්වන්න ගිහින් රාජපක්ෂවරු 05 දෙනෙක් ජනතා ආශීර්වාදයෙන් අද බලයට ඇවිත් තියෙනවා. 04 දෙනෙක් පාර්ලිමේන්තුවට ඇවිත් තියෙනවා. ඒක ජනතා කැමැත්ත. බැසිල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට එනවානම් පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙලා ඒකට අවස්ථාව දෙන්න ඕන තරම් අය අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඉන්නවා. ඒ හින්දා.

ප්‍රශ්නය –  ඔබතුමාලා මේ යන්නේ ඒකාධිපතිතත්ත්වයකට ද?

පිලිතුර – හැමදාම විපක්ෂය කියවපු මන්තරේ ඕකනේ. රටේ නියම ඒකාධිපතිවාදය තිබුණේ යහපාලන කාලයේ ද දැන් ද කියන එක රටේ ජනතාවට හොදට තේරේනවා. මංකොල්ලකාරයෝ, හොර බොරු කාරයෝ ආණ්ඩුවට එරෙහිව බිල්ලෙක් මවන්න හැදුවට මේ රටේ ජනතාව ඒකට රැවටෙන්නේ නෑ. මේ රටේ ජනතාව අන්දන්න බෑ කියලා විපක්ෂය දැන්වත් තේරුම් ගත යුතුයි.

– ප්‍රදීප් අනුර කුමාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.