Aug 18

නැගණිය බේරාගන්න ගිය මස්සිනා බොල්ගොඩ ගගේ මාරයා බිලිගත් සිද්ධියේ සුල මුල


දිවි ගංගාවක් බොල්ගොඩ ගඟට දිය විය. පුංචි දරු පවුලක් අකාලයේ තනි විය. ඒ අකල් වියෝවය ඇසූ, දුටු සියලූ හදවත් කම්පනයට පත් වූවා නිසැකය. ඒ කඳුළු කතාවේ ඇතුළාන්තය සොයාගෙන පසුගිය 12 වැනිදා හැන්දෑ යාමයේ රයිගම බැල්ලන්තුඩාවේ ගැමුණු මාවතට අප යන විටත් ගං දියේ දිය වී ගිය තරිඳුගේ දේහය නිවසට ගෙනැවිත් නොතිබිණි. එහෙත් ඔහුගේ නිවස එකම අඳෝනාවකි. තැන, තැන අසුන්වලට බර දුන් කාන්තාවෝ විලාප දෙති. මුහුණ සඟවා ගත් පිරිමි ඉකිබිඳිති. දුක කඳුළු කරන මිනිසුන් දෙස අපි බලා සිටිමු.

‘අනේ... මම තමයි පුතාට නංගිව බලන්න යන්න කිව්වේ... මෙහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ...’ තලත්තෑනි මවක් හිස බදාගෙන විලාප දෙන හඬ මගේ දෙසවනේ දෝංකාර දෙන්නට විය. අපි ඇය අසලට ගියෙමු.

 ‘‘නැති වෙලා ඉන්නෙ මගෙ පුතා. එයා බේරගන්න ගියෙ මගේ අක්කගෙ දුවගේ ජීවිතේ... මම තමයි පුතාට කිව්වේ නංගි බොල්ගොඩ පාළම ළඟ ඉන්නවා කියනවා බලන්න කියලා. ‘වැඩට යන්න පරක්කු වෙනවා දැන් ඕවෑ ඇවිදින්න බෑ. අම්මා ගිහිල්ලා බලන්න’ කියලත් පුතා කිව්වා. ඊට පස්සෙ මම ත‍්‍රීවීල් එකක් හයර් කරගෙන කෙල්ලව හොයාගෙන බොල්ගොඩ පාළම දිහාවට ගියා. බණ්ඩාරගම පොලිසිය ආසන්නයට එනකොට මගේ ෆෝන් එකට පොලිසියෙන් කතා කරලා තරිඳු කියන්නෙ ඔයාගෙ කවුද කියලා ඇහුවා. ‘ඒ මගේ පුතා’ කියලා කිව්වම දැන් ඔයා කොහේද ඉන්නෙ, ඉක්මනට බොල්ගොඩ පාළම ළඟට එන්න කියලා ෆෝන් එක කට් කළා. මම පාළම ළඟට යනකොට සෙනඟ ගොඩක් පිරිලා හිටියා. අක්කගෙ දුවත්, මගේ පුතත් පේන්න හිටියෙ නෑ. පුතාගේ බයිසිකලය පාර මැද තිබුණා. දරුවන්ට මොකද වුණේ කියලා මම කෑගහනකොට පොලිසියෙන් කිව්වා දෙන්නවම හොස්පිට්ල් එකට අරගෙන ගියා කියලා. පුතාලගේ තාත්තා ආවාම තමයි පුතා වතුරේ බව කියලා තිබුණේ...’’

 ‘‘වැඩට යන්න පරක්කු වෙනවා කිව්ව පුතාට, නංගි ගැන දුක හිතිලා මටත් කලින් එයා පාලම ළඟට ගිහින්. පුතා පාළම ළඟට යනකොටම තමයි, දුව ගඟට පැනලා තියෙන්නෙ. පුතා එතැනට ගිය හැටියේම මෝටර් සයිකලය පැත්තකට දාලා නංගිව බේරගන්න ගඟට පැනලා. කොහොමහරි පුතා කෙල්ලව අල්ලගෙන. එයලාව බේරගන්න ආපු ඔරුවකට නංගිව දීලත් තියෙනවා. ඒත් පුතාගේ අතට ඔරු කඳ අහුවෙලා නෑ. සැඩ පාරට පුතා යට ගිහින්. නැවත උඩ ඇවිත් නෑ. දිය වැලකට කොටු වෙන්න ඇති. අනේ මගේ කොල්ලා ජීවිතයක් බේරගෙන එයා නැති වුණා...’’ ඇයගේ මුව නැවත හැඩිණි. එහෙත් තඩිස්සි මුහුණට බේරෙන්න දෙනෙත්වල කඳුළු නැත. ඇය නැවත හඬ අවදි කරන තෙක් අපි බලා සිටිමු.

හේ නාමලීය. තිදරු මවකි. ඇයගේ බඩපිස්සා තරිඳුය. තරිඳුට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටිති. තෙල්ගේ තරිඳු මධුසංඛ පීරිස්ට වයස අවුරුදු විසිඅටකි. එක්දරු පියෙකි. පුංචි දියණියට තවම වයස අවුරුදු දෙකහමාරකි. තරිඳුගේ බිරිඳට වයස අවුරුදු විසිහයකි. තරිඳු රැකියාව කළේ වරාය අධිකාරියේය. ඔහුගේ බිරිඳ පුංචි දියණිය බලාගෙන ගේ දොර වැඩපල කරගෙන සිටින්නීය. ඇයගේ පපුවේ දැවෙන වේදනාව වචන කිරීමට සිහියක් නැති ගානය. උස් හඬින් විලාප දෙන්නීය. විටෙක බලාගත් අත බලාගෙන කොඳුරන්නීය. වියෝ වේදනාවෙන් කම්පනයට පත්ව සිටින ඇයට කතා කිරීමට මගේ හිත ඉඩ නොදුන්නෙමි.

 ‘‘මගේ අක්කට කතා කරන්න බෑ. පුංචි කාලෙ ඉඳලා අක්කගෙ දුවයි, පුතාවයි බලා කියා ගත්තෙ මම. පුතා කසාද බැඳලා පාඩුවේ ජීවත් වෙනවා. දුව හොරණ ගාමන්ට් එකක වැඩට ගියා. ඒ ගාමන්ට් එකේ වැඩ කරපු බලන්ගොඩ කොල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. ඒ සම්බන්ධය ගැනත් කෙල්ල මට කිව්වා. ඊට පස්සෙ අපි කොල්ලගෙ ගෙදර අයට එන්න කියලා, අපිත් ඒ කොල්ලගෙ ගෙදරට ගියා. වැඩි දුරටත් විපරම් කරලා බලනකොට ඒ කොල්ලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් කියලා දැනගන්න ලැබුණා. ඒක දැනගත්තට පස්සෙ දුවත් අකැමැති වුණා. ඊට පස්සෙ මම ඒ කොල්ලට කතා කරලා ‘අපි මේ සම්බන්ධයට කැමති නෑ... දුවත් කැමති නෑ...’ කියලා කිව්වා. ඒ සම්බන්ධය නතර වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා...’’ නාමලී අම්මා නැවත කතා කරන්නීය.

 ‘‘මාස හය, හතකට උඩදි දුව ගාමන්ට් එකේම වැඩ කරන තවත් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. ඒ ළමයා බොහෝම තැන්පත්. දෙමවුපියොත් ගුණයහපත්. ඒ දරුවගේ අම්මලා තාත්තලා එක්ක කතා බහා කරගෙන දෙන්නව කසාද බන්දවන්න තීන්දු කරගෙන හිටියේ. ඒ විත්තිය අර කොල්ලා දැනගෙන මේ කොල්ලාගේ ෆෝන් එකට දුවගේ එක, එක ෆෝටො එවලා ‘මෙයා හොඳ නෑ. මමත් කාලයක් යාළු වෙලා ඉඳලා අතහැර දැම්මා’ කියලා නොසෑහෙන්න කෙල්ලට අපහාස කරලා තිබුණා...’’

 තිරිසන් පේ‍්‍රමවන්තයෙක් නිසා අසරණ වූ ඇයගේ දියණිය තිලිණි මධුෂාණිය. වයස අවුරුදු විසිහතරකි. විසේකාර වයසකි. ඇයට වැඩිමහල් සහෝදරයෙකි. ඔහු කසාද බැඳ දරුවෙක් ද සිටී. තිළිණිගේ පියා රත්මලාන ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක සේවය කරන්නේය. අම්මට කතා කිරීමට නොහැකිය. ඇයගේ ජීවිතේ හැම දෙයක්ම පවසා ඇත්තේ පුංචිටය. තරිඳුගේ මවටය. බොල්ගොඩ ගඟට පැන ජීවිතය නැති කරගන්නා බව ද දැනුම් දී ඇත්තේ තරිඳුගේ මවටය.

 තරිඳුට මේ ඉරණම අත් වූයේ ඔහුගේ වරදකින් නොවේ. තවත් ජීවිතයක් මරණයෙන් ගලවාගැනීමට දැරූ වෑයමේ ප‍්‍රතිඵලයකිනි. ඔහුගේ උත්සාහය සාර්ථකය. නැඟණිය ගං දියෙන් එගොඩ කළේය. ඇය මේ වන විටත් පානදුර රජයේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නීය. ඇයට දැන් සනීපය. එහෙත් මරණයෙන් ගලවාගත් සහෝදරයා ගැන මතකයට නැෙඟන සෑම මොහොතකම ඇය සිතින් විඳවන්නීය.

 ‘අනේ එදා මම ගඟට නොපැන්නා නම් අදත් අයියා ජීවතුන් අතර නේ...’ ඇයට සිතෙන්නීය. එහෙත් මේ ඛේදවාචකයේදී ඒ තරුණිය ද අසරණය. තම අතිශය පෞද්ගලික ඡායාරූපයක් කසාද බඳින්න ඉන්න තරුණායාට දකින්නට ලැබීමේ ආරංචියම තරුණියක් විස්සෝපයට පත් කරවන පුවතකි.

 ‘දැන් මගේ ෆෝටො ටික අර තිරිසනා ෆේස්බුක් එකටත් දායි. වෙබ් සයිඞ්වල යයි. හැමෝම දකී. ගෙදර මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ කොහොමද? පාරෙ බැහැලා යන්නෙ කොහොමද...’ ගැටලූ වැළකින් මනස විකාරයක් බවට පත් වූ විට, ප‍්‍රශ්නවලින් පැන යෑමට ඇතැම්හු සියදිවි නසාගැනීමට තැත් කරති. තිළිණිගේ මොළේ විකාර වූයේ ද ඒ ගැටලූ වැල මනසේ හොල්මන් කරන විටය. විස්සෝපයෙන් පැමිණි ඇය මේ භවයෙන් බලහත්කාරයෙන් සමුගෙන යෑමට තීරණය කර තිබුණේ ද කලින් පෙම්වතා ඇයගේ අනවශ්‍ය ඡායාරූප කසාද බැඳීමට තීන්දු කර සිටින පෙම්වතාට දකින්නට සැලැස්වීමේ කම්පනයෙනි.

 ‘‘මේ ගෑනු ළමයා මල් ටිකක් අරගෙන පාළම ළඟ තුන් බෝධියට යනවා මිනිස්සු දැකලා තියෙනවා. බෝධිය ඇතුළට ගිහින් වැඳලා ඇවිත් පාළම හරි මැදට ගිහින් තමයි ගඟට පැනලා තියෙන්නෙ. දෙන්නෙක් ගඟට පැන්නා කියලා කෑගැහිල්ල ඇහුණ හැටියේ මම ඔරුව පැදගෙන ගඟ මැදට ගියා. ඒ යනකොට ගෑනු ළමයා මරු විකල්ලෙන් අත, පය ගහලා දඟල, දඟල හිටියා. මම කෙල්ලව ඇඳලා අරගෙන ඔරුවට දා ගත්තා ‘මාව නෙමෙයි අයියව බේරගන්න... අයියට දරුවෙකුත් ඉන්නවා. අනේ අයියව බේරගන්න...’ කියලා කෙල්ල කෑගැහුවා. ඒත් මම කොල්ලව දැක්කෙ නෑ. එතකොටත් කොල්ලා වතුර යට ගිහින්...’’ ඔහු කමල් පේ‍්‍රමකුමාරය. වයස අවුරුදු පනස් එකකි. තුන්බෝධිය පාළම අසල පදිංචිකරුවෙකි. ඔහුට බොල්ගොඩ ගඟ මිතුරුය. ගෙඟ් ගිලෙන්න ගිය ජීවිත පහළොවකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට බේරාගෙන ඇති බව ඔහු අපට පැවසීය. එහෙත් අවාසනාවට තරිඳුගේ ජීවිතය බේරාගැනීමට ඔහුට නොහැකි විය.

 ‘‘පුතාව හොයාගන්න පොලිසිය ඉක්මන් වුණේ නෑ. බණ්ඩාරගම පොලිසියෙන් අපිට කිව්වා නේවි එකට දැනුම් දුන්නා, දැන් එයි කියලා. ඒත් සිද්ධිය වෙලා පැය හතරක්, පහක් යනකොටත් නේවි එකෙන් ආවේ නෑ. හවස 3.30 විතර වෙනකම් බලාගෙන ඉඳලා බැරිම තැන පොලිසියට කතා කරලා ‘ඇයි අපිට මෙහෙම කරන්නෙ... මගේ පුතා තාම වතුරේ. අපිට එයාව ගොඩට අරගෙන දෙන්න’ කියලා පොලිස් නිලධාරීන් ඉදිරියේ හඬා වැළපුණා...’’

 ‘අපි කිව්වද ගඟට පනින්න’ කියලා පොලිසිය නොසෑහෙන්න අපිට බැන්නා. නේවි එකට එන්න මෙහෙන් වාහනයක් යවන්න ඕනෙ කියලත් පොලිසිය අපිට කිව්වා. ඊට පස්සෙ අපි දන්න කෙනෙක් මාර්ගයෙන් නේවි එකට කතා කරලා බලනකොට එහෙම සිද්ධියක් ගැන බණ්ඩාරගම පොලිසිය දැනුවත් කරලා නෑ කියලා තිබුණා. පස්සෙ පුතලාගේ තාත්තා අඳුරන රත්නපුරේ නිවිතිගල මැණික් මුදලාලි කෙනෙකුට කතා කරලා උදව් ඉල්ලූවා. ඒ මහත්තයා රත්නපුරේ ඉඳලා පීන්නන පුලූවන් කිහිපදෙනෙක් එක්ක පිහිණුම් කට්ටල අරගෙන ඇවිත්, බෝට්ටුවක් සල්ලිවලට අරගෙන තමයි ගඟට බැස්සෙ. පැයකට වැඩි කාලයක් හොයල, හොයලා තමයි පුතාව ගොඩට ගෙනාවේ. පුතාව ගොඩට ගන්නකොට වේලාව හවස 6.10 යි. පුතාලා ගඟට පැනලා තිබුණේ උදේ 10.30 ට විතර...

 ‘‘දැන් පොලිසිය මාධ්‍යයට කියනවා එයලා නාවික හමුදාව ගෙනත් පුතාව ගොඩට ගත්තා කියලා. ඒක අමූලික බොරුවක්. මගේ පුතාව වතුරෙන් ගොඩට ගන්න පොලිසිය අපිට කිසිම උපකාරයක් කළේ නෑ. පුතාව ගොඩට ගත්තට පස්සෙ පොලිසිය ඇවිත් ‘මිනිය අල්ලන්න එපා...’ කියලා මාධ්‍ය ඉදිරියේ ලොකු රඟපෑමක් කළා...’’ නාමලීගේ හීන් හඬ මැකී ගියාය. පොලිසියේ රඟපෑම දැන් සමාජයට විහිළුවකි. ඒ ගැන කතා කිරීමට වචන නාස්ති කිරීම ද අවැඩකි.

 පෙළගැසෙන පේ‍්‍රම වෘතාන්තයේ දුෂ්ටයා තිළිණි ආදරය කළ බළන්ගොඩ කාමාතුර පෙම්වතාය. තහංචි, බාධකවලින් ගිලිහුණු ආදරණීය දෙහදක් පේ‍්‍රමය විඳීම සාමාන්‍යයකි. එහෙත් පේ‍්‍රමයේ අනන්තයේදී රූපගත කිරීම, ජායාරූපගත කිරීම ව්‍යාධියකි. අසහනයකි. යම් හේතුවක් මත පේ‍්‍රමය බිඳුණු පසු එම ඡායාරූප, වීඩියෝ පට පෙම්වතියට අපහාස කිරීමට ආයුධයක් කර ගන්නේ නම් ඒ පෙම්වතා අමනයෙකි. තිරිසනෙකි. තිළිණිගේ ඡායාරූප ඇය කසාද බැඳීමට තීන්දු කර සිටි පෙම්වතාට දකින්නට සැලැස් වූ බළන්ගොඩ පෙම්වතා අපතයෙකි. ඒ අමනයා කළ වරදින් තරුණ ජීවිතයක් බොල්ගොඩ ගඟට දිය විය. තරුණ බිරියකට ස්වාමියා අහිමි විය. සිඟිති දියණියකට පියා අහිමි විය. පූරුවේ වාසනාවකට තිළිණිගේ ජීවිතය බේරුණද සහෝදරයාගේ මිය යෑම සිහිපත් වන සෑම මොහොතකම ඇය හදවතින් දැවෙන්නීය. එහෙයින් බළන්ගොඩ පේ‍්‍රමාතුර තිරිසනා කළ වරද සුළු පටු නොවේ. එම උන්මත්තක අපතයාට දඬුවම් කිරීම නීතියට භාර රාජකාරියකි.

 මළහිරු බැස ගොස් ඈත කඳු අතරින් අඳුර බේරෙන්නට විය. තරිඳු නිවසට පැමිණෙන්නට තවත් හෝරාවකට වැඩි කාලයක් නැත. එහෙත් අද තරිඳු නිවසට පැමිණෙන්නේ වෙනදා මෙන් සිඟිති දියණිය සමඟ හුරතල් වෙන්නට නොවේ, නොඅවදිවෙන නින්දකය. මේ ආත්මයේදී ඔහු ලැබූ දුර්ලභ මනුෂ්‍ය රූපය ඥාතීන්ට පෙන්නා පහුවදා හැන්දෑවේ මෙලොවින් සමුගෙන යෑමේ බලාපොරොත්තුවෙනි...

 තරංග රත්නවීර - ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.