Jun
30
සේර ඇල්ලෙන් ඇද වැටුණු පෙම්වතාගේ මරණයේ වේදනාව
“අපි ඇල්ල ළඟට ගියා ප්රීෂූට් එකට ෆොටෝ ගන්න. ඇල්ල උඩ ෆොටෝ අරන් අවසාන ෆොටෝ එක ගන්න පහළට ආවම පය ලිස්සලා වැටිලා වතුරේ ගිලෙන්න ගත්තා. මට එච්චරයි මතක. මගේ ශිරන්ත මට නැති වුණා දෙයියනේ.”
ලග්ගල, ඉලුක්කුඹුර සේර ඇල්ල ප්රදේශයේ දී දියේ ගිලී මියගිය කුරුණෑගල, හිරිවත්ත, පන්සියගම පදිංචි කේ.කේ. ශිරන්ත සංජය රත්නසූරිය තරුණයාගේ පෙම්වතිය වන දිල්මි මධූෂිකා හඬාවැටෙමින් එලෙස පවසනවා.
ජූලි 17දා සිදුකිරීමට නියමිත විවාහ උත්සවය වෙනුවෙන් ඡායාරූප ඇල්බමයක් සැකසීමට ඡායාරූප ගැනීම සඳහා ගිය ඔවුන් ලිස්සා පහළට වැටී ඇති අතර තරුණයාගේ සිරුර ඊයේ සොයා ගත්තා.
එම ස්ථානයේ සිටි තරුණියගේ මව වන ප්රියංකා චන්ද්රකාන්ති මෙලෙස සඳහන් කර සිටියා.
“දුවයි පුතයි වතුරට බහින්න යද්දී එක පාරටම වතුරට වැටුණා. වැටුණට පස්සේ මම පැන්නා බේරගන්න. එතකොට මගේ අනිත් දුවත් පැන්නා. අපි දෙන්නත් වතුරට ඇදිලා ගියා. ඊට පස්සේ කැමරා කරන පුතෙක් ඇවිල්ලා ලීයක් වගේ එකක් දැම්මම බේරාගන්න පැන්න මමත් දුවත් ගොඩට ආවා. ඊට පස්සේ එතැනට පිටින් ආපු කට්ටියක් පැනලා දුව අරගෙන ගොඩට ආවා. පුතා එහෙමම යට ගියා.”
වෘත්තියෙන් වඩුකාර්මිකයෙක් වන මියගිය ශිරන්ත පෙම්වතිය වන දිල්මි සමඟ විවාහ වීමට නියමිතව තිබුණේ ලබන 17 වැනිදායි.
මෙම සිද්ධියට අදාළ ඡායාරූප ගත කිරීමේ ශිල්පියා වූ නන්දන අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා.
“අපි එතැන ෆොටෝ අරගන්න ගමන් තමයි හිටියේ. අපි ප්ලෑන් කරා පහළට බැහැලා වතුර පොඩ්ඩක් ඉහළට අතින් විසි කරනවත් එක්කම පින්තූරයක් ගන්න. එහෙම සූදානම් වෙනකොටම තමයි ලිස්සලා ගියේ.
එතැන පහළට බහිනකොට ලිස්සලා යනවා. එතැන ගොඩක් කට්ටිය 50ක් විතර හිටියා. එතැන හිටපු කට්ටිය වළට පැන්නා. ඒ සමඟ නංගිව ගොඩට ගත්තා මල්ලිට අපි ළඟ තිබුණු කැමරා ආධාරකය දෙන්න හැදුවා. හැබැයි ඒත් එක්කම එයා යට ගියා. බේරාගන්න බැරිවුණා.”
දෙවැනි සහායක කැමරා ශිල්පී ඩිලාන් රාජිත මෙලෙස සඳහන් කළා.
“අපි එතෙන්ට පහළට බැස්සේ ඡායාරූප ගන්න වතුර පාරක් ගහන්න උඩ දාන්න හැදුවේ. ඒ ටික කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. සූදානම් කරනවත් එක්කම තමයි ලිස්සලා අක්කයි අයියයි පහළට වැටුණේ. එහෙම්ම ගොඩගන්න උඩ ඉන්න අයත් පල්ලෙහාට බැස්සා. අම්මත් බැස්සා. නැන්දම්මාත් බැස්සා. අපි බේරාගන්න උත්සාහ කරා. ඒත් කරගන්න බැරි වුණා.
මියගිය තරුණයාගේ දේහය දඹුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.
නකල්ස් කඳු වැටියේ අසිරිය දෙගුණ කරන “සේර ඇල්ල” දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයක් වන අතර එහි පවතින සුන්දරත්වය නිසාම මංගල ඡායාරූප ශිල්පීහු මෙම ස්ථානය නිරන්තරයෙන් තෝරාගනු ලබනවා.
Source - True News