May 17

දළදා පෙරහැරත් දහස් ගණනක් ජිවිතත් බේරාගත් බුද්ධි අංශ මෙහයුම


පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා රටම ලේ විලක් බවට පත්වුවේ මිනීමරු සහරාන්ගේ සැහැසිකම් නිසාවෙනි. සහරාන්ගේ පළමු ප‍්‍රහාරය සාර්ථක වුවත් දෙවැනි ප‍්‍රහාරයේ සුලමුල සොයා දිවා රැ නොබලා කටයුතු කළ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරින්ගේ විශිෂ්ට රහසිගත මෙහෙයුම නිසා සහරාන්ගේ සහචරයින්ගේ සියලූ බලාපොරොත්තු බිඳ වැටෙන්ට විය.

  පළමු ප‍්‍රහාරය නිසා දේවස්ථාන තුනක, හෝටල් තුනක සහ නිවසක පිපිරීම් අටක් එකම දිනක සිදුව තුන්සියයකට ආසන්න පිරිසක් මරු තුරුළට ගියහ. ඒ සමග ස්වර්ගයට ගොස් කන්‍යාවියන් හැත්තෑ දෙකක් ලබා ගන්නට ගිය සහරාන් ප‍්‍රමුඛ මිනීමරු තිරිසනුන්ට යන්නට සිදුවූයේ අපායට විය යුතුය. ඒ කිසිවෙකුටත් වරදක් නොකරන ලද අහිංසකයින් පිරිසක් බෝම්බයකට ගොදුරු කොට වේදනාකාරි මරණයකට ලක් කිරීම නිසාය.

 නමුත් දෙවන ප‍්‍රහාරයේ ඉලක්කය ඊටත් වඩා දරුණුය. බලාපොරොත්තුව වූවේ ජීවිත දහස් ගණනක් බිළි ගැනීමය.

 ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව සුන්නි සහ ෂියා යනුවෙන් කොටස් දෙකකට අයත් වෙති. ඉන් අනූනවයි දශම පහක් සුන්නි නිකායට අයත්ය. ෂියා නිකායට අයත් පිරිස සියයට දශම පහකි. සුන්නි නිකායට අයත් පිරිස කොටස් හතරකට බෙදේ. ඒ තබ්ලික් ජමාත්, තවුහිද් ජමාත්, සුන්නතුල් වල් ජමාත් සහ ශී‍්‍ර ලංකා ජමාතේ ඉස්ලාමියා යන නිකායවල් සතරටය. වැඩිම මුස්ලිම් ජන කොටසක් වන 80%ක් තවුහිද් ජමාත් නිකායට අයත් වෙති. මොහමඞ් සහරාන් හසිම් අයත් වන තවුහිද් ජමාත් සංවිධානයට සිටින්නේ 80%ක ජන කොටසකි.

 තවුහිද් ජමාත් සංවිධානය ද කොටස් හතරකට බෙදේ. ජාතික තවුහිද් ජමාත්, ශී‍්‍ර ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත් සහ ජමාතේ අන්සාර් සුන්නතුල් මොහමදියා යනුවෙනි. නමුත් පසුගිය ප‍්‍රහාරයට මුල්වූයේ සහරාන්ගේ ජාතික තවුහිද් ජාමාත් ( එන්. ටී. ජේ.) සහ ශ‍්‍රී ලංකා ජාමාතේ මිල්ලතේ ඉස්ලාමියා සංවිධානයෙන් බිහිවූ ජාමාතේ මිල්ලති ඉබාහිම් (ජේ. එම්. අයි.) නමැති කණ්ඩායම් දෙකෙහි පිරිස් එකට එක්ව සැදු විලයාඞ් සෙයිලාන් නමැති සංවිධානයයි.

කාත්තන්කුඩියේ පදිංචිකරුවෙක් වන මොහමඞ් සහරාන් විසින් එන්. ටී. ජේ. සංවිධානයට නායකත්වය දුන් අතර ජේ. එම්. අයි. සංවිධානයට නායකයෙක් නොසිටියේය. එය සමාජ ජාලා හරහා ක‍්‍රියාත්මක වෙමින් අයි.එස්. අයි. එස්. සංවිධානය හරහා සෘජු සම්බන්ධකම් පැවැත්වුවේ මෙම පිරිසය. මේ වන විටත් අයි. එස්.අයි.එස්. සංවිධානයේ ක‍්‍රියාකාරීව කටයුතු කරන දැනට සිරියාවේ හෝ ඉරාකයේ සිටිනවා යැයි සිතන මොහමඞ් අරුස් සහ අබ්දුල් අමිස් සමග ජේ. එම්. අයි. සංවිධානයේ මොහමඞ් ලතිප් ජමිල් දිගින් දිගටම සම්බන්ධකම් පවත්වන්නට විය.

 2016 වසරේදී කල්මුනේ මරදමුනේ ප‍්‍රදේශයේ ගුරුවරයෙක් වූ හුස්නි මුබාරාක්ගේ විවාහ උත්සවය පැවැත්වුණි. ඒ සඳහා ඔවුන්ගේ මිතුරන් වූ කාත්තන්කුඩියේ සහරාන් සහ ජේ. එම්. අයි. සංවිධානයේ පිරිස් ද මරදමුණට පැමිණයහ. ඒ අවස්ථාවේදී ඔවුන් සහරාන් සමග මිතුරු වන්නට විය. මංගල උත්සවයෙන් පසුව මෙම පිරිස සහරාන්ගේ කාත්තන්කුඩියේ නිවසට ද ගියහ. එයින් පසු සහරාන් සමග මිතුදම වැඩි වූ අතර අවසානයේ ජේ. එම්. අයි පිරිස් ද සිය නායකයා වශයෙන් සහරාන් පත් කරගන්නට විය.

 ඉන් පසුව පිරිස අන්තවාදි සහරාන්ගේ නායකත්වය යටතේ අයි. එස්. අයි. එස්. සංවිධානයේ සහය දිගින් දිගටම ලබා ගනිමින් රහසිගතව සිය අන්තවාදී සංවිධානයේ කටයුතු සිදු කරගන්නට විය. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප‍්‍රහාරයට පැමිණි බොහෝ පිරිසක් ජේ. එම්. අයි. සංවිධානයේ පිරිස්ය. කින්ස්බරි හෝටලයේ බෝම්බකරු මොහමඞ් අෂාම්, සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරු ඉන්පාස් ඉබ‍්‍රාහිම්, සහරාන් සමග ෂැංග‍්‍රිලා හෝටලයට ගිය බෝම්බකරු වූ ඉල්හාම් ඉබ‍්‍රාහිම් ද ජේ.එම්.අයි. සංවිධානයට අයත්ය.

 පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව දිගින් දිගටම බුද්ධි අංශ දන්වා සිටිය ද බළධාරින් ඒ ගැන කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගත්හ. මෙම ප‍්‍රහාරයට දින කිහිපයකට ඉහතදී කාත්තන්කුඩියේ පොල් වත්තක යතුරු පැදියක ඇටවූ බෝම්බයක් පුපුරුවා අත්හදා බැලීම් සිදු කරද්දී බුද්ධි අංශ එය ද දැනුම් දුන්නත් බළධාරිහු බීරි අලින්සේ සිටින්නට වූහ. අවසානයේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සිය ගණනක මිනිස් ජීවිත අහිමිව මහා විනාශයක් සිදු වීය.

 සහරාන්ගේන් පසුව නායතක්වය හිමිව තිබුණේ නවුපර් මව්ලවිටය. ඔහු මඩකලපුවට එමින් සිටියදී රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් මත දඹුල්ලේදී අත්අඩංගුවට ගන්නා ලදි. ඒ අනුව සහරාන්ගේ ඉතිරි හෙංචයියෝ දැඩිසේ කලබලයට පත්වන්නට වූහ. සහරාන් මිය යෑමට මත්තෙන් සිය සොහොයුරා වූ මොහමඞ් රිල්වාන්ට දෙවැනි ප‍්‍රහාරය සිදු කිරීමේ වගකීම භාරදි තිබුණි. ඒ සඳහා ඔහුට රුපියල් කෝටි තුනක්, ටී. 56 ගිනි අවි, පුපුරන ද්‍රව්‍ය සහ සහරාන්ගේ ලැප්ටොප් යන්ත‍්‍රය ද දෙන ලදි. ඒ අනුව මොහමඞ් නියාස් හරහා අම්පාර කල්මුනේ ආදි ප‍්‍රදේශවලින්් ආරක්ෂිත නිවාස කිහිපයක් කුළියට සහ මිලට ගැනීමට මොහමඞ් නියාස් කටයුතු කරන්නට වූවේය. ඒ සමගම වෑන් රථ දෙකක්ද මිලට ගෙන දෙවන ප‍්‍රහාරයට ඔවුහු ලක ලැහැස්ති වන්නට වූහ.

 දෙවැනි මරාගෙන මැරෙන ප‍්‍රහාරය සඳහා දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ වන විටත් සහරාන් විසින් සූදානම් කර තබා තිබුණී. ඔවුන් අතර සහරාන්ගේ සොහොයුරන් දෙදෙනා වූ මොහමඞ් රිල්වාන් සහ මොහමඞ් ෂයිනිද, පළමුවෙනි ප‍්‍රහාරයෙන් මිය ගිය අයගේ බිරින්දෑවරු ඇතු`ඵ පිරිසක් ද සිටියහ.

 පළමු ප‍්‍රහාරයෙන් දින කිහිපයක් ගත වෙද්දි එනම් 25 වැනි දින රාජ්‍ය බුද්ධි සේවා අම්පාර ඒකකයේ නිලධාරින්ට ඉතා වැදගත් තොරතුරක් ලැබුණි. ඒ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර කටුවාපිටිය පල්ලිය පිටුපස ප‍්‍රදේශයේ සිට අපේ‍්‍රල් 10 වන දින සැකකටයුතු භාණ්ඩ රැුසක් ලොරි රථයකින් අම්පාර සමන්තුරේ සහ නින්දවුර් ප‍්‍රදේශවලට රැුගෙනවිත් ඇති බවටය. ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර නිලධාරින් කඩිනමින් කි‍්‍රයාත්මක විය. එම ලොරි රථයේ රියදුරු ඉතා ඉක්මනින් කල්මුනේට ගෙන්වා එම නිවාස දෙක සොයා මෙහෙයුමක් දියත් කරන්නට වූහ.

ඔහු රථයට නංවාගෙන නින්දවුර්, සමන්තුරෙ ආදි ප‍්‍රදේශවල සැරිසරුවත් ජීවිතයේ එක් වතාවක් පමණක් පැමිණි තිබුණු නිසා ලොරි රථයේ රියදුරුට එම නිවාස දෙක සොයා ගැනීම වැල්ලේ වැටුණුු ඉදිකට්ටක් සොයනවා මෙන් අමාරු කාරියක් විය. ඔයා හොඳට කල්පනා කරලා බලන්න ඒ ගමනේ මතක තියෙන විශේෂ ස්ථානයක් හරි විශේෂ සිදුවීමක් හරි මතක් වෙනවද කියලා යැයි අම්පාර බුද්්ධි සේවයේ ප‍්‍රධානියා ඔහුට පවසා සිටින්නට විය. ඔහු නිහඬව අහස දෙස බලා කල්පනාවේ නියැලෙන්නට වූවේය.

 ආ.... මට මතකයි මම එක තැනකින් සරුවත් වීදුරුවක් බීවා. ඉතිරි ටික මම එතන ඇළකට දැම්මා යැයි කීවේය. මොහොතක් ගත වුණි. රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීහු සැනෙකින් ක‍්‍රියාත්මක වන්නට වූහ. ඒ වැනි ස්ථාන දහයක් පමණ සොයා ගන්නට හැකි විය. නමුත් අදාළ ස්ථානය ලොරි රථයේ රියදුරා විසින් හඳුනා ගන්නා ලදී. එතැන් සිට සමන්තුරේ ප‍්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර් දෙකක් දුරින් පිහිටි සෙන්ගල් ග‍්‍රාමයේ කොළඹින් ගෙනා බඩු බෑ ස්ථානය සොයා දෙන්නට මග පෙන්වන්නාට හැකි විය. ඒ සමගම නින්දවුර් තියටර් මාවතේ අනෙක් ස්ථානය ද පෙන්වා දීමට ඔහුට හැකි වූවේය.

මේ ස්ථාන දෙක හඳුනා ගන්නට පෙර රාජ්‍ය බුද්ධි අංශ නිිලධාරින්ට තවත් ආරක්ෂිත නිවාස තිබෙන බව ඉව වැටි තිබුණි. විසිහය වැනි දින දහවල පසුව හෝරා කිහිපයක් ගත වන්නට විය. රාජ්‍ය බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරු ඔස්සේ රහසිගත මෙහෙයුමක් සකස් වෙමින් තිබුණි. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ කල්මුණේ භාර පොලිස් අධිකාරි ප‍්‍රියදර්ශන හේරත් මහතාගේ මග පෙන්වීමෙන් පොලිස් නිලධාරි කණ්ඩායමක් සූදානම් වන්නට වූහ. ඒ සමගම විශේෂ කාර්ය බළකායේ අම්පාර කලාප භාර අණදෙන නිලධාරි පොලිස් අධිකාරි අතුල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරි පිරිසක්ද රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරි පිරිසක් ද සවස 3.30 වන විට සමන්තුරේ සෙන්ගම් ග‍්‍රාමයට පිටත්ව ගොස් එම නිවාස වටලන්නට වූහ.

 එම වසා දමා තිබුණු කාමරයේ දොර විවර කර පරීක්ෂා කර බලන විට දුටු දෙයින් ඔහු පුදුමයට පත්වන්නට වූහ. දහස් ගණනකගේ ජීවිත බිළි ගන්නට දෙවෙනි ප‍්‍රහාරයට ගෙනා පුපුරන ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් ඇතු`ඵ බෝම්බ සෑදීමට ගන්නා දේවලින් එම ගබඩාව පිරි ගොස් තිබුණි. ඒ සමගම 24 සේනාංකය භාරව කටයුතු කරනු ලැබූ සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතාට මේ පිළිබඳව දැනුම් දුන් පසුව යුද හමුදා භට පිරිසක් සමග ඔහු ද කඩිනමින් එම ස්ථානයට පැමිණෙන්නට විය.

 ඊට පසුව රාජ්‍ය බුද්ධි නිලධාරින්ගේ ඊළඟ ඉලක්කය වූවේ නින්දවුර් තියටර් මාවතේ පිහිටි සහරාන්ගේ ආරක්ෂක නිවහනය. ඒ වනවිට අම්පාර නායකයා වශයෙන් කටයුතු කරනු ලැබූ මොහමඞ් නියාස්ට ආරක්ෂක අංශ විසින් සමන්තුරේ ගබඩාව වැටලූ බව තොරතුරු ලැබු තිබුණී. ඒ අවස්ථාව වන විට සහරාන්ගේ මව පියා සහ සහරාන්ගේ බිරිඳත් සහරාන්ගේ සොහොයුරා වන රිල්වාන් ඇතුළු කිහිප දෙනෙකු සිටියේ සයින්දමරුදු වොලිවොරියන් කුළියට ගත් නිවසේය.

 කල්මුනේ ෂීයාම් නම් සහරාන්ගේ තවත් සහචරයකුගේ මාමා කෙනෙකුගේ පාලමුනේ නිවසේ සහරාන්ගේ අනෙක් සොහොයුරා වන මොහමඞ් ෂයිනි, මොහමඞ් නියාස් සහ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට එක්වූ අයගේ බිරින්දැවරුන් වන සාරා, පිරෝසා ඇතුළු පිරිසක් එහි සිටින්නට විය.

 පාලමුනේ සිටි මොහමඞ් නියාස් වොලිවෝරියන් නිවසේ සිටි රිල්වාන්ට කෝල් කරන්නට වූවේය. බුද්ධි අංශයේ අයයි, පොලිසියයි එස්.ටී.එෆ්. එකයි අපේ ගබඩාව අල්ලලා. අපි දැන් කොටු වෙන්නයි යන්නේ. අපි පාලමුනේ ඉඳන් එනවා. මගදි පොලිසියෙන් හරි හමුදාවෙන් හරි චෙක් කරොත් අපි බ්ලාස්ට් කරගන්නවා. වෙපන් එක වහල උඩ තියෙනවා එක අරගන්න. යයි පවසා සිටින්නට වූවේය.

 ඒ සමගම මගදි අවශ්‍ය වුවොතින් පුපුරවා ගැනීමට මඩකලපුව බෝම්බකරුගේ බිරිඳ වූ රහිමා පිරෝෂාට සහ කටුවාපිටිය බෝම්බකරු වූ හස්තුන්ගේ බිරිඳ වූ පුලස්තිනි රාජෙන්දන් නොහොත් සාරාට මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇඳ ගන්නා ලෙසට මොහමඞ් නියාස් පවසා සිටින්නට විය.

 පාලමුනේ නිවසේ සිටි සහරාන්ගේ සොහොයුරා වූ මොහමඞ් සයිනි කල්මුනේ නියාස්ට රුපියල් ලක්ෂ 50 ක් සහ සහරාන්ගේ ලැප්ටෝප් පරිගණකය දී මේක පරිස්සන් කරලා තියා ගන්න. මේකේ ඔක්කෝම තොරතුරු තියෙනවා යැයි පවසා සිටියේය. මොහොතකින් පාලමුනේ සිටි පිරිස වෑන් රථයට ගොඩව සයින්දමරුදු වොල්වෝලියන් නිවසට එද්දි කල්මුණේ සියාම් පොලිසිය සහ හමුදාව මග හරිමින් යතුරු පැදියක නැගි වෑන් රථයේ සිටි පිරිසට ආරක්ෂාව ලබා දෙමින් ඔවුන් සයින්දමරුදු වලට රැුගෙන එන්නට මග පෙන්වන්නට විය.

 සයින්දමරුදු වෝල්වරියන් නිවසට විශාල පිරිසක් පැමිණි සිටීම නිසා එම නිවසේ හිමිකරු ඇතු`ඵ අසල්වාසීහු ‘ඇයි මෙච්චර කට්ටිය මෙහෙට ආවේ’ කියා විමසා සිටියහ. මෙය ඇසූ හදිසි කේන්තිකාරයෙක් වූ මොහමඞ් නියාස් දැඩිසේ කෝපයට පත් වන්නට වූවේය. නිවෙසින් එළියට පැමිණි ඔහු ‘අපි දැන් මෙතන බෝම්බයක් පුපුරුවා ගන්නවා. අල්ලාගේ නාමයෙන් උඹලා අයින් වෙයල්ලා. සතුරෝ අපිව වට කරලා’ යැයි කියමින් රුපියල් පන්දහසේ මිටියක් මිදුලට විසි කරන්නට විය. එතන සිටි පිරිස මෙම තොරතුරු සමන්තුරය මාර්ගයේ රාජකාරි කරමින් සිටි සමන්තුර පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පවසා සිටින්නට විය.

 ඒ වන විට සමන්තුරේ බෝම්බ ගබඩාව අල්ලා ගත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ නිළධාරින් කොටසක් එහි පරීක්ෂණවලට නතර කර තබා නින්දවුර් සහරාන්ගේ තිප්පොල වටලන්නට ගොස් තිබුණි. මේ අයුරින් ආරක්ෂක අංශ සහරාන්ගේ සහචරයින් හඹා යද්දි වොලිවෝරියන් නිවසේ සිටි පිරිස බෝම්බයක් පුපුරුවා ගන්නට විය. සැනෙකින් නින්දවුර් සිටි ආරක්ෂක අංශ පිරිස් සමන්තුරයට පිටත්ව යන ලදි. ඒ වනවිටත් මෙම සයින්දමරුදු සහරාන්ගේ හොර තිප්පොල රාජ්‍ය බුද්ධි අංශයේ උකුසු ඇසට හසුව තිබුණි. මෙම පිපිරීම සිදු නොවුවත් මොවුන්ගේ ඊළඟ ඉලක්කය වූවේ මෙම සයින්දමරුදු නිවසයි.

 අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, කල්මුණෙ සහකාර පොලිස් අධිකාරි පි‍්‍රයදර්ශන හේරත් යන මහත්වරුන් ඇතු`ඵ පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකායේ අම්පාර කලාප අණදෙන නිළධාරි අතුල රත්නායක මහතා ඇතුළු නිලධාරීන්, යුද හමුදාවේ 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා ඇතු`ඵ යුද හමුදා නිලධාරින් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින් ඇතු`ඵ බුද්ධි අංශ එම නිවස මොහොතකින් වටලන්නට වූහ. එක් පසෙකින් යුද හමුදා සහ අනෙක් පසින් විශේෂ කාර්ය බලකා විරුවෝ වට කොට ප‍්‍රහාර එල්ල කරන්නට වූයේ එම නිවස දෙසින්ද විටෙන් විට ප‍්‍රහාර එල්ල වීම නිසාවෙනි.

 පැය කිහිපයක් ගත වන විට අන්තවාදි පිරිස නිහඬ වන්නට වූහ. ඒ වන විටත් ඔවුන් සිටි නිවස තුළ පිපිරීම් 03ක් සිදුව තිබුණි. රට පුරා ප‍්‍රහාර එල්ල කිරීමට සහරාන් දුන් රුපියල් පන්දහසේ නෝට්ටු මිටි එම නිවස පුරා විසිරි තිබුණි. එම ස්ථානයට දැඩි ආරක්ෂිත රැුකවල් යොදා පසුදා උදෑසනම නැවතත් සෝදිසි කිරීම් අරඹන්නට විය. එම නිවසේ සිටි කුඩා දරුවන් ඇතු`ඵ දහහත් දෙනෙකු මිය ගොස් තිබුණු අතර සහරාන්ගේ බිරිඳ සහ දරුවෙකු පමණක් පණ බේරි තිබුණි.

 රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර ඒකකයේ නිලධාරින්ගේ දැඩි උනන්දුවේ ප‍්‍රතිඵලයක් ලෙස දෙවැනි ප‍්‍රහාරයක් එල්ල කර මැරෙන්න සිටි සහරාන්ගේ සහචරයින් මෙලෙස මිය යද්දි අම්පාර රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින් දැඩිසේ කාර්ය බහුල වන්නට වූහ. ඒ අනුව සහරාන්ගේ බිරිඳ වූ කාදර් පාතිමා හදියාගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමෙන් වැදගත් කරුණු රැුසක් අනාවරණය වන්නට විය. ලැබුණු තොරතුරු ඔස්සේ බුද්ධි අංශය විසින් තවත් රහසිගත මෙහෙයුමක් සකස් කරන්නට වූහ. ඒ කල්මුණේ ෂියාම් අත්අඩංගුවට ගන්නටය. කල්මුණ නගරයේදි ෂියාම් අත්අඩංගුවට ගැනීම බුද්ධි අංශ නිලධාරින් ලැබූ විශාල ජයග‍්‍රහණයක් වන්නට වූහ. ඒ අනුව ප‍්‍රශ්න කිරීම් ඇරඹුණි. ඒ ඔස්සේ පරික්ෂණ පැවැත්වූ බුද්ධි අංශ නිලධාරින්ගේ සහ ආරක්ෂක අංශ සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය සොයා ගන්නා ලදී.

ඒ අනුව සියලූ රහස් හෙළි කරගන්නට බුද්ධි අංශ නිලධාරින්ට හැකිවුණි. මරාගෙන මැරෙන්ට සිටි ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රාහිම් සංවිධානයේ දහඅට දෙනෙකු සොයා ගන්නට හැකි විණි. ඔවුන් අනුරාධපුරය, පොලොන්නරුව, මහනුවර, මාවනැල්ල සහ කුරුණෑගල ආදි රට පුරා විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන්ය.

 ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට දෙවැනි ප‍්‍රහාරයේ සුලමුල මෙන්ම එය වළක්වා ගන්නට හැකියාවක් ලැබුණි. එහි ප‍්‍රධානම ඉලක්ක වුයේ දළදා පෙරහැරයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් රැසක් යොදවා එකවර ප‍්‍රහාරයක් එල්ල කර දහසකට වැඩි පිරිසක් මරා දැමීම සැලැස්ම විය. ඒ සමගම බෞද්ධයන් විශාල පිරිසක් රැුස්වෙන ප‍්‍රධාන විහාර කිහිපයක් සහ කාත්තන්කුඩියේ තේතාතිව් දේවස්ථානය ද මොවුන්ගේ ප‍්‍රධානම ඉලක්කයක් වූහ. එයට හේතුව වූයේ පෙර දමිළ කාන්තාවක් වූ පුලස්තිනි රාජේන්දන් නොහොත් සරා කටුවාපිටිය බෝම්බකරු වූ හස්තුන්ගේ බිරිඳ වන අතර ඇය මෙම දේවස්ථානය හා වෛරයෙන් පසු වීමය.

 මේ ආකාරයෙන් මෙම පිරිස දෙවැනි ප‍්‍රහාරය විහාරස්ථාන සඳහා එල්ල කිරීමට ඇඳුම් පවා මිලදි ගෙන සූදානම්ව සිටි අතර එම ඇඳුම් පවා සොයා ගන්නට බුද්ධි අංශ නිලධාරිහු සමත් වූහ. ඊට අමතරව ඔලූවිල් ප‍්‍රදේශයේ වළ දැමූ ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගත්හ. තව ද ඩ්‍රෝන කැමරා ගුවනට යවා ප‍්‍රහාරයක් එල්ල කිරීමට තිබූ බවට ද බුද්ධි අංශවලට තොරතුරු ලැබෙන්නට වූහ. ඒ අනුව කාත්තන්කුඩිය කුපා පටුමග ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එම ඩ්‍රෝන කැමරාව සහ පුද්ගලයින්ද අත්අඩංගුවට ගත්හ.

 මේ අතර තවත් සුවිශේෂී ස්ථාන කිහිපයක් බුද්ධි අංශ නිලධාරින් විසින් අනාවරණය කරලන්නට විය. ඒ නුවරඑළියේ බ්ලැක්පුල් නිවාසයේ සහ හම්බන්තොට පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථාන දෙකය. ඒවායේදි අවි පුහුණුව, පුපුරන ද්‍රව්‍ය පුහුණුව මෙන්ම මරාගෙන මැරෙන හැටි ද කියා දෙන ලදී. බල නහරය පිහියකින් කපා දමා මිනිසුන් මරන අයුරු ද මෙම පුහුණුවට ඇතුළත්ය. අවසානයේදි රාජ්‍ය බුද්ධි සේවයේ විශිෂ්ට කැපවීම නිසා සහරාන්ගේ දෙවැනි ප‍්‍රහාරය පරාජය කර එයට සම්බන්ධ 240ක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

 ලොව කොතනවත් අයි. එස්. අයි. එස්. සංවිධානය මුළුමනින්ම පරාජයට පත් කොට නොමැත. නමුත් ලංකාවේදි මුළුමනින්ම පරාජයට පත් කරන්නට හැකි වූවේ රාජ්‍ය බුද්ධි අංශයේ ඇති විශිෂ්ට රහසිගත මෙහෙයුමට පින් සිදු වන්නටය. එසේ නොවි දෙවන ප‍්‍රහාරය එල්ල වූවේ නම් සිදුවන විනාශය අතිමහත්ය.

 මේ පිළිබඳව අදහස් දැක්වූ උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන නාහිමියෝ මෙසේ ‘දිවයින’ට අදහස් දැක්වූහ.

 ”සහරාන් නිසා ලංකාවට මහා විපතක් සිදුවුණා. දෙවන ප‍්‍රහාරය එල්ල කරන්නට හැකිවුණා නම් දළදා පෙරහර සහ බෞද්ධයින් දහස් ගණනක් මිය යනවා. ඒ පමණක් නොවෙයි තවත් වෙහෙර විහාර රැුසක බෞද්ධයින් විශාල පිරිසක් මිය යනවා. කාත්තන්කුඩි කතෝලික දේවස්ථානයක් ඉලක්ක වෙලා තිබ්බා. ඒ ප‍්‍රහාරය එල්ල වූවා නම් ලංකාවේ ජාතිවාදී කෝලාහල ඇති වෙලා වසර ගණනක් යනකම් නිකරුනේ අහිංසක මිනිසුන් මියදෙන්න තිබ්බා. ලංකාවම එකම ලේ විලක් බවට පත් වෙනවා එහෙනම්. ප‍්‍රභාකරන්ගේ යුද්ධය වගේ තවත් වසර ගණනක් යුද්ධ කරන්න වෙනවා එහෙනම්. ජාතියේ වාසනාවට මෙම ප‍්‍රහාරය වළක්වන්නට හැකිවූවේ රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර ඒකකයේ නිලධාරින්ගේ අති විශිෂ්ට කැපවීම නිසා. ඔවුන් දිවා ? නොමැතිව තම ජීවිත පරදුවට තියලා කළ ඒ මෙහෙය නිසා මෙම දෙවන ප‍්‍රහාරය වළක්වා ගන්න ලැබුණා. ඒක තමා සත්‍ය. ඒ නිසා තිරෙන් පිටුපස සිට එවන් වික‍්‍රමයක් කළ නිලධාරීන් ගැන අද කාටත් අමතක වෙලා වගේයි. හිටපු ජනාධිපතිතුමා ඔවුන්ට සහතිකයක් දීලා තියෙනවා. ඒක විතරක් ඇති කියලා අපි හිතන්නේ නැහැ. බෝම්බ හදන බඩු ගෙනාපු රියදුරුටත් තොරතුරු දුන්නට ලක්ෂ 50ක් දුන්නා. එතන සිටි සමහර අයටත් තෑගි බෝග ලැබුණා. ඒත් දෙවන ප‍්‍රහාරය වළක්වන්න දිවි හිමියෙන් කටයුතු කළ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට මොනවත් නැහැ. අඩුම තරමින් උසස්වීමක්වත් නැහැ. වත්මන් ජනාධිපතිතුමා ඒ ගැන දන්නේ නැතිව ඇති. ඒ නිසා අපිටත් විශ්වාසයි එවන් දක්ෂ නිලධාරීන් අගය කරමින් එතුමා බුද්ධි අංශ මෙන්ම ආරක්ෂක අංශ ද ශක්තිමත් කරමින් කටයුතු කරනු ඇති’ කියා යනුවෙන් සෝමරතන නාහිමියෝ පැවසූහ.

 රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර ඒකකයේ නිලධාරීන්ගේ විශිෂ්ට කැපවීම නිසා ඒ අයුරින් සහරාන්ගේ දෙවන ප‍්‍රහාර සිහිනය බොඳව ගොස් රටම නැවතත් ලේ විලක් බවට පත්වීම වැළැක්වූවේ ඒ අයුරිනි.

 සුසන්ත අමරබන්දු
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.