Jun 06

ඩොලර් පුරවාගත් අපේ මුහුද වටේ තියෙන නැව් වලට අපි පයින් ගහන හැටි


පසුගිය සතියේ කිව්වා වගේම අද මේ කියන්න හදන්නෙත් ඩොලර් ප‍්‍රකෝටි ගාණක තවත් බිස්නස් එකක් ගැන අපි අතහැරලා දාල තියෙන. Sea Blindness එහෙමත් නැත්නම් පසුගිය සතියේ හඳුන්වලා දීපු මහා භයානක රෝගය ‘සමුද්‍රීය අන්ධභාවයේ’ අතුරු ආබාධ තමයි මේවත් ඇත්තටම. අනිත් පැත්තෙන්, අපේ ජානවලින්ම එන ‘මස් රාත්තලම ඕනේ’ කියන සංකල්පයෙන් මිදෙන්න බැරිකමත් ‘වංසේ කබල් ගාන්න’ අචේතනිකවම අපේ තියෙන පුරුද්දත් මේ ඩොලර් ටික ලංකාවට ගෙන්න ගන්න හරස් වෙන විදිහ ගැනයි අද මේ කියන්න හදන්නේ. ඇත්තටම අද කියන්න හදන්නේ සත්සමුදුරේ දුවන මහා විශාල නැව් ලියාපදිංචි කිරීමෙන් රටට ගෙන්න ගන්න පුළුවන් මහා ඩොලර් කන්ද ගැන.

 හරි, අද කතාව මෙහෙම පටන් ගමු.

 ඔය පළවෙනි පින්තූරෙන් දක්වල තියෙන්නේ ‘ලන්ඩන් කරේජ්’ කියන නැව. මමත් ඕකේ වැඩ කළා මීට වසර 10 කට විතර කලින්, තුන්වෙනි නිලධාරියා විදිහට. මේක යපස් ගෙනියන්නම විශේෂයෙන් හදපු නැවක්. ෆුල් ලෝඞ් කළාම, යපස් ටොන් ලක්ෂ 02ක් විතර මේ නැවට එකවර පටවන්න පුළුවන්. නැව හදල තිබුණේ ජපානේ ෂිප්යාර්ඞ් එකක. නැව අයිති සමාගම පිහිටලා තිබුණේ පැරිස් නුවර, ඒ කියන්නේ ප‍්‍රංශයේ.

ගොඩක් වෙලාවට නැවට කාර්ගෝ පැටෙව්වේ ඔස්ටේ‍්‍රලියාවෙන්... ඒවා ගෙනිච්චේ චීනෙට. හැබැයි, කාගෝවල හිමිකරුවා සිටියේ හිටියේ කැනඩාවේ. නැවේ තාක්ෂණික කළමනාකරණ වැඩ ටික පැවරුණේ හොංකොං රටේ තිබුණු සමාගමකට. හිටපු කපිතාන්තුමා ඉන්දියන් ජාතිකයෙක්. බහුතරයක් සෙසු නිලයන් දැරුවේ පිලිපීන් ජාතික නැවියන්. මම තුන්වෙනි නිලධාරියා ශ‍්‍රී ලාංකිකයෙක්. දැන් ඉතින් මේ නැවේ ජාතිකත්වය මොකක්ද කියල ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? ඔන්න ඔතනින් තමයි ‘නැව් ලියාපදිංචි’ කිරීම කියන කතාව කරළියට එන්නේ.

 මේක සංකීර්ණ කතාවක්, ඒත් ඉතාම සරලව කියන්නයි හදන්නේ.

 අපි අලූතින් වාහනයක් ගත්තාම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගිහින් ඒක ලියාපදිංචි කරනවා වගේම, අලූත් නැවක් මුහුදට දාන්න කලිනුත් යම් ආකාරයක ලියාපදිංචි කිරීමක් කරන්න ඕනේ. මෙතැනදී තියෙන ලොකුම ගැටලූව තමයි, දැන් මේ අලූත් නැව ලියාපදිංචි කරන්නේ කොහෙද කියන එක. අර කියපු තරම් රටවල් සංඛ්‍යාවක් එක නැවක් හා සම්බන්ධයි නම්, මොන රටේද දැන් මේ නැව ලියාපදිංචි කරන්නේ?

 වාහනයක් නම් ඉතින් මොන රටේ නිෂ්පාදනය කරලා ලංකාවට ගෙනාවත්, ගෙනාවට පස්සේ දුවන්නේ ලංකාව ඇතුලේ විතරයිනේ. ඉතින් ලංකාවේ නීති රීතිවලට එකඟව මේ ලියාපදිංචි කිරීම කරන්න ඕනේ බව පැහැදිලියි නේ.

 ඒත් ඉතින්, නැව් සම්බන්ධයෙන් මොකද වෙන්නේ?

 තවත් දෙයක්, මේක වාහනයක් ලියාපදිංචි කරනවා වගේ අනිවාර්යය නීතිමය කටයුත්තක් කියල හිතන්න එපා.

 දැන් හිතෙනවානේ, ලියාපදිංචිය අනිවාර්ය නීතියක් නෙමෙයි නම් මොකටද නැව් ලියාපදිංචි කරන්නේ කියල?

 හැබැයි, ප‍්‍රායෝගිකව මහමුහුදේ කිසිම නැවක් නෑ ලියාපදිංචි නොකරපු. මොකද ලියාපදිංචි නොකරපු නැවකට කිසිම රටක් තමන්ගේ වරායකට ඇතුල් වෙන්න අවසර දෙන්නේ නෑ. අනිත් පැත්තෙන් ඒ වගේ ලියාපදිංචි නොකරපු නැවකට කවුරුවත් ෂිපර් කෙනෙක් තමන්ගේ කාගෝ ටික පටවන්නේ නෑ. මොකද ඩොලර් ලක්ෂ ගාණක් වටිනා කාගෝ ටික පටවල, නැව වරායෙන් පිටත් වුණාට පස්සේ කොහේ යයිද, මොනවා කරයිද කියල කවුද දන්නේ? මේක හරියටම කියනවා නම් අපි කොච්චර හදිස්සි ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියත්, පාරේ යන නොම්බර තහඩුව නැති ටැක්සියකට නගින්නේ නෑ වගේ තමයි.

 ඒ වගේම අපි ගමන යන ටැක්සියට නොම්බර තහඩුවක් තිබූ පමණින් එකෙන් කියවෙන්නේ නෑ අපිට අතරමගදී හදිසි අනතුරක් නොවෙන බව. එහෙමත් නැත්නම්, ටැක්සි ඩ‍්‍රයිවර් අපිට කරදරයක් නොකරන බව. පැහැදිලි නේද?

 හැබැයි, අපිට බැරිවෙලා හරි ඒ වගේ කරදරයක් සිද්ද වුණොත් ඊට පස්සේ, අපිට වෙච්ච කරදරේට මොන විදිහේ නීතිමය කටයුත්තකට පිවිසුණත්, රක්ෂණ වන්දි ගන්න ගියත් වාහනේ ලියාපදිංචි සහතිකේ අනිවාර්ය සාධකයක් වෙනවනේ.

 අනිත් පැත්තෙන් වාහනේකට රක්ෂණ සහතිකයක් ගන්න කලින් ලියාපදිංචි කිරීමේ සහතිකය ඕනේ වගේම, නැවකට අදාළ විවිධ රක්ෂණ කටයුතුවලදීත් නැව ලියාපදිංචි කරපු සහතිකේට ලොකු වටිනාකමක් ලැබෙනවා.

 ඉතින් මේ වගේ ප‍්‍රායෝගික ප‍්‍රශ්න නිසා ලියාපදිංචිය අනිවාර්ය නීතියක් නොවුණට, ප‍්‍රායෝගිකව බලන කල ලියාපදිංචි නොකරපු නැවක් හොයාගන්න බැරි තරම්.

 මේක ටිකක් සංකීර්ණ කතාවක්, මේ ඉතාම සංක්ෂිප්තව කිව්වේ, දල අදහසක් ලැබෙන විදිහට. ඒ වගේම, නැවක් ලියාපදිංචියට ගියාම කතාව තරමක් සංකීර්ණ බව අර කලින් වැඩ කරපු නැව ගැන කියපු කතාවෙන්ම පැහැදිලි වෙන්න ඇතිනේ. ප‍්‍රායෝගිකව මේ ප‍්‍රශ්නේ තවත් උත්සන්න වෙන ආකාරය වඩාත් පැහැදිලි වෙන්නයි ‘ලන්ඩන් කරේජ්’ නැවේ විස්තරේ කිව්වේ. මේක ඉතින් ඇත්තටම අන්තර්ජාතික ගනුදෙනුවක්නෙ!

 ඉතින් ඔය කියපු විදිහට සංකීර්ණත්වය ටික ටික කොහොම හරි ලෙහාගෙන නැවක් ලංකාවේ ලියාපදිංචි කළා කියමුකෝ.

 දැන් ප‍්‍රශ්නයක් එනවනේ ඒ නැවේ හිමිකරුවා ප‍්‍රංශ ජාතිකයෙක් නම්, කොහොමද ලංකාවේ ලියාපදිංචි කරන්නේ කියලා?

 ඇත්තටම මේ සඳහා United Nations Convention on the Law of the Sea සහ United Nations Convention on Conditions for Registration of ships වැනි අන්තර්ජාතික සම්මුතීන් ඇසුරින් ඉඩ ලැබිල තියෙනවා. ඒ කියන්නේ, ඕනෙම රටක නැව් හිමිකරුවකුට තමන් කැමති රටකට ගිහින් තමන්ගේ නැව ලියාපදිංචි කරන්න අවස්ථාව ලැබිල තියෙනවා.

 කොටින්ම කියනව නම් ඇමරිකන් නැව් අයිතිකරුවකුට, තමන්ගේ නැව නේපාලය වගේ මුහුදක් දැකලවත් නැති, ගොඩබිමින් පමණක් තම දේශසීමා සියල්ල වටවුණු land-locked එකක වුණත් ලියාපදිංචි කරන්න පුළුවන් ඒ රට කැමතියි නම්. (මේ ඉතාම කෙටියෙන් කිව්වේ දල අදහසක් ගන්න විතරයි - තව බලපාන හේතු සාධක සහ පවත්වා ගත යුතු තත්ත්වයන් තිබෙනවා. උදා (Article 91 - Nationality of ships, Article 94 -Duties of the flag State වැනි)

 දැන් දෙවෙනි පින්තූරය බලන්න.

 උදාහරණයක් විදිහට කිසියම් නැවක් ලංකාවේ ලියාපදිංචි කළොත් ඒ නැවට ලංකාවේ කොඩිය දාගෙන යාත‍්‍රා කරන්න ඉඩ ලැබෙනවා. ඒ කොඩිය දාන්නේ නැවේ පිටුපස කොටසේ. ඒ වගේම නැවේ නමට යටින් ලියාපදිංචි කරපු වරායේ නමත් නැව් බඳේ පිටුපස කොටසේ පැහැදිලිව කොටන්න ඕනේ. දෙවෙනි රූපයෙන් එක පැහැදිලි ඇතිනේ. ‘ගෑස් කරේජ්’ කියන නෞකාව ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන්නේ හම්බන්තොට වරායේ. ඊට පහළින් දැක්වෙන්නේ ලියාපදිංචි අංකය එහෙමත් නැත්නම් අපි එකට කියනව IMO නම්බර් එක කියලා.

 ඊළඟට තුන්වෙනි රූපය බලන්න.

 අපි හිතමු දැන් මේ නැව යාත‍්‍රා කරන්නේ ජපානයේ ටෝකියෝ වරායට කියල. අන්න ඒ නිසා තමයි, ඉදිරිපස කොටසේ නැවේ කුඹ ගහක ජපන් කොඩිය දාගෙන යන්නේ. ඒකෙන් කියවෙන්නේ මේ නැව ජපන් මුහුදු සීමාවේ ඉන්නකම් ජපන් රටේ නීති රීතිවලට එකඟව කටයුතු කරනවා කියන එක.

 මේ කොඩි දාන එක සංකේතාත්මක දෙයක් වුණත් අදටත් මේ සම්ප‍්‍රදාය ක‍්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් පැහැදිලි ඇතිනේ නැව්වල කොඩි දාන ක‍්‍රමය ටිකක්. ඊළඟට අපි හිතමුකෝ මේ නැව යන්නේ ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් වරායට කියල.

 එහෙම නම් ඔය ඉස්සරහ කුඹ ගහේ දාල තියෙන ජපන් කොඩිය ගලවල ඇමරිකන් කොඩිය එතනට දානව.

 හැබැයි, ලෝකේ කොහේ ගියත් පිටුපස කොටසේ දාල තියෙන සිංහ කොඩිය ගලවන්නේ නෑ. මොකද මේ නැව දැන් ලියාපදිංචි කරලා තියෙන්නේ ලංකාවේ නිසා.

 මෙච්චර වෙලා කිව්වේ, මේ කතාවේ පසුබිම් කතාව ඉතාම සංක්ෂිප්තව.

 මෙන්න මේකයි අද මාතෘකාව. රටක් විදිහට අපිට මේ නැව් ලියාපදිංචි කිරීම කියන දේ අසාර්ථක වෙලා තියෙන්නේ කොහොමද කියලයි පොඞ්ඩක් කියන්න යන්නේ. එහෙමත් නැත්නම්, සිංහ කොඩිය දාගෙන යාත‍්‍රා කරන දේශීය / විදේශීය නැව් සංඛ්‍යාව මෙච්චර අඩු වුණේ කියන කාරණාව විමසා බලන්නයි මේ සූදානම! ඇත්තටම බලනකොට, ප‍්‍රායෝගිකව ලෝකේ නැව් අයිතිකාරයෝ ගොඩාක් ආසයි තමන්ගේ නැව, තමන්ගේ රටෙන් පිට ලෝකේ වෙන කොහේ හරි රටක ලියාපදිංචි කරන්න.

 මේ කියන්නේ නැව් අයිතිකාරයෝ තමන්ගේ රටට අකැමැති කියන දේ නෙමෙයි. සැබෑ ලෝකයේදී බැලූවාම අදටත් නැව් බහුතරයක හිමිකාරිත්වය තියෙන්නේ පළවෙනි ලෝකයේ රටවල්වලටනේ. බිස්නස් කියන්නේ බිස්නස්. ලාභය උපරිම කරගන්නයි බිස්නස් එකක් නිතරම බලන්නේ. ඒ කියන්නේ, මෙහෙම තමන්ගේ රටින් පිටට ගිහින් තමන්ගේ නැව ලියාපදිංචි කරන එකේ නැව් අයිතිකාරයට විශාල වාසියක් තියෙන්නම ඕනෙනේ. ඒකට හොඳම උදාහරණය තමයි, කවද හරි වරායක් බලන්න ගියොත් කල්පනාවෙන් බලන්න, ඒ වරායට යන/එන නැව් බොහොමයක් ලියාපදිංචි කරලා තියෙන්නේ පැනමාව, මොන්රෝවියාව නැත්නම් බහමාස් වගේ වරායක. (කලින් කියපු ‘ලන්ඩන් කරේජ්’ නැව වුණත් ඒ දවස්වල ලියාපදිංචි කරලා තිබුණේ පැනමා රටේ.) හැබැයි මේ නැව් එකක්වත් ඒ රටවල ස්වදේශිකයන්ට අයිති ඒවා නෙමෙයි. ඒවා ඔක්කොම අයිති එක්කෝ ඇමරිකන්, එක්කෝ ග‍්‍රීක නැතිනම් ජපන් සමාගමකට බොහෝ වෙලාවට.

 ඒත්, එහෙම වුණේ කොහොමද?

 ඇත්තටම ඒකට බලපාන හේතු ගොඩක් තියෙනව, ඒ අතරින් ප‍්‍රධානතම හේතුව වෙන්නේ නැව් අයිතිකාරයාගේ ආදායමට කොච්චර බදු ගහනවද කියන දේ. මේක එකම හේතුව නෙමෙයි. ප‍්‍රධානතම හේතුව විතරයි. වරදවා වටහා ගන්න එපා! දැන් ඒ කියපු රටවල් කරලා තියෙන්නේ විදේශික නැව් සමාගම්වලට ඔවුන්ගේ නාවික ව්‍යාපාරය කරගෙන යන්න ඉඩ දීල, අනවශ්‍ය බදු ගහන්නේ නැතිව, ඒ ව්‍යාපාරවලට අවශ්‍ය වෙනත් පොඩි පොඩි සේවා සපයමින් විදේශ මුදල් තමන් වෙතට අද්දවා ගැනීම. උදාහරණයක් විදිහට marine surveys, training needs, crewing. ඔය කීපයක් විතරයි.

 මේක ඇත්තටම මාරම විදිහේ win - win situation එකක්. එහෙමත් නැතිනම් දෙපාර්ශ්වයටම තනි තනියම ළඟා වෙන්න බැරි ඉලක්ක වෙත එකතු වෙලා ළඟාවීමක්.

 විදේශ සමාගම් තමන්ගේ ව්‍යාපාරය කරගෙන යනවා බදුවලින් බේරිලා, ඒ අතරේ පැනමාව වගේ පුංචි රටවල් අර විශාල සමාගම්වලට අවශ්‍ය පොඩි පොඩි සේවාවන් සපයල ඉතා විශාල විදේශ විනිමයක් ජනිත කරගන්නවා. (නැව්වලට සපයන පොඩි පොඩි සේවාවන්වලින් ජනිත වෙන ආදායම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.)

 මේ ව්‍යාපාරය සරුවටම කරගෙන යන එක රටකවත් මහා බලවතුන් නෙමෙයි. මහ ලොකුවට කාර්මිකරණය වුණු රටවලූත් නෙමෙයි. ඇයි ඉතින් අපිටත් මේක කරන්න බැරි? එයට ප‍්‍රධානතම හේතුව තමයි, අපේ තියෙන මස් රාත්තලම ඕනේ කියන මානසිකත්වය.

 ”අම්මෝ, අර විදේශීය නැව් සමාගම්කාරයෝ එච්චර ලොකු ලාභයක් ලබනවා නම් උන්ව බදුවලින් නිදහස් කරලා කොහොමද? ටැක්ස් හොලිඬේස් එහෙම දෙන එක මහා අපරාධයක්නේ. ඔය කොම්පනිකාරයෝ මෙහෙට නොඑන තරමට ගහන්න ඕනේ හොඳ බද්දක්.” දැනට ලංකාවේ තියෙන නීතිරීති හදල තියෙන්නේ මෙන්න මේ වගේ මානසිකත්වයක ඉඳල. 1971 හදපු වෙළෙඳ නාවික පනතේ පුංචි පුංචි වචන කීපයක් වෙනස් කරලා අපිට මේ වැඬේ පටන් ගන්න පුළුවන් ලස්සනට.

 විදේශ විනිමය හුවමාරු පනතත් ටිකක් සංශෝධනය කරන්න වෙයි!

 වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, වරාය සහ නාවික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නැව් සංස්ථාව, වරාය අධිකාරිය, ඇටෝර්නි ජනරාල් දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිසම වගේ තවත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කීපයක් එකතු වෙලා වැඩ කරන්නත් වේවි. සාමුහික තීන්දු තීරණ (cooperate decisions) ගන්නත් සිදු වේවි!

 පොඩි ප‍්‍රවර්ධන සහ ප‍්‍රචාරණ වැඩ ටිකකුත් කරන්නත් වේවි. අපේ තානාපති නිලධාරීන්ගේ සහයත් ලබා ගන්න වේවි! නැව් හිමිකරුවන්ට හොඳ පාරිභෝගික සේවාවක් ලබා දෙන්නත් වේවි. ඔය වගේ තව කරන්න පොඩි වැඩ ටිකක් තියේවි.

 එක නැවක් පැයකින් ප‍්‍රමාද වෙනවා කියන්නේ ඩොලර් දහස් ගාණක පාඩුවක් වෙන බවත්, එහෙම පාඩු විඳගන්න කිසිම ව්‍යාපාරිකයෙක් කැමති නැති බවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට කියාදෙන්නත් වෙනවා.

 හැබැයි මේ ඔක්කොටම කලින් මස් රාත්තලම ඕනේ කියන මානසිකත්වයෙන් අපිට මිදෙන්නම වෙනවා.

 ඒ කියන්නේ දැනට පවතින නීති රීති පොඞ්ඩක් සැහැල්ලූ කරලා, ඉස්සෙල්ලම ගෙදරට එන්න දොර ඇරලා දෙන්න ඕනේ. අනිත් ඉතාම වැදගත්ම දේ මේකයි. මේක අපිට, අපේ රටට අලූතෙන් කාබන් / දුම් අංශුවක්වත් එකතු කරගන්නේ නැතිව ගෙන්න ගන්න තියෙන ඩොලර් කන්දක්. ඒ කියන්නේ, ඔය කියපු විදිහට නැව් ලංකාවේ ලියාපදිංචි කළා කියල අපේ පරිසර පද්ධතියට කිසිම විනාශයක් වෙන්නෙත් නෑ. මොකද ඔහොම ලියාපදිංචි වෙන නැවක් අඩුම ගාණේ තමන්ගේ ජීවිත කාලෙටම එක වතාවක්වත් තමන් ලියාපදිංචි වෙලා තියෙන රටට නොගිහින් තියෙන්න පුළුවන් සම්භාවිතාවය ඉතාම වැඩි.

 ඒ කියන්නේ, මේක 100% ක් ම හරිත වර්ණ ව්‍යාපෘතියක්. තව දුරටත්, අපි මේක කරන්නම ඕනේ ඇයි කියනවා නම්,

 ලොකු ආයෝජනයක් ඕනේ නෑ, පරිසර දූෂණයක් වෙන්නෙම නෑ, අපේ කමට / අපේ සංස්කෘතියට ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ.

 එතකොට විචාරශීලී ඕනෙම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ හොඳ පැත්තක් විතරයිනේ තියෙන්නේ. මාර බිස්නස් එකක්නේ කියල. ඒ සැකේ සාධාරණයි. ඇත්තටම ඉතින්, එහෙම වෙන්න පුළුවන්ද? මේ වැඬේ කරන්න අපිට සෑහෙන්න මහන්සියක් දරන්නම වෙනවා.

 කවුද ඉතින් එහෙම මාන්සි වෙන්නේ? අලූතින් හිතන්නේ? සෙනසුරාදා, ඉරිදා, පෝය නිවාඩු බලන්නේ නැතිව වැඩ කරන්නේ?? නැව් ප‍්‍රමාද නොවී යාත‍්‍රා කරන්න ගොඩබිමින් සිදුවිය යුතු කාර්යයන් ටික නොපිරිහෙලා ඉටු කර දෙන්නේ? රාජ්‍ය යාන්ත‍්‍රණය යටතේ මේවා කරන්න පුළුවන්ද? පුද්ගලික සමාගමක් එක්ක PPP එකකට ගියොත් කවුරු ඉස්ට‍්‍රයික් කරයිද? දවස් කීයක් එක දිගට ඉස්ට‍්‍රයික් එක තියෙයිද?

 මේ වගේ ප‍්‍රශ්න ගොඩකටත් උත්තර හොයන් ඉන්න වෙනවා මේ වැඬේ පටන් ගන්න කලින්.

 ඒ වගේම කොහොම හරි කරලා, මේ වැඬේ හරියට කරගෙන යන්න අපි පටන් ගත්තොත් අපේ අහිංසක අම්මල /අක්කල වහල් ගෘහ සේවයට මැදපෙරදිග නොයවා ඒ වෙනුවට අපේ තරුණ කොල්ලෝ ටික විදේශීය නැව්වල වැඩට යන ගාණට දියුණු කරන්න පුළුවන්.

ඉස්කෝලෙන් පිටවෙච්ච ගමන් ත‍්‍රීවීල් එලවන්න හිතන් ඉන්න තරුණයෝ පිරිසක්, විදේශීය නැව්වල වැඩට යන්න ගාණට ගේන්න පුළුවන්. ඉතින් ඔය මොකක් කරන්නත්, අපිට සෑහෙන්න මහන්සියක් දරන්න වෙනවා, එහෙම මාන්සි වෙන්න පුළුවන්ද අපිට ඉතින් ජාතියක් විදිහට... ඔන්න ඉතින් අද කතාව කියලා ඉවරයි යන්තම්. ඉතින්, අපි මේ රටට එන්න බලන් ඉන්න විදේශීය සමාගම්වලට එන්න අවශ්‍ය පසුබිම හදලා ඔවුන්ට ආරාධනා කරනවද, නැත්නම් දොර වහල දාල ලොකු නැව් කොම්පනි මෙහෙ තමන්ගේ නැව් ලියාපදිංචි කරන්න එන්නේ නෑනේ කියල කිය කියා තව කල්ප කාලාන්තරයක් මහා මුහුද දිහා බලාගෙන ඉන්නවද? ඉතින් මේ ඩොලර් අරන් ලංකාවට යාත‍්‍රා කරන්න බලන් ඉන්න නැව් ටික හරියටම දකින්න නම්, ජනාධිපතිතුමාට RMV එකට ගියා වගේම ඔය වැඬේ ඉෂ්ට සිද්ධ කරන කන්තෝරුව පැත්තේ චාරිකාවකත් යෙදෙන්නම සිද්ධ වෙනවා!

Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.