Jul 09

පිළියන්දල කෝටිපති ව්‍යාපාරිකයාගේ අබිරහස් මරණය


පිළියන්දල ගුරුගම්මාන පාරේ නිවසක විසූ කෝටිපති ව්‍යාපාරික ප්‍රසන්න සාගර කුමාර (50) සිය නිවසේදීම ලේ විලක් මැද අබිරහස් ලෙස මියයන්නේ 06 වැනිදා හිමිදිරි පාන්දරය.

අවුරුදු 13 සහ 8 වයස්වල පසුවන දියණියකගේ සහ පුතකුගේ පියා වන ඔහු සිය තෙමහල් නිවසටම යාබදව ඉදිකර තිබූ හෝටලයේ සිය ව්‍යාපාරික කටයුතු සිදුකළේය. නවාතැන් පහසුකම් සැපයීම මෙන්ම විවාහ උත්සව හා විවිධ ප්‍රියසම්භාෂණ සඳහා යොදා ගැනුණු මෙම හෝටල් පරිශ්‍රය නිරන්තරයෙන් කාර්යබහුල ස්ථානයක් විය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ මෙම හෝටලයද පසුගියදා නැවත විවෘත වූයෙන් ප්‍රසන්න මෙන්ම ඔහුගේ සේවකයන්ද පසුවූයේ දැඩි උනන්දුවකින් හා කාර්යබහුලත්වයකිනි. මගහැරුණු වැඩ කටයුතු රැසක් වූ හෙයින් ප්‍රසන්න මහන්සිය නොබලා ඒ කටයුතු නිම කළේ තම ව්‍යාපාරයේත් සේවකයන්ගේත් වගකීම තමා අත බැව් ඔහු හොඳින් වටහා ගෙන තිබූ නිසාය. එහෙයින් වෙනදා මෙන්ම තම දෛනික වැඩකටයුතු නිමවා ඔහු බිරිඳත් දරු දෙදෙනාත් සමග 05 වැනිදා රාත්‍රියේ නින්දට ගියේ සිදුවීමට යන මහ විපත අල්ප මාත්‍රයක් හෝ නොදැනය. මාරයා කොහේ සිට ආවාදැයි දන්නේ සාගරම පමණි. හිමිදිරි උදෑසන හතරේ කණිසම වදිද්දී නිවසටම යාබද හෝටලයේ සේවක නිවාසයේ නිදා සිටි සේවකයන් අවදි වූයේ තම හාම්පුතාගේ බිරිඳගේ විලාප හඬ නිසාවෙනි.

‘‘අපිව බේරගන්න, බයයි බයයි’’ ඒ මර ලතෝනිය අසා වහා ඒ දෙසට දිව ගිය සේවකයන් දුටු දෙයින් ඔවුන්ටත් කෑගැසුණේ ඉබේටමය. වසර ගණනාවක් පුරා තමන්ට මෙන්ම තම පවුල්වල පිරිසටද මහත් ශක්තියක් වූ ඔවුන්ගේ හාම්පුතා ලේ විලක් මැද නිදියහනේ වැටී සිටිනු ඔවුන්ට දැකගත හැකි විය. ඔවුන් වහාම 1990 අංකය අමතා මේ බව දැනුම් දීමෙන් පසු ගිලන් රියක් පැමිණියේය. ඒ වනවිටත් ප්‍රසන්න මියගොස් සිටි බව කියැවේ. ඔහුගේ මෙන්ම බිරිඳගේද හිසේ තුවාල තිබී ඇත. ඇගේ හිසේද ලේ ගලමින් තිබුණු නිසා ප්‍රසන්න සමගම ඇයත්, දරු දෙදෙනාත් වහා කළුබෝවිල රෝහල කරා යැවිණ. අනතුරුව පොලිසියද දැනුවත් කළ සේවකයන් සාගරගේ පවුලේ පිරිසද වහා දැනුවත් කළේය. සිද්ධිය වූ ස්ථානයට පැමිණි පිළියන්දල පොලිසියේ නිලධාරීන් මෙන්ම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන්ද මෙහි පොලිස් පරීක්ෂණ මේ වනවිට සිදුකරමින් සිටියි.

කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණ පවත්වා ඇති අතර හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී සිදුකෙරිණි. අනතුරුව මියගිය ප්‍රසන්න සාගර කුමාරගේ දේහය ඊයේ (08දා) උදෑසන නිවසට ගෙනවිත් ඇත. ඔහුගේ බිරිඳ තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මියගිය සාගර ගේ එක් සොහොයුරෙකු වන සිසිර අප සමග මෙසේ පැවැසීය.

‘‘මෙතන වැඩ කරන කෙනෙක් මට උදේම දුරකථන ඇමතුමක් දීලා මේ කාරණාව කිව්වා. එතකොට අපි ඉක්මනට ආවා. එතකොටත් මල්ලි නැතිවෙලා. මෙතන අය නංගිවත්, ළමයි දෙන්නවත් රෝහලට යවලා. අපිට හිතාගන්න බෑ තාම මොකද වුණේ කියලවත්’’ තවත් සොහොයුරෙක් වන සුමුදු සිය සොහොයුරා ගැන මතකය මෙසේ අවදි කළේය. ‘‘අපේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. අයියා අහිංසක ජීවිතයක් ගත කළේ. හැමෝටම උදව් කරගෙන හිටියා. ගමේ අයත් එක්කත් බොහෝම හොඳින් හිටියා.

දැනට අවුරුදු 15ක ඉඳලා අයියා මේ ව්‍යාපාරය කරනවා. අපි දන්න තරමින් එයාට කිසිම හතුරෙක් හිටියෙත් නැහැ. ලොකු අයියට මෙතන වැඩ කරන කෙනෙක් විස්තරේ කියලා එයා මෙතනට ඇවිත් මටත් ඇමතුමක් දුන්නා. මේක ඇහුවම මට මොකද වුණේ කියලා හිතාගන්න බැරි වුණා. මගේ ඇඟ වෙව්ලන්න පටන් ගත්තා. පස්සේ මගේ පුතාට කතා කරලා එයත් එක්ක මෙතනට ආවේ. අපේ මහ ගෙවල් පිළියන්දල දේවානන්ද පාරේ. අයියා​ ගේ හදාගෙන මෙහෙ පදිංචියට ආවා. වෙච්චදේනම් කාටවත් හිතාගන්න බෑ.

සිය පුතුගේ හදිසි වියෝවෙන් දුක්වන මවද (85) අප සමග වචනයක් කතා කළේ රූරා වැටෙන කඳුළු අතරිනි. ‘‘මේ නැතිවෙලා ඉන්නේ මගේ තුන්වෙනියා. රත්තරං පුතෙක්. මට කන්න බොන්න ගේනවා. බඩු මුට්ටුත් ගෙනත් දෙනවා නිතරම. සල්ලිත් දෙනවා. ආරංචිය ආවම මමත් ආවා මෙතනට. කලින් දවසේ උදෙත් මහ ගෙදරට ආවා. දවල්ට මට කෑම එකත් ගෙනත් දුන්නා. හවසත් ආවා මාව බලන්න’’

ප්‍රසන්න සාගරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09 දා) සවස කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. මේ වනවිටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බැවින් මෙහි සුලමුල නොබෝ දිනක් යන්නට මත්තෙන් දැන ගැනීමට හැකිවනු ඇත.

මොට ආයුධයකින් හිසට පහර දී‌ම හේතුවෙන් මරණය සිදුව ඇතැයි කළුබෝවිල රෝහලේ දී ඊයේ (8 වැනිදා) සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය කර ඇත.

Source - අරුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.