May 07

පාස්කු ප‍්‍රහාරෙට උඩගෙඩි දුන්නු NGO රහස් ගොන්නක් එළියට


පාස්කු ඉරුදින ප්‍රහාරයේ නායක මොහොමඩ් සහරාන්ගේ ත්‍රස්ත පුහුණු කඳවුරු සහ ඒවාට ආධාර අනුබල දුන් රාජ්‍ය නොවන සංවිධානවල ඒජන්තයන් පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබෙමින් පවතී.

මොහොමඩ් සහරාන් ඇතුළු පාස්කු ප්‍රහාරයේ සෙසු ත්‍රස්තයන් සමඟ සමීප ඇසුරක් පැවැත් වූ රාජ්‍ය නොවන සංවිධානයක ඒජන්තවරයකු කල්පිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමත් සමඟ පාස්කු ප්‍රහාරයේ තවත් පැතිකඩක් හෙළිවන්නට පටන් ගත්තේය.

‘සේව් ද පර්ල්’ නමැති මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා කල්පිටියේ මදුරන්කුලිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ ඉකුත් තුන්වැනි දින පස්වරුවේදීය. පාස්කු ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනවලදී හෙළි වූ කරුණු මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් කල්පිටිය ප්‍රදේශයට පිටත්ව ගොස් තිබිණි.

සැකකරු පදිංචිව සිටින්නේ කල්පිටිය 4 වැනි හරස් වීදිය ප්‍රදේශයේය.

ඔහු සිය රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය පවත්වාගෙන යන්නේ කල්පිටිය මදුරන්කුලිය අසාර්නගර් ප්‍රදේශයේය. එහි මූලස්ථානය මෙම සැකකරු විසින් ත්‍රස්ත පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද භාවිත කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි විය.

ඉස්ලාම් ධර්මය ඉගැන්වීමේ මුවාවෙන් තෝරා ගනු ලැබූ තරුණයන් පිරිසකට කුරානයේ ඇතැම් ඉගැන්වීම් විකෘති කරමින් මෙම මධ්‍යස්ථානය තුළ ඉස්ලාම් අන්තවාදී අදහස් උගන්වා ඇති බවද මූලික විමර්ශනවලදී හෙළිව ඇත.

මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියාගේ සමීපතම මිතුරකු වූයේ මොහොමඩ් සහරාන්ය.

ලොව කම්පා කරමින් මෙරට සිදුවූ බිහිසුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කිරීමට නායකත්වය ලබා දුන් මෙම ත්‍රස්තවාදියා සමඟ සමීප ඇසුරක් පැවැත්වූ මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා සිය සංවිධානයේ මූලස්ථානයද සහරාන්ට ලබාදී තිබුණේ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම සඳහාය.

මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් වන පාස්කු ප්‍රහාරයේ නායකයා ජාතික තවුහිද් ජමාත් සංවිධානය තුළ හදුන්වා ඇත්තේ ‘අබු උබයිදා’ යන ගෞරව නාමයෙනි. ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානයක් වන අයිඑස්අයිඑස් සංවිධානයද සිය ත්‍රස්තවාදීන් සඳහා ‘අබු’ යන ගෞරව නාමය ලබාදී තිබේ.

වර්ෂ 1985දී කාත්තන්කුඩිය ප්‍රදේශයේදී සහරාන් උපත ලබා ඇත. ඒ හයාන් මොහොමඩ් සහ සමීනා හෂීඩ් යන දෙදෙනාට දාවය. දරුවන් පස්දෙනකුගෙන් යුතු සහරාන් එම පවුලේ වැඩිමහල් දරුවා විය.

සහරාන් උසස් අධ්‍යාපනයක් ලබා නැත. ඔහු සාමාන්‍ය පෙළ විභාගය දක්වා පමණක් ඉගෙන ගෙන ඇත්තේ කාත්තන්කුඩි රජයේ පාසලෙනි. සාමාන්‍ය පෙළින් පසුව දේව ධර්මය ඉගෙන ගැනීම සඳහා එහි විද්‍යාලයකට ඇතුළත් වුණු සහරාන් 2007 වර්ෂයේදී විනය හේතුවක් මත එම විද්‍යාලයෙන්ද නෙරපනු ලැබීය.

කුරානයේ ඉගැන්වීම් පිළිබඳ සහරාන් සිය ආචාර්යවරුන් සමඟ මත ගැටුමක් ඇති කරගෙන තිබුණු බවද පැවැසේ. සහරාන් තමාගේ මතවාදය ඇසුරින් ඉස්ලාම් අන්තවාදයක් ගැන පැවැසීමත් සමඟ මෙම මත ගැටුම උග්‍ර වී ඇති බව ද සඳහන් වේ.

ඔහුගේ ආචාර්යවරුන් ඔහු නෙරපුවද ඔහු තමාගේ අන්තවාදී අදහස් වැපිරීමේ ක්‍රියාව නතර කර නැත. කුඩා කල සිටම හිතුවක්කාරී අදහස්වලින් පිරුණු සහරාන් කුරුණෑගල, නාරම්මල, කැකුණගොල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් 2010 වසරේදී විවාහ කර ගත්තේය.

අබ්දුල් කාදර් ෆාතිමා නමැති ඇය පාස්කු ප්‍රහාරයෙන් පසුව සහරාන්ගේ සැලසුම පරිදි සිය පවුලේ උදවිය සහ සෙසු ත්‍රස්ත සාමාජිකයන් සමඟ නැඟෙනහිර පළාතට පලාගොස් සිටියදී සයින්දමරුදුහිදී ආරක්ෂක අංශ සමඟ සිදු වූ ගැටුමෙන් පසු දියණිය සමඟ දිවි ගලවා ගත්තාය. නමුත් සහරාන්ගේ අට හැවිරිදි පිරිමි දරුවා මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.

ඇය මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇයගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටිති.

කුරානයේ ඉගැන්වීම් විකෘති කරමින් කටයුතු කළ මොහොමඩ් සහරාන් ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට බැ¾දිණි.

අනතුරුව එම සංවිධානයේ සාමාජිකයන් සමඟද මත ගැටුමක් ඇති කරගත් මොහොමඩ් සහරාන් 2017 වර්ෂයේ මාර්තු 10 වැනි දින ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයෙන් ඉවත් වී ජාතික තවුහිද් ජමාත් නම් සංවිධානය බිහි කරගත්තේය.

සහරාන් කුඩා කල සිට දක්ෂ කථිකයෙක් වූයේය. ඔහුගේ මතවාදයක් වෙනුවෙන් දැඩිව පෙනී සිටි සහරාන් තමාගේ මතවාදයට අනෙකාද කැමැති කරවා ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගත් අයකු බවද පැවැසේ.

ඉස්ලාම් අන්තවාදයක් මඟින් ජාතික තවුහිද් ජමාත් නම් ත්‍රස්ත සංවිධානයට සාමාජිකයන් බඳවා ගත් මොහොමඩ් සහරාන් ලොව බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කල්පිටිය, මදුරන්කුලිය ප්‍ර‍දේශයේදී අත්අඩංගුවට ගැනුණු රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියාද සහරාන්ගේ මතවාද වෙනුවෙන් පෙනී සිටි අයකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ මෙම ත්‍රස්තවාදී ජාලය සතුව තිබූ රුපියල් බිලියන ගණනක මුදල්ද ආරක්ෂක අංශ මඟින් සොයා ගනු ලැබීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය වෙනුවෙන් ලොව විසිරී පැතිරී සිටින ඉස්ලාම් අන්තවාදී සංවිධාන විසින් රුපියල් මිලියන ගණන් මුදල් මෙම සංවිධානය වෙත බැර කර තිබූ බවද විමර්ශනවලදී හෙළි විය.

අත්අඩංගුවට ගත් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා පිළිබඳ විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඔහු විසින් පවත්වාගෙන යනු ලැබූ එම සංවිධානයේ කාර්යාලයක් සොයා ගන්නට හැකි වූයේ කොළඹ මෝදර ප්‍රදේශයෙනි.

එම කාර්යාලය පිහිටියේ මුස්ලිම් පල්ලියක දෙවැනි මහලෙහිය. අන්තවාදී අදහස් වපුරන ආකාරයේ පොත්පත්, ලිපි ලේඛන සහ විශාල ගණනින් මුදල් ලැබුණු බැංකු රිසිට්පත් රැසක්ද එහි තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉකුත් හතර වැනිදා හැකි විය.

එම පල්ලිය තුළ ඉතා සූක්ෂ්ම ලෙස මෙම කාර්යාලය පවත්වාගෙන ගිය සැකකරුගේ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් බැර කළ පුද්ගලයන් පිළිබඳවද එම බැංකු රිසිට්පත් මඟින් හෙළිදරව් විය. පාස්කු ප්‍රහාරයේ වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් පවතින එම මුස්ලිම් පල්ලියේ කාර්යාලයටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වහාම මුද්‍රා තබන ලදී.

එමෙන්ම අත්අඩංගුවට ගැනුණු සැකකරුගේ රාජ්‍ය නොවන සංවිධානයේ මූලස්ථානය පිහිටි කල්පිටිය, මදුරන්කුලිය ප්‍රදේශයේ ත්‍රස්ත පුහුණුවීම් මධ්‍යස්ථානය තුළ ද අන්තවාදී අදහස් වැපුරූ පොත්පත් සහ ලිපි ලේඛන ගණනාවක් ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන ඇත. එම මධ්‍යස්ථානයටද විශේෂ ආරක්ෂාවක් සපයා ඇත්තේ ඉදිරි විමර්ශන කටයුතු පහසු කරගනු පිණිසය.

මොහොමඩ් සහරාන් විසින් පවත්වාගෙන යනු ලැබූ ත්‍රස්ත පුහුණුවීම් මධ්‍යස්ථාන රැසක් පාස්කු ප්‍රහාරයෙන් පසු සොයා ගනු ලැබිණි.

අත්අඩංගුවේ පසුවන රාජ්‍ය නොවන සංවිධානයේ මහ ඒජන්තවරයාගේ මධ්‍යස්ථානයද සහරාන් විසින් තම පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ. තෝරා ගත් තරුණයන් එම පුහුණු මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් ඉස්ලාම් අන්තවාදය ඔවුන්ගේ මොළවලට කාවද්දා ඇති බවද අනාවරණය වෙමින් පවතී.

කල්පිටිය, මදුරන්කුලියෙහි පිහිටි මෙම ත්‍රස්ත පුහුණු මධ්‍යස්ථානයට නිතර ආ ගිය ත්‍රස්තවාදීන් දෙදෙනකු වන්නේ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් යන සොහොයුරන් දෙදෙනාය.

පාස්කු දින ප්‍රහාර මාලාවේ අවසන් පිපිරීම වාර්තා වූයේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ තෙමහල් නිවෙසක් තුළය. එය මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන්ගේ බිරින්දෑවරුන් සහ ඔවුන්ගේ දරුවන් සැඟවී සිටින නිවෙසක් බවට හෙළිවීමත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එදින මෙම නිවෙස වටලනු ලැබීය.

එදින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනකු දිවි පිදුවේ ත්‍රස්තවාදී කත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ගැනීමත් සමඟය. ඉන් ත්‍රස්තවාදීන්ගේ දරුවෝ කිහිපදෙනෙක්ද ජීවිතක්ෂයට පත්වූහ.

මෙම නිවෙසේ හිමිකරු වන්නේ ප්‍රසිද්ධ පෙළේ කුළුබඩු ව්‍යාපාරිකයකු වන මොහොමඩ් යූසුක් මොහොමඩ් ඊබ්‍රාහිම්ය. කොළඹ ප්‍රධාන හෝටල්හි මරාගෙන මැරුණු ඉල්හාම් අහමඩ් සහ ඉන්ෂාෆ් අහමඩ් යන දෙදෙනා ඔහුගේ පුතුන් දෙදෙනාය. මෙම කුළුබඩු ව්‍යා‍පාරිකයාද මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.

දැනට අත්අඩංගුවේ පසුවන රාජ්‍ය නොවන සංවිධානයේ ඒජන්තයා සමඟ ඉන්ෂාෆ් අහමඩ් සමඟ දුරකථන ඇමතුම් එකසිය හැට හතක් හුවමාරු කරගෙන ඇති බවද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ.

මින් පෙනී යන්නේ එය රාජ්‍ය නොවන සංවිධානයේ මහ ඒජන්තයා මෙම පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයන් සමඟ සමීප ඇසුරක් පවත්වා ගනිමින් අන්තවාදී අදහස් වපුරමින් ත්‍රස්ත ජාලය සඳහා අන්තවාදී තරුණයන් එක්කාසු කර ගැනීමට උත්සාහ දරා ඇති බවටය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු වැඩිමහල් සහෝදරයා වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් ආන්‍ෙදා්ලනාත්මක වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරුද වේ. 1986 වර්ෂයේ උපන් ඔහු විවාහකයකු වන අතර පාස්කු දින ප්‍රහාරයට පෙර දින ඔහු සිය බිරියට විදෙස් ගතවන බව පවසමින් නිවෙසින් පිටත්ව ගොස් තිබිණි.

පාස්කු ප්‍රහාර මාලාවේ අදුරු හෝරාවක් වන පෙරවරු 9.12ට ඉන්ෂාෆ් අහමඩ් විසින් ත්‍රස්තවාදී ඉලක්කය සපුරා ගනු ලැබුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිටි දෙස් විදෙස් ජාතිකයන් පිරිසක් ලේ විලක් මැද නිහඬ කරවමිනි.

ඔහුගේ බාල සොහොයුරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් කල්පිටියේ පිහිටි මෙම පුහුණු මධ්‍යස්ථානයේ දේශකයකු ලෙස සහභාගි වී ඇති බවද දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මොහොමඩ් සහරාන් සමඟම කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සිය ත්‍රස්තවාදී අරමුණ ඉටු කරගත් ඉල්හාම් අහමඩ් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් මූලික සහ පශ්චාද් උපාධි හැදෑරූ අයෙකි. ගුවන්යානා ඉන්ජිනේරුවකු වන ඔහු ඕස්ට්‍රේ‍ලියාවේදී අන්තවාදී අදහස් කෙරෙහි නැඹුරු වී ඇති බවද පැවැසේ.

සහරාන් ප්‍රමුඛ මෙම ත්‍රස්තයන් පිරිස කල්පිටිය, මදුරන්කුලිය මඟින් ප්‍රදේශයේ පිහිටි ත්‍රස්ත පුහුණු මධ්‍යස්ථානයේදී තෝරාගත් තරුණයන්ට පොතපත සහ ලිපි ලේඛන මඟින් අන්තවාදී අදහස් වපුරමින් ඔවුන්ට අවි ආයුධ පුහුණුව පවා ලබාදී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් රාජ්‍ය නොවන සංවිධානයේ ඒජන්තවරයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ විධි විධානවලට අනුව ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් තිබේ.

මොහොමඩ් සහරාන් සිය ත්‍රස්ත පුහුණු කඳවුරු මඟින් ත්‍රස්ත සටන්වලට සරිලන මරාගෙන මැරෙන ත්‍රස්තයන් සේම එම ත්‍රස්තයන්ගේ සහායට කටයුතු කරන දෙවැනි පෙළ ත්‍රස්ත කණ්ඩායමක්ද සකස් කිරීමේ උත්සාහයක් ගෙන ඇති බවද හෙළි වෙමින් තිබේ.

කතෝලික දේවස්ථාන වෙත යාඥාවන් ප්‍රාර්ථනයන් සිදුකිරීමට පැමිණි කතෝලික බැතිමතුන් සේම කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්හි ලැගුම් ගෙන සිටි දෙස් විදෙස් ජාතිකයන්ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනකුද ඇතුළු පුද්ගලයන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයකට දිවි අහිමි කළ තවත් පුද්ගලයන් 400කට අධික පිරිසක් තුවාල කළ මොහොමඩ් සහරාන් නම් ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදියාට ඔහුගේ ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් වචනයෙන් හෝ උදවු කළ සහචරයන් පිළිබඳ විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතී.

සටහන - චාමර අමරසූරිය
ඉරිදා මව්බිමෙන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.