Feb
16
හිටපු ජනපතිගේ නිවෙස ඉදිරිපිට තිබෙන තංගල්ල රෝහල ගැන මම පුදුම වෙනවා

හිටපු ජනාධිපතිවරයෙක්, හිටපු ආර්ථික කටයුතු අමාත්‍යවරයෙක්, ජනාධිපතිවරයකුගේ පුත්‍රයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මේ සියලු දෙනා සිටියදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ තරම් අඩුපාඩු තිබෙනවා කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ. මෙයට ප්‍රධානතම හේතුව මයිකේරා් ඩිවෙලොප්මන්ට් කියන එක. ඒ කියන්නේ එක් තැනක ඉඳලා තීන්දුව අරගෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මයිකේරා් ඩිවෙලොප්මන්ට් කියන එක ගැන කිසිම තැකීමක් කරලා නැහැ. ඒ කියන්නේ කුඩා පරිමාණයේ ඒවා. අද විශේෂයෙන්ම මේ තංගල්ල රෝහල හිටපු ජනාධිපතිතුමාගේ නිවෙස ඉදිරිපිට තිබෙන මේ රෝහලේ තත්ත්වය බැලුවාම ඉතාමත්ම පුදුමසහගතයි. ඒ නිසා අපි ඊයෙත් අදත් විශාල තීන්දු ගණනාවක් ගත්තා. සෑම රෝහලක්ම නැවත ගොඩනැඟීම සඳහා අවශ්‍ය මුදල් වෙන්කර දීමට අපි තීන්දු ගත්තා.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසූයේ පෙරේදා (14දා) තංගල්ල මූලික රෝහලේ අභිනවයෙන් ඉදිවූ නව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
"තංගල්ල රෝහලටත් අපි තට්ටු දහයක ගොඩනැඟිල්ලක් ඒකේ ශල්‍ය වෛද්‍යවරුන්ට, නාරි හා ප්‍රසවවේදී වෛද්‍යවරුන්ට, අක්ෂි වෛද්‍යවරුන්ට, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට අවශ්‍ය තට්ටු දහයක ගොඩනැඟිල්ලකුත් ඒ හා සමානව දැනට අතරමඟ නැවතිලා තිබෙන ළමා රෝග පිළිබඳව ගොඩනැඟිල්ල නිම කිරීමට මුදලුත් අලුතින් මෙඩිකල් වෝඩ් කම්ප්ලෙක්ස් එකකුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ලකුත්් තැනීමට අනුමත කරලා ක්‍රියා කළා. ඒ සඳහා සීසීබී ආයතනය මඟින් නිර්මාණ සූදානම් කරලා ඇස්තමේන්තු කළාම අපි මුදල් වෙන් කරනවා.
තංගල්ල රෝහලට ගිලන් රථ දෙකක් අපි වෙන් කළා. ගිලන් රථ දෙසීය පනහක් මේ අවුරුද්දේ මට ලැබෙනවා. ඒවා මිලදී ගන්න අනුමැතිය මට ලැබිලා තියෙනවා භාණ්ඩාගාරයෙන්. එම ගිලන් රථවලින් ගණනාවක්ම මම හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා වෙන් කළා. මහජන සෞඛ්‍ය කොටස බලාගෙන ඉන්න රෝග නිවාරණය සිදුකරන නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැහැ ක්ෂේත්‍රයේ වැඩ කරන්නට. ඒ සඳහා අවශ්‍ය රථවාහනත් අපි වෙන් කරලා දුන්නා. හම්බන්තොට දිස්ත්‍රික්යේ ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් සහ පළාත් අමාත්‍යාංශයේ ප්‍රධානීන් එකතුවෙලා මේ ගත්ත තීන්දු තීරණ ක්‍රියාත්මක කරනවා. සජිත් ප්‍රේමදාස ඇමැතුමාටත් දිල්ප් වෙදආරච්චි ඇමැතිතුමාටත් චමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාටත් මේවා මම භාර දෙනවා අතරමැද අධීක්ෂණය කරලා මේවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති තැන්වලදී මට දන්වලා මේවා හරියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දේශපාලන හයිය ලබා දෙන්න කියලා.
සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනඟන්න බැහැ එක එක්කෙනා ඉල්ලන විදියට. ඒකට සැලසුමක් තිබෙන්නට ඕනෑ. ඒ සැලසුම් අපි සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් කරනවා. නිල නිවාස පිළිබඳවත් අපි ගණනය කරලා තිබෙනවා. අපි කැබිනට් අනුමැතිය ලබාගත්තා නිල නිවාස පන්දාහක් හැදීමට. විශේෂඥ වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරුන්ට දෙවැනි වටයේදී හෙද හා පරිපූරක වෛද්‍ය සේවාවන් ඇතුළු අනෙකුත් සුළු සේවක සියලුම දෙනාට අවශ්‍ය අයට නිල නිවාස තැනීමේ දෙවැනි අදියරත් අපි ආරම්භ කරනවා. නිල නිවාස ප්‍රශ්නය 2018, 2019 වෙනකොට අපි සම්පූර්ණයෙන් අවසන් කරනවා.
- මව්බිම