Jul
22
නුගේගොඩ අනතුරින් මියගිය වතුරවිල හමුදා නිලධාරියාගේ කඳුළු කතාව
‘‘මගේ සැමියා රිය අනතුරකට ලක්වෙලා රෝහල්ගත කළා. එයාට අමාරුවක් නැහැ කියලා යුද හමුදාවෙන් කතා කරලා කිව්වත්, රෝහලට ඇවිත් බලද්දී, මගේ අවුරුදු හතරක සහ අවුරුදු එකහමාරක දරුවො දෙන්නවත්, මාවත් අතහැරලා ඔහු සදහටම සමුගෙන ගිහින්. ඒක මම කොහොම දරා ගන්නද යැයි, නුගේගොඩ රිය අනතුරෙන් මියගිය යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයාගේ බිරිඳ වන නින්දාන, වතුරවිල, අංක 853/1 හි පදිංචි වැලිතර ගුරුගේ චතුරිකා ගයන්ති (31) මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ පෙරේදා (20 දා) නුගේගොඩ ගුවන් පාලම මතදී පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු සිදුවූ අනතුරෙන් මියගිය යුද හමුදා කැබ් රථයේ රියැදුරු වූ නින්දාන, වතුරවිල අංක 853/1 හි පදිංචි ගොඩගේ ලලිත් (35) නමැති දෙදරු පියාගේ (සැමියාගේ) මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමිනි.
මෙම පශ්චාත් මරණ පරීක්ෂණය, කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් කළුබෝවිල හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී 20 වැනිදා පැවැත්වුණි.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව, කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්. එස්. මංචනායක මහත්මිය විසින් ලබාදී තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේ දී කැබ් රථයේ ගමන් ගත් යුද හමුදා කපිතාන්වරයකු සහ සෙබළකු, බරපතළ තුවාල ලබා දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පැවසෙයි.
එහිදී තවදුරටත් සාක්ෂි ලබාදෙමින් මියගිය පුද්ගලයාගේ බිරිඳ වන චතුරිකා ගයන්ති මෙසේ ද කීවාය.
අපි විවාහ වුණේ 2009 වසරේදී. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනකුට අවුරුදු හතරයි. අනිත් කෙනාට එකහමාරයි.
මගේ සැමියා යුද හමුදාවේ අයි. ආර්. බළකායේ රියැදුරකු ලෙස සේවය කරනවා. ඔහුගේ සේවා කාලය වසර දහ තුනක්. ඔහු යුද්ධය කාලේ මුලතිව් ඇතුළු ප්‍රදේශ ගණනාවක රාජකාරි කළා. දැන් කොළඹ යුද හමුදා කඳවුරක සේවය කළා.
20 වැනිදා උදේ යුද හමුදා නිලධාරියකු දුරකථනයෙන් මට කතා කරලා ‘‘සැමියා නුගේගොඩ දී රිය අනතුරකට ලක්වුණා. දැන් කළුබෝවිල රෝහලට ඇතුළු කරලා තියෙන්නේ, එයාට අමාරුවක් නෑ, පුළුවන් තරම් ඉක්මනින් රෝහලට එන්න’’ කියලා කිව්වා.
පසුව මගේ ඥාතීන් කීපදෙනකු සමග මම කළුබෝවිල රෝහලට එන අතරතුර දී මට දැන ගන්න ලැබුණා මගේ සැමියා මිය ගිහින් කියලා. ඒත් මට ඒක පිළිගන්න බැරි වුණා. පසුව කළුබෝවිල රෝහලට ඇවිත් බලද්දි තමයි වෛද්‍යවරුන්ගෙන් දැන ගත්තේ, මාවත් අවුරුදු හතරක සහ එක හමාරක දරුවෝ දෙන්නත් අතහැරලා, මගේ සැමියා සදහටම සමුගෙන තියෙන බව. මගේ දරුවෝ දෙන්නට මම දැන් මොනවද කියන්නේ. මේ දුක මම කොහොම දරාගන්නද.
නුගේගොඩ ගුවන් පාලම උඩදී, බස් රථයක් ගැටී මෙම අනතුර සිදු වුණා කියලා තමයි යුද හමුදා නිලධාරීන්ගෙන් මම දැන ගත්තේ. සැමියාගේ දේහය මා හඳුනා ගත්තා.
මියගිය පුද්ගලයාගේ සොහොයුරු වන බටපොල, සාදමුල්ල, පොල්¥වවත්ත, අංක 246 හි, පදිංචි ගොඩගේ අජිත් (38* මහතා සාක්ෂි දෙමින් මෙසේ කීවේය.
සිද්ධිය දැන ගත් පසු මල්ලිගේ බිරිඳත්, තවත් ඥාතීන් කිහිපදෙනකුත් සමග වෑන් රථයකින් අපි කළුබෝවිල රෝහලට ආවා. එහිදී වෛද්‍යවරුන්ගෙන් දැන ගන්න ලැබුණා මල්ලී මියගිහින් කියලා.
මේ අනතුර සිදුවෙලා තියෙන්නේ, නුගේගොඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බව පොලිසියෙන් දැන ගත්තා. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පරීක්ෂණ සිදු කරලා අපිට සාධාරණයක් ඉටු කරන්න කියලායි.
මෙදින රිය අනතුර සිදු කළ බව පැවසෙන පෞද්ගලික බස් රථයේ රියැදුරු රෝහල් ගතව ප්‍රතිකාර ලබන නිසා, ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නොහැකි වූ හෙයින් තවදුරටත් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කර එළැඹෙන 27 වැනිදා වාර්තාවක් ලබාදෙන ලෙසට පොලිසියට නියෝග කර විවෘත තීන්දුවක් ලබා දීමට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා තීරණය කළේය. සැකකාර රියැදුරු 20 වැනිදා
නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මිරිහාන මූලස්ථාන පොලිසිය සාක්ෂි මෙහෙය වීය.
---------------------------------------------------------------------
සුදු පුතා 19 දා රෑත්ත් දුවට කතා කර දරුවො දෙන්නා හොඳින්ද කියා අසා තිබුණා අම්මා කියයි
‘‘අපේ පවුලේ හැම දෙයක්ම හොයලා බලලා පවුලේ හැමෝටම උදව් කරපු මගේ සුදු මහත්තයා හොරු අරන් ගිහිල්ලා’’ යැයි දැඩි කම්පනයට පත්ව සිටින මියගිය ක්‍රෝපල් ගොඩගේ ලලිත් මහතාගේ බිරිඳ වූ චතුරිකා ජයන්ති මහත්මිය හැඬූ කඳුළින් ‘‘දිවයින’’ට පැවසුවාය.
බටපොල නින්දාන වතුරවිල ප්‍රදේශයේ පදිංචි මියගිය ගොඩගේ ලලිත් රණවිරුවාගේ හදිසි මරණය නිසා ප්‍රදේශවාසීන් අසල්වාසීන් දැඩි ශෝකයට පත්ව සිටිනු එහි ගිය අපට දැකගත හැකිවිය.
රණවිරුවාගේ දේහය නිවසට රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රදේශයේ තරුණ පිරිස හා ජනතාව ඊයේ (21දා) දවස පුරාම දේහයට අවසන් ගෞරව දක්වන්නට පැමිණෙමින් සිටියහ.
නුගේගොඩ ගුවන් පාලම මතදී පෙරේදා (20 දා) අලූයම 5.40 ට පමණ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් එහි රියැදුරුගේ නොසැලකිලිමත්කම නිසා පනාගොඩ යුද හමුදා කඳවුර වෙත යමින් තිබූ යුහ 51221 දරන කැබ් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් ගොඩගේ ලලිත් රණවිරුවා ජීවිතක්ෂයට පත්විය.
මරදාන ටි්රපොලි යුද හමුදා කඳවුරේ සිට පනාගොඩ යුද හමුදා කඳවුර වෙත සේවා අවශ්‍යතාවක් සඳහා යමින් සිටි හමුදා කැබ්රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇත්තේ මියගිය ලාන්ස් ක්‍රෝපල් ගොඩගේ ලලිත්ය. 14 වන විජයබා රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කළ ගොඩගේ ලලිත් (35) රණවිරුවා අවුරුදු 4 ක හා අවුරුදු 1 ක සි`ගිිති දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.
රණවිරු ලලිත් අවසන් වරට සිය නිවසට පැමිණ ඇත්තේ සිය බාල දියණියගේ උපන්දිනය යෙදී තිබුණ ජුලි 11 සෙනසුරාදා දිනයේය. එදින දියණියන් දෙදෙනාටත් බිරිඳ චතුරිකාටත් අම්මා සෝමලතා මහත්මියටත් සතුටුදායක දිනයක් වූ අතර සොයුරු සොයුරියන් ද එක්වී සිටීම ලලිත් සතුටට පත් කළ තවත් කරුණක් විය.
එහෙත් නොසිතූ විරූ ලෙස සිදු වූ මෙම හදිසි අනතුරින් ලලිත්ගේ මවට සිය බාල පුතාද, සොයුරු සොයුරියන්ට බාල මල්ලීද බිරිඳට ආදරණීය සැමියාද සි`ගිති දියණියන් දෙදෙනාට පියාද ප්‍රදේශයේ තරුණ පිරිසට හෘදයාංගම මිතුරෙකුද අහිමි වී ගොස් ඇත.
ලලිත්ගේ හදිසි වියෝව දරා ගත නොහැකි වීමත් දැඩි කම්පනයත් නිසා බිරිඳ චතුරිකා සිටින්නේ හැඬුම් මැද වීම නිසා මාධ්‍ය වෙනුවෙන් තොරතුරු කියන්නට ඇයට අවස්ථාවක් නැත. මේ නිසා ලලිත්ගේ මව වූ ජී. එච්. සෝමලතා මහත්මිය අප හමුවේ මෙසේ පැවසූවාය.
‘‘මට දරුවන් පස් දෙනෙක් ඉන්නවා. මේ විපතෙන් මට නැති වුණේ මගේ බාලම පුතා. පුංචි කාලේ ඉඳලම එයාට කිව්වේ සුදු පුතා කියලයි. ගමේ අයත් ගෙදර අයත් කතා කරන්නේ සුදු පුතා කියලයි. සුදු පුතා 19 දා රාත්රියේදී චතුරිකා දුවට දුරකථනයෙන් කතා කළා. දරුවෝ දෙන්නා හොඳින් නේද කියලා අහලා තිබුණා. 20 දා උදේ මට ලොකු පුතා කතා කරලා කිව්වා අම්මා කොළඹ යන්න ඕනේ නෑ සු¥ නැතිවෙලා කියලා. මට මුලින් කිව්වේ තුවාල වෙලා විතරයි කියලා. මේ වගේ අනතුරු කරන බස් රියැදුරන්ට දැඩි දඬුවම් දෙන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. මේ නොදරුවෝ දෙන්නට තාත්තා නැති වුණා. මේ වගේ වැරදි වැඩ කරන අයට දැඩි දඬුවමක් දෙන්න ඕනේ.’’
රණවිරු ලලිත්ගේ අවසන් කටයුතු අද (22දා) සවස හමුදා උත්තමාචාර මැද මානම්ගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්. ඞී. අබේසිංහ - දිවයින