Jun 08

ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් MAS Intimates සමාගමට ඩොලර් මිලියන 11ක ණයක්


ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව දියත් කර ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක මුල්‍යයන වැඩසටහන යටතේ ණය පහසුකමක් සම්පූර්ණ කළ දකුණු ආසියාවේ ප්‍රථම සමාගම බවට MAS Intimates සමාගම පත් විය. MAS Intimates යනු MAS Holdings සමාගමට අනුබද්ධිත සමාගමකි.

ඒ අනුව, එම බැංකුව ශ්‍රී ලාංකේය සමාගමක්වන MAS Intimates සමාගමට එක්සත් ජනපදයට අපනයනය කිරීම සඳහා ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් ඇ.ඩො. මිලියන 11 ක ණය මුදලක් පිරිනමා ඇත.

COVID-19 වසංගතය දුරලීම සඳහා ගෝලීයව දියත් කෙරෙන සටන වෙනුවෙන් භාණ්ඩ හා සේවා ලබා දීමට කටයුතු කරන සමාගම් වෙනුවෙන් ලාභ අපේක්ෂාවෙන් තොරව මුල්‍ය සහයෝගය ලබා දීමට කැපවන බව ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව පසුගිය මාර්තු මසදී නිවේදනය කළේය. දැනට සිදු කරන ව්‍යාපාරය වෙනුවට, පවත්නා වසංගත තත්ත්වය හමුවේ අධික ඉල්ලුමක් සහිත නිෂ්පාදන සිදු කිරීමට ප්‍රවේශවන ව්‍යාපාරවලට ද මෙම ණය වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය. ඖෂධ කර්මාන්තයේ නියැලෙන නිෂ්පාදකයන් සහ බෙදාහරින්නන්, සුවසේවා සම්පාදකයන් මෙන්ම වෙන්ටිලේටර් යන්ත්‍ර, මුහුණු ආවරණ, ආරක්ෂණ මෙවලම්, පිරිසිදුකාරක සහ වෙනත් වෛද්‍ය නොවන නිෂ්පාදන නිෂ්පාදනය කරන සමාගම් ද මෙම ණය වැඩසටහනට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලබයි.

"මෙය සියලු ම ව්‍යාපාරිකයන් හට අනපේක්ෂිත සිදුවීමක්. මෙය, සබඳතා සහ හවුල්කාරිත්වවල ශක්තිය සැබෑ ලෙස පරික්ෂාවට ලක් කෙරෙන අවස්ථාවක්. 'Here for Good' යන අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව යමින් ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව මෙම අභියෝගාත්මක වාතාවරණය හමුවේ අපගේ සේවාලාභීන් හට විශ්වසනීය ම සහකරු ලෙස ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට කැපවනවා. ඇ.ඩො. බිලියනයක ගෝලීය මුල්‍යයන කැපවීම, අපගේ බැංකුවේ එම ප්‍රතිඥාව මනාව සපුරාලනවා. MAS Intimates සමාගම COVID-19 වසංගතයට එරෙහිව දියත් කර ඇති සටනට අවශ්‍ය මුල්‍යමය සහයෝගය ලබා දීමට හැකි වීම පිළිබඳ අප සතුටු වනවා." යනුවෙන් මෙරට ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රී මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට විශාලත ම දායකත්වය ලබා දෙන ක්ෂේත්‍රයක්වන ඇඟලුම් ක්ෂේත්‍රය, පවත්නා අභියෝගාත්මක වාතාවරණය තුළ වෛද්‍ය සේවා ඇඳුම් ඇතුළු පුද්ගල ආරක්ෂණ මෙවලම් (PPE) නිෂ්පාදනය කිරීම සඳහා සිය විශේෂඥ දැනුම යොදාගනිමින් සිටිති. මෙරට නිමැවෙන ඇඟලුම් සඳහා ලොව පුරා හිමි වී තිබෙන කීර්තිමත් නාමය සමගින් මෙරට නිෂ්පාදනය කෙරෙන පුද්ගල ආරක්ෂණ මෙවලම් සඳහා ද විශේෂයෙන් එක්සත් ජනපදයේ මේවන විට ද විශාල ඉල්ලුමක් පවතී.

"MAS Intimates යනු නවෝත්පාදනය ඔස්සේ ඉදිරියට ගමන් කරන සමාගමක්. අභියෝග මධ්‍යයේ වුව ද අප COVID-19 වසංගතයට එරෙහි ජාතික සටනට දායකත්වය ලබා දීම සඳහා පුද්ගල ආරක්ෂණ මෙවලම් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරිපත් වුණා. එහිදී අප ලබා ගත් විශේෂඥ දැනුම මත පදනම්ව අපගේ ගෝලීය පාරිභෝගිකයන් හට එම කට්ටල අපනයනය කිරීමට අප තීරණය කළා. වසංගත තත්ත්වය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑමක් සිදු වී තිබෙන අතර එහි නැගිටීම කඩිනමින් සිදු වේ යයි අපේක්ෂා කළ නොහැකියි. නිරන්තරයෙන් අපට සහයෝගය ලබා දෙන ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව මෙම තීරණාත්මක මොහොතේදී ද අපගේ එම ප්‍රයත්නයට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වුණා," යනුවෙන් MAS Intimates සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ධර්මේන්ද්‍ර මහතා අදහස් පළ කළේය.

මෙම මුල්‍ය පහසුකම් පිරිනැමීමේ අරමුණ පැහැදිලි කරමින් මෙරට ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ වාණිජ බැංකුකරණ අංශයේ ප්‍රධානී ටමානි ඩයස් මහත්මිය සඳහන් කළේ, ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව දියත් කර ඇති ගෝලීය මුල්‍යයන පහසුකම් ලබා දීමේ වැඩසටහන හරහා, කාරක ප්‍රාග්ධනය, ණය, ආනයන/අපනයන මුල්‍යයන ආදී මුල්‍ය පහසුකම් නිෂ්පාදකයන් සමග ගිවිසගත් පොළී අනුපාත යටතේ පිරිනමනින් ව්‍යාපාර අඛණ්ඩව සිදු කිරීමටත් ඇණවුම් අඛණ්ඩව වෙළඳපොළට නිකුත් කිරීමටත් අවශ්‍ය සහාය ලබා දීමට හැකි වී ඇති බවය. ශ්‍රී ලාංකේය අපනයන ක්ෂේත්‍රය දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති මෙවන් මොහොතක, MAS Intimates වැනි නිෂ්පාදකයන් සමග අප ඇතිකර ගන්නා හවුල්කාරිත්ව,  ඔවුන්ගේ නිෂ්පාදන නැවත නගාසිටුවීමටත්, ඒ හරහා අපනයන ක්ෂේත්‍රය බලගන්වමින් මෙරට ආර්ථිකය ගොඩනැගීමටත් උපකාරී වන බව සිය විශ්වාසය බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

MAS Holdings සමූහයේ විශාලත ම අංශයවන MAS Intimates සමාගම, ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිර්මාණ සැලසුම්වල සිට නිෂ්පාදන පිරිනැමීම දක්වා සියලු විසඳුම් සම්පාදනය කරන ලොව කීර්තිමත් ම සමාගමක් බවට පත්ව සිටී. MAS Holdings සමාගමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතර ලොව පුරා රාජ්‍යයන් 16 ක නිෂ්පාදන පරිශ්‍ර 53 ක් එම සමාගම විසින් මෙහෙයවනු ලබයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.