Jul 04

ශේෂාද්‍රිගේ අලුත් පෙම්වතා ගැන කටකතා ඇත්ත වුණ හැටි


කොහොමද ශේෂාද්‍රි. පසුගිය දවස්වල ලොකු නිවාඩුවක් ගත කළා නේද?

ඔව්. අපි හැමෝටම ලොකු නිවාඩුවක් හම්බවුණානේ. සෑහෙන කාලයකට පස්සේ ගෙදර හැමෝම එක්ක එකට ඉන්න ලැබුණා. එකම ගෙදර හිටියට සමහර දවස්වලට අක්කිව (දිනක්ෂි), නංගිව (ශනුද්‍රි) දකින්නවත් ලැබෙන්නේ නැති දවස් තියෙනවනේ. මොකද එයාලා උදේ ගියාම ආයෙත් රෑ වෙනවනේ ගෙදර එන්න. ඉතින් කාලයකට පස්සේ ගෙදර හැමෝම එක්ක එකට ඉන්න, ඇති වෙනකල් එයාලව දකින්න පුළුවන් වුණා. මේ වගේ පවුලේ අය එක්කම ඉන්න ලැබීම හොඳ අවස්ථාවක්.

පසුගිය කාලේ ශේෂාද්‍රි හඬකැවීම් කටයුතුවලටත් එකතු වුණානේ. දැන් හඬකැවීම් පැත්තෙන් අලුත් යමක් වෙන්නේ නැද්ද?

ඇඳිරි නීතිය දාන්න කලින් මම හඬකැවීම්වලට එකතු වුණ නිර්මාණයේ වැඩ ඉවර වුණා. දැන් ඒ නිර්මාණයත් අවසන්. ආයෙත් අලුත් දෙයකට සම්බන්ධ වෙන්න ලැබුණොත් සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සිනමා රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයන්ට මුණගැහුණ ශේෂාද්‍රි පසුගිය කාලේ රංගනයෙන් නිහඬවෙලා හිටියනේ. ආයෙත් රංගනයට එකතු වෙන්න අදහසක් තියෙනවද?

ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මම මීට කලින් චිත්‍රපටවලටනේ සම්බන්ධ වුණේ. ටෙලි නාට්‍යවලට මම සම්බන්ධ වෙලා තිබ්බේ නෑනේ. ඒත් මට ආදරය කරන ප්‍රේක්ෂකයන් කියනවා මාව ටෙලි නාට්‍යවලිනුත් දකින්න ආසයි කියලා. කොටස් ගණන අඩු, හොඳ අධ්‍යක්ෂවරයකුගේ හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙන අදහසක් තියෙනවා. චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි කොරෝනා ප්‍රශ්නය නිසා ඒ නිර්මාණවල කටයුතු කල් ගියා. මේ ප්‍රශ්නකාරී තත්ත්වය ඉවර වුණ ගමන් වැඩ පටන් ගනියි.

රංගනයෙන් ඈත් වෙලා හිටියට ශේෂාද්‍රිව ප්‍රේක්ෂකයන් අමතක කරලා නෑ නේද?

ඇත්තටම ඒක ආශිර්වාදයක් වගේ දැනෙන්නේ. මට ලැබුණ ආදරය  ඒ විදිහටම ලැබෙනවා. මාව චිත්‍රපටයකින් හෝ ටෙලි නාට්‍යයකින් දකින්න ආසාවෙන් ඉන්න ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. මට ලැබුණ ප්‍රේක්ෂක ආදරය අදටත් ඒ විදිහටම ලැබීම ගැන සතුටක් තියෙන්නේ.

ඔබේ පවුල කලා පවුලක්. හැමෝම එකම නිර්මාණයකින් මුණගැහෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

මමයි - තාත්තයි,  නංගියි - මමයි,  අක්කයි - තාත්තයි නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. අපි හැමෝටම ගැළපෙන හොඳ වැඩක් කෙරුණොත් එකට සම්බන්ධ වෙන්න අකැමැත්තක් නැහැ. හැමෝම එකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා ආවට ගියාට දෙයකට සම්බන්ධ වෙන්නත් බෑනේ.

රංගනයෙන් ඈත්වෙලා හිටපු කාලේ අක්කයි, නංගියි ශේෂාද්‍රිට එළියට එන්න බල කළේ නැද්ද?

රංගනයට එන්න කියලා එයාලත් කිව්වා. හැබැයි මට ඕන වෙලා තිබ්බේ  ඉගෙනීම් කටයුතු සම්පූර්ණ කරන්න. මම අවුරුදු දෙකක් එකදිගට මගේ පාඨමාලාව වෙනුවෙන් ෆුල්ටයිම් යොමු වෙලා හිටියේ. පූර්ව ළමාවිය අධ්‍යයනය  සම්බන්ධයෙන් තමයි මම හැදෑරීම් කළේ. අධ්‍යයන කටයුතුවලට යොමු වෙලා හිටපු නිසා රංගනයෙන් අෑත් වෙලා ඉන්න වුණ එක ගැන පසුතැවුණේ නැහැ.

ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න අදහසක් තියෙනවද?

පූර්ව ළමාවිය අධ්‍යයනය ගැන ඉගෙන ගත් නිසා පූර්ව ළමාවියට සම්බන්ධ මගේම පාසලක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා. හැබැයි මම හැම දේ ගැනම ලොකුවට හීන දකින්නේ නැහැ. පාසලක් පටන් ගන්නත් මුදල් අවශ්‍යයිනේ. ඒ අවශ්‍ය පසුබිම හදාගන්න තමයි දැන් මම සැලසුම් කරගෙන ඉන්නේ. ඒ සැලසුම්වලට යන්න දැන් වැඩ කරන්න ඕනේ. අත්දැකීම් එකතු කරගෙන පුළුවන් වුණු දවසක මගේම පාසලක් පටන් ගන්නවා. දැන් මම පෞද්ගලික ආයතනයක ඉගැන්වීම් කටයුතු කරනවා.

ශේෂාද්‍රිගේ ජීවිතේ නැති වෙච්ච දේවල් ගැන අද මොකද හිතෙන්නේ?

මම විශ්වාස කරන දේ තමයි අපේ ජීවිතයේ සතුට වගේම දුක කියන දෙකම තියෙනවනේ. මම මගේ ජීවිතයේ වෙච්ච දේවල් සහ වෙන දේවල් එක්ක තෘප්තිමත්. නොලැබුණ දේවල් ගැන තැවි තැවී දුක් වෙවී ඉන්න කෙනෙක් නෙවෙයි මම. ඒ ගැන හිත හිත අඬන්නෙත් නැහැ. හෙට දවස අලුත් දවසක් කියලා හිතලා මම නැඟිටින්නේ. මට ලොකු බලාපොරොත්තු, හීන නැහැ. හොඳම නිළිය, ජනප්‍රිය නිළිය වෙනවා. අර දේ, මේ දේ කරනවා කියලා ලොකු බලාපොරොත්තු නැහැ. හැබැයි කරන දේ හරියට කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මම මගේ ජීවිතය ගැන තෘප්තිමත්.

ශේෂාද්‍රි ලොකු බලාපොරොත්තු තියාගන්නේ නැත්තේ ජීවිතේ වෙච්ච දේවල් එක්කද?

මගේ ජීවිතේ වෙච්ච දේවල් මගේ ජීවිතේ ඉගෙන ගත්ත දේවල්, එක්ක මම වෙනස් වුණා. මම පාසල් යන කාලේ ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු කෙනෙක්. ඒ ඒ අවුරුද්දේ කරන දේවල් මම සැලසුම් කරගෙන හිටියා. අවුරුදු 20දී මේ දේ කරනවා, අවුරුදු 22දී මේ දේ කරනවා, 25දී විවාහ වෙනවා වගේ දේවල් තීරණය කරලා තිබ්බේ. හැබැයි මම ජීවිතයට ප්‍රශ්නයක් ආවොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතුවේ නැහැ. මම හිතුවා ජීවිතයට ලැබෙන්නේ සතුටු හිතෙන දේවල් විතරයි කියලා. මම අවුරුදු පහක් විතර නිහඬව හිටියා. ඒ කාලේ මට අලුත් යාළුවෝ හම්බවුණා. එයාලා මට වඩා බාලයි. ඉතින් මම මගේ අත්දැකීම්වලින් එයාලට උපදෙස් දුන්නා. මම ජීවිතේ තේරුම් ගත්ත දේවල් එක්ක තමයි ලොකු බලාපොරොත්තු තියාගන්නේ නැති තැනට ආවේ.

දැන් ශේෂාද්‍රිගේ ජීවිතේ විශේෂ කෙනෙක් ඉන්නවා නේද? කවුද කියලා කියමු?

එයා ක්‍රිෂාන් පෙරේරා.

ශේෂාද්‍රිගේ අක්කා (දිනක්ෂි) මේ කපුකම කළා කියන්නේ ඇත්තද?

ක්‍රිෂානුයි මගේ අක්කියි හොඳ යාළුවෝ. අක්කි මට කිව්වා ක්‍රිෂාන් එක්ක කතා කරලා බලන්න කියලා. ක්‍රිෂාන්ටත් කියලා මාත් එක්ක කතා කරලා බලන්න කියලා. ඊට පස්සේ තමයි අපි දෙන්නා කතාබහ කරලා බැලුවේ.

එහෙමනම් ශේෂාද්‍රිගෙයි ක්‍රිෂාන්ගෙයි ආදර කතාවට මුල ඉඳලම පවුලේ සහාය ලැබෙන්න ඇති?

ක්‍රිෂාන්ව දන්න නිසා අපේ සම්බන්ධයට පවුලෙන් කැමැත්ත ලැබුණා. ක්‍රිෂාන් අපේ පවුලේ හැමෝම ආශ්‍රය කරන්නේ එයාගේ පවුලේ අය වගේම කියලා හිතලා. එයා හැමවෙලාවෙම මට කියන්නේ පවුලට මුලින්ම ආදරය කරන්න ඕනේ කියලා. පවුලට ගෞරව කරන්න කියලා එයා කියන්නේ. මොකද තමන්ගේ පවුලේ අය තමයි අපිට මුලින්ම ලැබුණේ. අපේ පවුල ඇතුළේ තිබ්බ ආදරය එයත් ඒ විදිහටම ආරක්ෂා කරනවා.

ක්‍රිෂාන්ගේ පවුලේ අයත් ශේෂාද්‍රිට ඒ වගේම සමීපද?

ක්‍රිෂාන්ගේ නංගියි මමයි එකම ඉස්කෝලේ ඉගෙන ගත්තේ. අපේ පවුල් කාලයක් තිස්සේ හඳුනනවා. ක්‍රිෂාන්ගේ අම්මයි තාත්තයි මට ආදරෙයි. ඔවුන් මට අකැමැති වුණේ නැහැ.

මෙදා සැරේ ඔබේ තෝරා ගැනීම හොඳම තෝරා ගැනීම කියලා හිතනවද?

අපි හැමදාම ජීවිතයේ තෝරා ගන්න දේවල් තියෙනවනේ. ඒ තෝරා ගන්න දේවල් තමයි හොඳම තෝරා ගැනීම කියලා අපි විශ්වාස කරන්නේ. අපි ඒ තුළ යන ගමනේදී සිදුවන දේවල්, සැලසුම් කරගන්න දේවල් සහ යම් යම් දේවල් කළමනාකරණය කරගන්න විදිහ එක්ක තමයි ගත්ත තීරණය හොඳද නරකද කියලා තීරණය කරන්න පුළුවන්. ක්‍රිෂාන්ගේ මම දැක්ක ලොකුම දේ තමයි ඔහු ජීවිතය ගැන හොඳට තේරුම් ගත්ත, මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක්. මාව තේරුම් ගැනීම මගේ සහකරුවා වෙන කෙනාගේ අවශ්‍යම දෙයක්. ක්‍රිෂාන් මට හැම පැත්තකින්ම ලොකු සහායක් දෙනවා. ඒක හරිම වැදගත්. ඒ නිසා මම හිතනවා මම හරි තෝරා ගැනීමක් කරලා ඇති කියලා.

ශේෂාද්‍රිගේ රංගන ජීවිතයට ක්‍රිෂාන් වැටකඩොලු බඳින එකක් නැද්ද?

එයා මට කිසිම දෙයකට එපා කියලා කියන කෙනෙක් නෙවෙයි. එයා මට කියන්නේ මට හොඳයි කියලා හිතෙන දේ කරන්න කියලා. ඒක ලොකු නිදහසක්. මම අකැමැති දෙයක් කරන්න කියලා බල කරන්නේ නැහැ. මට දේවල් ගැන තීරණ ගන්න එයා ඉඩදීලා තියෙනවා. එයා කියන්නේ විවාහ වුණ දවසක වුණත් පවුලට මුල් තැන දීලා. පවුලට ප්‍රශ්නයක් නොවෙන්න වැඩ කරන්න කියලා.

ක්‍රිෂාන්ගේ කාර්යබහුලත්වය ඇතුළේ ශේෂාද්‍රිට ඉඩ වෙන්වෙලා තියෙන්නේ කොහොමද?

ක්‍රිෂාන් කියන්නේ හරිම කාර්යබහුල කෙනෙක්. ඔහු උදේ 8, සවස 5 රැකියාවක් කරනවා. එයා ඩොක්ටර් බෑන්ඩ් එකේ සාමාජිකයෙක් නිසා හවසට ඒ කටයුතුත් එක්ක ඉන්නේ. අපි දෙන්නට හම්බ වෙන්නවත් වෙන්නේ නැති දවස් තියෙනවා. එයා මාව තේරුම් අරගෙන ඉන්නවා වගේම මමත් එයාව තේරුම් අරගෙන ඉන්නවා. එයා නිදහස් වුණ ගමන් කරන්නේ මාව බලන්න දුවගෙන එන එක තමයි.

ක්‍රිෂාන් සංගීතයත් එක්ක ඉන්න නිසා ශේෂාද්‍රිටත් ගායනය පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?

මමයි, ක්‍රිෂානුයි එකතු වෙලා සින්දුවක් කරන්න හිතාගෙන ඉන්නවා. මම ශනූ නංගි තරම් ලොකුවට සින්දු කියන්න දන්නේ නැහැ. හැබැයි ක්‍රිෂාන් මාව දිරි ගන්වනවා. හරියට සැලසුම් කරලා හොඳ දෙයක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

ක්‍රිෂාන්ගෙයි ඔබෙයි විවාහය ළඟදී සිද්ධ වෙයිද?

තවම නැහැ. දිනයක් තීරණය කරලා නැහැ. කාලයට ඉඩදීලා ජීවිතයේ ඒ දවස එනකල් ඉන්නවා.

දැන් අක්කා (දිනක්ෂි) නිසා පවුලට අලුත් කෙනකුත් එකතු වෙන්නනේ යන්නේ. කොහොමද ඒ බැඳීම?

අපිට අයියලා නැහැනේ. ඉතින් මට පොඩි කාලේ ඉඳන් අයියා කෙනෙක් ඕන වුණා. මට මතකයි අයියා කෙනෙක් ඕනේ කියලා මම අම්මටත් කියලා තියෙනවා. සාරංග අයියා අපේ පවුලට ඒ අඩුව පිරෙව්වා. එයා අපිට සහෝදරයෙක්. මට මොනවා හරි දෙයක් කතා කරන්න ඕන වුණොත් මම සාරංග අයියට කතා කරනවා. එයා අහගෙන ඉන්නවා. අක්කත් සතුටින්. සාරංග අයියා පවුලත් එක්කම එකතුයි. සමාජයේ විවිධ කතා යනවනේ. අපි මොන දේ කළත් එක එක අය එක එක කතා කියනවනේ. සාරංග අයියයි අක්කියි ඉන්නේ සතුටින්. ඒක එයාලගේ පෞද්ගලික තීරණයක්. අපි හැමෝම හරිම සතුටින් ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.