May
22
අධර්මවාදී විනයවිරෝධී භික්ෂු වේෂධාරීන් හඳුනාගෙන නෙරපිය යුතුයි
භික්ෂුන් වහස්සේ ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලාවල ඇතුළු විවිධ මාධ්‍ය මඟින් මේ දිනවල සුලබ ලෙස පෙනී සිටින බවත්,
ලාභාපේක්ෂාව අරමුණු කරගෙන හෝ දුර්වල මානසික ස්වභාවයන් නිසා එම පුද්ගලයන් හෝ කණ්ඩායම් සම්බුද්ධ ශාසනයටද භික්ෂු ගෞරවයටද සිදු කරන හානියක් බවත් එවැනි පුද්ගලයන් ස්වකීය නිකාය තුළ සිටී නම් නිකායෙන් නෙරපා හැරීමට කතිකා කළ යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන හිමියෝ ශාසනික නිවේදනයක් නිකුත් කරමින් පැවසූහ.
අග්ගමහ පණ්ඩිත නාපානේ පේමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක හිමියන්ගේ උපදෙස් පරිදි එම නිකායේ සියලුම නායක හිමිපාණන් වහන්සේලාගේ විශේෂ අවධානය යොමු කරමින් මහ ලේඛකාධිකාරි හිමියන්ගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයෙහි මෙසේද සඳහන් වේ.
මේ දුර්විනිත, අධර්මවාදී, විනයවිරෝධී භික්ෂු වේෂධාරීන් වෙනුවෙන් මේ අවස්ථාවේදී අපට කළ හැක්කේ අප නිකාය තුළ එබඳු අය ලියාපදිංචි වී ඇත්නම් නිකාය කතිකානුකූලව අවශ්‍ය පියවර ගෙන ඔවුන්ගේ සාමණේර, උපසම්පදා ලියාපදිංචියක්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇත්නම් එය අවලංගු කොට නිකායෙන් නෙරපා හැරීමය. ශාසන පරිහානියේ උපයුක්ක එබඳු භික්ෂු වේශධාරීන් නිකායෙන් නෙරපා හැරීම පිළිබඳව පූර්වාදර්ශයන් ද නිකායේ අෑත මෑත ඉතිහාසයෙහි තිබේ.
ශාසන සංශෝධනයක ඉක්මන් අවශ්‍යතාව පැනනැඟී ඇති මේ මොහොතේ ඔබ වහන්සේගේ සංඝ සභා බලප්‍රදේශය තුළ එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සිටී නම් ඒ පිළිබඳව විස්තර සහිතව නිකායේ අදාළ අංශ දැනුවත් කරන ලෙසත් එබඳු ශාසන විලෝපනයෙහි යෙදෙන්නන් අප නිකාය නමින් ලියාපදිංචි වී ඇත්නම් ඒ සියල්ල නිකායෙන් නෙරපීම ආදී කතිකානුකූල පියවර ගැනීමට නිකාය මඟින් කටයුතු යොදනු ඇති බව සඳහන් කරන බවද දැනුම් දෙන බවද නිවේදනයෙහි අවසානයේ දක්වා තිබේ.