Apr 27

අතින් කෝටියක් දීලා එළවළු අරන් නිකම් බෙදපු දඹුල්ලෙ දෙවියා


“එළවළු වැහි වැහිලා විකුණගන්න බෑ. ගොවියෝ අසරණ වෙලා. කොළඹ පැත්තේ හිරවෙලා ඉන්න මිනිසුන්ට එළවළු ටිකක් ගන්න එන්න විදිහක් නෑ. වැඩි මිලට කණ්ඩායමක් විකුණනවා. දඹුල්ලේ එළවළු ටික අතරමැදි කණ්ඩායමක් අරන් ගිහිල්ලා මුදල් උපයනවා. ආර්ථික මධ්‍යස්ථානයට එන ගොවීන් හූල්ලමින් ගෙදර යනවා. මොකක්ද මේකට අපි කරන්නේ.”

මේ කතාබහ ඇති වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු කිහිපදෙනකු අතරය.

එයින් යෝජනා කිහිපයක් එකිනෙකා ඉදිරිපත් කරන්නට වූහ. “සමනල සාන්ත” නමින් හඳුන්වන ව්‍යාපාරිකයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හිටපු සභාපතිවරයාය. ඔහු නමින් යූ.බී. ඒකනායක වෙයි. ඔහු කීවේ මෙවැන්නකි. “අපිට බැරිද එළවළු ටිකක් සල්ලිවලට අරගන්න. එහෙම කළොත් ගොවීන්ට යම් සහනයක්” ඔහු එසේ කියද්දී තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විවිධ අදහස් පළ කරන්නට වූහ.

“මේක කරන්න නං හරි වැඩක් කරන්න ඕන. මොකද රටේ එළවළු අවශ්‍යතාව පිරිමහන්නත් ඕන. හැබැයි ගොවියා ආරක්ෂා කර ගන්නත් ඕන. ගොවියා රැකුණොත් තමයි ඊළඟ කන්නේ එයාලා වගා කරන්නේ.  එහෙම නැති වුණොත් රටටම හානියක්. එසේ කීවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාය.

“මොනවා වුණත් මුළු රටටම දඹුල්ලේ මිනිස්සු කන්න දුන්න කියලා දැන් කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒක නැති කරගන්න හොඳ නෑ. ඒ නිසා ගොවියෝ ආරක්ෂා කරගෙනම රට ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළක් තමයි සකස් කරන්න වෙන්නේ” ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  කීය. මේ සියල්ල දෙස කිසිවක් නො‍ෙදාඩා බලා සිටී පී.ඡී.එස්. මුදලාලි නොහොත් ‘පියසේන ගමගේ’ හඬ අවදි කළේය. “අපිට පුළුවන් විදිහේ උදවු කරමු. මේ වෙලාවේ රටත් අමාරුවේ ගොවියා අමාරුවේ. ආණ්ඩුවත් අමාරුවේ හැමෝම ඉන්නේ අමාරුවෙන්. ඒ නිසා මේ වෙලාවේ පිහිටවෙන එක තමයි අපි කාගේත් යුතුකම වෙන්නේ” හෙතෙම පැවැසීය. පියසේන මහතාගේ එම කතාවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා යෝජනාවක් එක් කළේ එය හොඳ අදහසක් බව ප්‍රකාශ කරමිනි.

“අපි වෙළෙඳ සංගමයේ කිහිපදෙනෙක් එකතුවෙලා ගොවීන්ගේ එළවළු ටික මිලදී අරගෙන පෞද්ගලිකව යුද හමුදාපතිතුමාට කතා කරලා භාරදෙමු කොළඹ පැත්තේ එන්න බැරුව ඉන්න ජනතාවට නොමිලේ බෙදන්න කියලා. “මේකට සහයෝගය දෙමු.” ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා යෝජනා කළේය.

වෙළෙඳ ව්‍යාපාරිකයන් කිහිපදෙනකුම එයට එක පයින් කැමැත්ත ප්‍රකාශ කළේ තම අහිංසක ගොවීන් වෙනුවෙන් යමක් කළ යුතු බව සිතා ගෙනය. ඒ ගැන නැවතත් කටහඬ අවදි කළ පියසේන ගමගේ මහතා

“හරි අපි මෙහෙම කරමු! ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය දෙන්න. මම මගේ පෞද්ගලික මුදලින් එළවළු කිලෝ ලක්ෂ එකහමාරක් විතර ගන්නම්. හෙට උදේම වැඩ කරන්න කියන්න මම ගම්පහ පැත්තේ මේ වගේම කාටවත් කියන්නේ නැතිව එළවළු අරන් ගිහිල්ලා බෙදුවා. එයාලට ඇත්තටම එන්න බෑ. හොඳ යෝජනාවක්. එතකොට අපේ ගොවියා ආරක්ෂා වෙනවා. ඇඳිරි නීතිය වැටිලා එළියට එන්න බැරුව ඉන්න ජනතාවට ආහාර ටික ලැබෙනවා. මම මේකට කැමැතියි”. එය රු. කෝටියක එළවළුය. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පියසේන මුදලාලි දෙස බලා සිට පසුදා අලුයම සිට මෙම වැඩේ ක්‍රියාත්මක කරන්න යැයි ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබාදුන්නේය.

“ සමනල සාන්ත” නොහොත් යූ.බී. ඒකනායක මහතාත්, සී.එස්. සිරිවර්ධන මහතා ඇතුළු තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකුත් මෙම ක්‍රියාවට මුල්තැන ගත්හ. “හරි අපි මේ වැඩේ පටන් ගමු. කාටද මේවා දෙන්නේ” යූ.බී. ඒකනායක මහතා විමසීය. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කතා කරලා මේ සියල්ල යුද හමුදාවට දෙන වැඩපිළිවෙළක් දැම්ම සාකච්ජා කරමු.

මෙම පිරිසේ යෝජනාව සාකච්ඡාව අදහස මල් ඵල දැරීමට ගත වූයේ විනාඩි 30ක පමණ කාලයකි. යුද හමුදාවෙන් ද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබිණි. පසුදා උදෑසන වනවිට යුද හමුදාවේ ට්‍රක් රථ විසිපහකට වැඩි ප්‍රමාණයක් දඹුල්ල “ගම්උදාව““ක්‍රීඩාංගණය ඇතුළත නවතා තිබිණි. ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක් යුහුසුළුව කඩිමුඩියේ එළවළු විකුණා ගැනීමට නොහැකිව අසරණව සිටි ගොවීන් අසලට ගොස් ඔවුන් ගෙනා එළවළු ලොරි පිටින්, ට්‍රැක්ටර්, පිටින් ත්‍රිරෝද රථ පිටින් මිලට ගැනීම ආරම්භ කළහ.  එම  එළවළු තොග පිටින් වාහනවලින්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට ගම්උදාව ක්‍රීඩා පිටියට රැගෙන ගියහ. ව්‍යාපාරිකයන් සමඟ මෙම කටයුත්තට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරුද එක්ව සිටියහ. යුද හමුදාවේ බොහෝදෙනකු මෙම අවස්ථාවට එක්ව කඩිමුඩියේ එළවළු කිලෝ එක්ලක්ෂපනස්දහසක් තම වාහනවලට පටවා ගැනීම සිදු කරද්දී අවට සිටි තරුණයන් බොහෝදෙනකු ඊට සහයෝගය ලබාදුන්නේ හදවතින්මය.

එළවළු තොග පටවන අවස්ථාවේ මූල්‍ය දායකත්වය ලබාදෙන පියසේන ගමගේ මහතා පෙනෙන්නටවත් නොසිටීම විශේෂත්වයකි. එළවළු තොග භාරව රැගෙන යෑමට පැමිණ සිටියේ යුද හමුදාවේ 4 වැනි රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් කපිල නොර්ටන් මහතාය.

එළවළු තොග පැය කිහිපයක් ගතවෙද්දී ලොරි රථවලට පටවා අවසන් විය. එළවළු තොග යුද හමුදා මූලස්ථානයට රැගෙන ගොස් නිරෝධායන මධ්‍යස්ථානවලට සහ කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල රැඳී සිටින ජනතාවට නොමිලේ බෙදා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ලුතිනල් කර්නල් කපිල නොර්ටන් මහතා පැවැසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන්ගේ සහයෝගය ඇතිව තම පෞද්ගලික ධනය වියදම් කොට පියසේන ගමගේ මහතා සිදුකළ මෙම උතුම් ක්‍රියාවලිය නිසා එදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ ගොවීන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ලැබුණු බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අප සමඟ පැවැසීය.

එළවළුවල මිල ඉහළ යනු ලබන්නේ ඉල්ලුම සහ සැපයුම අතර ඉල්ලුම වැඩි වෙද්දී මිල ඉහළ යනු ඇත. ඉල්ලුම් අඩුවෙද්දී මිල පහළ යනු ඇත. ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු තොගවලින් කිලෝ එක් ලක්ෂ පනස් දහසකට ඉල්ලුම ලැබෙද්දී අනෙකුත් එළවළු විශාල වශයෙන් ඉහළ මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් මිලදී ගැනීම සිදු වූ බවද හෙතෙම පැවැසීය.

මෙම සත්කාරය පිළිබඳව වචනයක් හෝ දැනගැනීමට අප පියසේන ගමගේ මහතා හමුවීමට එම ස්ථානයට ගියද ඔහු රහසිගතව තමා සිදු කළ සත්කාරය දෙස බලා සිය රථයෙන් නැවත පිටව ගිය බව ආරංචි විය.

පසුව අපි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි ඔහුගේ කාර්යාලය වෙත ගියෙමු.  ඒ වෙන කිසිවක් නිසා නොව එළවළු කිලෝ ලක්ෂඑකහමාරක් යුද හමුදාවට භාර කරන්නට තම පෞද්ගලික ධනය රට වෙනුවෙන් වැය කිරීම පිළිබඳව යමක් දැනගැනීම සඳහාය.

“මේක මම තනියම කළා කියලා ලියන්න, මාධ්‍යවල දාන්න අවශ්‍යතාවක් නෑ. මේක අපි හැමෝම කළා කියලා දාන්න. මොකද මාධ්‍යවල යන්න නෙවෙයි අපි මේ වැඩේ කළේ. මොකද රට අමාරුවේ වැටිලා තියෙන අවස්ථාවක්. රජය හැම කෙනකුටම රුපියල් පන්දාහ ගාණේ සල්ලි දෙන අවස්ථාවක්. ආදායම් සියල්ල නැවතිලා රට නැවත ගොඩගන්න වෙන්නේ අපි වගේ ව්‍යාපාරිකයන්ට. අන්න ඒ නිසයි අපි මෙහෙම කළේ. මොකද ගොවියා කියන්නේ රටට කන්න දෙන මිනිහා. එයාව ආරක්ෂා කළොත් තමයි හෙට දවසේ අපිට එළවළු වගා කෙරෙන්නේ. එහෙම නැත්තන් අපේ බත්පත පිරෙන්නේ අද අපි සල්ලි වියදම් කරලා හෙට රටේ ආයෝජනය කළොත් නිසයි. මොකද එහෙම කළහම ගොවියා නැවතත් වගාවට යනවා. ඒ වගාව නැවත රටට අස්වැන්නක් හැටියට එනවා. ඒ අස්වැන්නෙන් අපි බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. මගේ අරමුණ ඒකයි.”

“ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිතුමා ඉල්ලීමක් කළා. අපි සියලුදෙනා එකතුවෙලා ඒ ඉල්ලීම ක්‍රියාත්මක කළා. ඒක අපි කළේ හදවතින්. රට වෙනුවෙන් ගොවියා වෙනුවෙන්. වෙන අරමුණක් අපි තුළ නෑ. උදවු කරපු හැමෝටම ගොඩක් පින්”.

ඉතාම කෙටියෙන්, සුහදශීලීව ඒ මහතාගේ වචන කිහිපයක් අප හමුවේ තබා සිනහ මුසු මුහුණින් අපෙන් සමුගත්තේය. රටත්, ජන සමාජයත් විපතකට පත් මොහොතක ඒ වෙනුවෙන් කැපවී ඉදිරිපත් වන මිනිසුන් වෙත්නම් ඒ අල්ප වශයෙනි. මෙම සද්කාර්ය ඉටුකළ අයද එහෙමය.

දඹුල්ල - කේ.කේ. ආරියදාස
source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.