Jun
04
රටටම බඩගින්නේ සිටින්න වන තවත් වසංගතයක් අත ළඟ !
කොවිඞ් වසංගතය ලෝකයට කියාදුන් පාඩම් අතර යහපත් සෞඛ්‍ය පුරුදු, ස්වයං ආර්ථික සැලසුම් හා ආහාර සුරක්ෂිතතාව (Food Security) ප‍්‍රමුඛ තැනක් ගනී. එහෙත් මේ සියල්ලක් පහසු නැති, මානවයාට අසීරුවෙන් ගොඩ දා ගත යුතු දැඩි අභියෝගයන්ය. මන්ද, ඉහත කරුණු සාක්ෂාත් කරගැනීම පහසුවෙන් අපට (මානවයාට) කරගත නොහැකි අපහසු ඉලක්ක බැවිණි.
මේ මොහොතේ අප මෙතෙක් ලූහුබැඳ ආ අපගේ ජනප‍්‍රිය මාතෘකාව මොහොතකට අමතක කර දමා ඇත. එනම් දේශගුණික විපර්යාසය. වැඩිමනත් ඒ පිටුපස එන ස්වභාවික ආපදාය. ගොනා පසුපස කැරකෙන රිය සක මෙන් ආපදා නිත්‍ය ලෙසම දේශගුණික විපර්යාස නම් මානවයාගේම මහා සොයාගැනීම පසුපස පැමිණෙමින් තිබේ. කොවිඞ් වසංගතය නොහොත් කොරෝනා වෛරස විටෙක එවන් ප‍්‍රතිපලයකි.
එසේම, අඛණ්ඩ අයිස් කඳු (ග්ලැසියර* දියවීමෙන් ඒ යට පිහිටි, මානවයාට නුහුරු තවත් වෛරස, දිලීර, බැක්ටීරියා සහ වෙනත් විෂ බීජ නහුතයක් ඉදිරි අනාගතයේදී මානවයා ඇතුළු ජීව ලෝකය හඹා එනු ඇති බවට අනාවැකි පළවී තිබේ. තවද, ආක‍්‍රමණික ජීවීන් සඳහා දේශගුණික විපර්යාස ආශිර්වාදයක් වන බැවින් ශාක සහ සත්ත්ව ලෝකය තුළ අප අනුමාන නොකරන තරමේ වෙනස්කම් සිදු විය හැකි බවට අනතුරු හැඟවී ඇත. එසේ වන්නේ නම්, ආහාර සුරක්ෂිතතාවට හා ඒ පසුපස බොහෝ රටවල ස්වයං ආර්ථික නැගිටීමට අප නොසිතන දැඩි බාධා එල්ල වීමට ඉඩ තිබේ. (එය ශ‍්‍රී ලංකාවට ද එක සේ අදාළය.*
මීට කදිම නිදසුනක් ලෙස කාන්තාර පළඟැටියා (Desert Locust) ගේ නැගිටීම සැලකිය හැකිය. අප කොවිඞ් ගැන කතාකරමින් පසුවන අතරේ මේ සත්වයා දැඩි ආක‍්‍රමණිකයකු ලෙස මහාද්වීප හා රටවල් රැුසක පැතිර යමින් සිටී. අප‍්‍රිකානු කලාපයේ වරින් වර පැතිර යන මේ උවදුරින් ආහාර සුරක්ෂිතතාවට දැඩි තර්ජන එල්ලවී ඇති අතර, ආහාර බෝග ඇතුළු ගස් වැල් සියල්ල මෙම සත්වයාගේ ගොදුරු වන බැවින් අප‍්‍රිකානු කලාපයේ දැඩි ආහාර හිඟයක් මතුව තිබේ.
මෙම කාන්තාර පළඟැටි උවදුර මහාද්වීප ඔස්සේ දැනටමත් ආසියාවට ද පැතිර පවතින අතර, මේ වනවිටත් ඉන්දියාවට පැමිණ තිබීම ලංකාවට දැඩි අනතුරකි. පකිස්තානය, බංගලාදේශය වැනි රටවලින් ද වාර්තා වන අතර, ශ‍්‍රී ලංකාවටද පැමිණීමේ ඉඩ කඩ මතුව තිබේ. කොරෝනා තර්ජනය නිම නැති මෙවන් ආපදා මොහොතක කාන්තාර පළඟැටියාගේ ආගමනය ඉහත රටවලට දැඩි හිසරදයක් වී ඇති අතර, එම රටවල ආහාර සුරක්ෂිතතාවට එල්ලවන තර්ජනය යනු එම රටවලින් ආහාර ආනයනය කරන අපේ රටට ද සෘජු තර්ජනයකි. එනම්, කාන්තාර පළඟැටියා අපේ රටට නාවත් අපට බලපෑමක් වන පරිසරයක, මෙම මහා ව්‍යසනය රටට ඇතුළුවීමට ඇති ඉඩකඩ අහුරා දැමීම බලධාරීන්ගේ විශාල වගකීමකි.
එනමුත්, කොරෝනා වෛරස මෙන් ගුවන් තොටුපොළෙන් හෝ වරාය තුළින් කාන්තාර පළඟැටියා එන්නේ නැත. එන්නට ඇති පහසුම මග ඉන්දියාව දෙසින් හමන සුළං ප‍්‍රවාහය සමගය. එනම්, බොහෝවිට මේ තර්ජනය අපට ඇත්තේ ඊසාන දිග මෝසම් සුළං සමයේදීය. ඒ සඳහා තව කල් ඇති බව කෘෂි විද්වතුන් පවසයි. එහෙත්, විමසිල්ලෙන් පසුවන ලෙස ද ඔවුහු ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
මේ විමසිල්ල ඔස්සේ සිටි කුරුණෑගල මාවතගම ජනතාව පසුගියදා හොඳ ඔත්තුවක් කෘෂි බලධාරීන්ට දුන්නේය. පළඟැටි විශේෂයක හානිය නිසා මාවතගම ග‍්‍රාම නිලධාරී වසම් 10 ක පමණ බෝග හානි සිදු වී තිබූ අතර, පොල් ගස්වල මෝරපු කොළ පවා මේ කෘමියා විසින් ගිල දමා තිබිණි. කෘෂි බලධාරීන් තිගැස්සූ මේ පළඟැටි හානිය වාසනාවකට කාන්තාර පළඟැටියාගෙන් නොවූ නමුත්, මේ වනවිට මහනුවර දිස්ත‍්‍රික්කයේ මාවනැල්ල අවට ප‍්‍රදේශයෙන්ද වාර්තා වේ. මෙම හානිය ඇති කරනු ලබන්නේ කහ තිත් පළඟැටියා (Yellow spotted Locust) නම් දේශීයව වෙසෙන පළඟැටියකු බවත්, පවතින දේශගුණික තත්ත්වය යටතේ මොවුන් ආක‍්‍රමණික හැසිරීමකට පත්ව ඇති බවත් පවසන කෘෂි බලධාරීන්, මෙවන් පළඟැටි හානි වෙතොත් වහා දැනුම් දෙන ලෙස ජනතාවට කියා සිටී.
මන්ද, ඒ කොයි මොහොතේ හෝ කාන්තාර පළඟැටියා නම් මාරයා මේ අස්සේ අප රටට කඩා වැදී කොරෝනා වසංගතයට වඩා වැඩි මහා විනාශයක් මෙරටට කරන්නට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතු වන නිසාය.
Source - Divaina