Feb 22

සමහර උද්ඝෙ‍‍ා්ෂණ දැක්කහම ගහන්න හිතෙන්නෙම නෑ පොලිස්පති කියපු කතාව

දිනෙන් දින රටපුරා ඇතිවෙන උද්ඝෝෂණ රැල්ලෙන් වඩාත් පීඩාවන්ට පත්වන්නේ පොලීසිය. මේ අභියෝගයට කොහොමද පොලීසිය මුහුණ දෙන්නේ....?

අනිවාර්යයෙන්ම විශාල අභියෝගයක්. අද යහපාලන රජයෙන් මිනිසුන්ට අසීමිත නිදහසක් දීලා තියෙනවා. ඒ නිදහස භුක්ති විදීමේ එක්තරා අංගයක් තමයි කිසිම සීමාවකින් තොරව ඕනෑම කෙනෙක් පළමු පියවරේ සිට උපරිම පියවර දක්වා යෑම.


සාමය සුරකින අපට මේ තත්ත්වය විශාල අභියෝගයක්. මේ නිසා සිදුවෙනවා නීතිය අනුව, මූලික හා මානුෂික අයිතීන් සුරැකෙන පරිදි කටයුතු කරන්න. පොලීසියේ අවම බලය පාවිච්චි කරන්න, පොදු දේපළ රකින්න, පොදු ජනතාවගේ පරිසරය හදන්න වැනි දේ කරන්න අපට සිදුවෙලා තියෙනවා. ඒවගේම උද්ඝෝෂකයන්ගේ අයිතීන් රකින්නත් මේ තත්ත්වයන් දෙක අතර සමබරතාවක් පවත්වා ගැනීමේ කර්තව්‍යයත් භාරවෙලා තියෙන්නේ පොලීසියට.

නමුත් මෙවැනි අවස්ථාවල උද්ඝෝෂකයන් හා පොලීසිය අතර ගැටුම් ඇතිකරගන්නා තත්ත්වයකට අද පත්වෙලා තියෙනවා....?

ඒ ගැටුම් ඇතිවෙන්නේ ඒ අය ඒ අයගේ සිමාවන් ඉක්මවා යාම නිසා. මේ අය සීමාවන් අබිබවා යනවා නම් එතැනදි අපට එයට ඉඩ දෙන්න බැහැ. උදාහරණයක් වශයෙන් අධිආරක්ෂිත කලාප, ජනාධිපතිතුමා, අගමැතිතුමාගේ රාජකාරි ස්ථාන වගේම රාජ්‍ය නායකයන් විදේශිය නායකයන් යන එන තැන්වල මේ ආකාරයෙන් හැසිරුණොත් ඒක රටට අවමානයක්. ඒ නිසා ඒ අය ඒ ගැනත් කල්පනා කළ යුතුයි.
නමුත් මේ වගේ අවස්ථාවල පොලීසිය සිය අවම බලයවත් භාවිතා නොකර අධිකරණයේ පිහිට පතන අවස්ථාත් දක්නට ලැබෙනවා. පොලිසියට මෙවැනි අවස්ථාවල සිය බලය භාවිතා කරන්න බැරි ඇයි...?

අපි ගොඩාක් අවස්ථාවල ඒ බලය එලෙසින්ම පාවිච්චි කරන්නේ නැහැ. අපි අවම බලය අවශ්‍ය බලය ලෙස භාවිතා කරගෙන කළා වුවත් එතැනදි ඇතිවෙන තත්ත්වයන් ශෝචනීය වෙන්න පුළුවන්. බොහෝ විට ඉල්ලිම් ඉල්ලගෙන ආපු අය අහිංසකයන්, දුප්පතුන්, ආබාධිතයන්, හමුදා පවුල්වල සාමාජිකයන් වෙන්නත් පුළුවන්. මේ නිසා අපට කොහොමටවත් හිතක් දෙන්නෙ නැහැ අවම බලයවත් භාවිත කරලා පහර දෙන්න.

ඔබ කියන්නේ අවම බලය භාවිත කරන්නත් බැරි අවස්ථා උදාවෙනවා කියලද?
ඔව්. මේ වෙලාවට පොලිස් නිලධාරීන් හරිම අසරණ තත්ත්වයට පත්වෙනවා. මේ නිසා අපේ අයට පැහැදිලි උපදෙස් ලැබෙනවා තමන්ට පහරක් වැදුණත් හිංසාවක් නොවෙන තැනට වගබලා ගන්න. මේ නිසා උත්තරීතර ආයතනය වන ගරු අධිකරණයට කරුණු වාර්තා කරන්න අපට සිදුවෙනවා. මේ අය අධිකරණයට කැඳවන්නේ පළිගැනීමටවත්, ද්වේෂ සහගත හැඟීමකටවත් නොවේ. කට්ටියක් එකතුවුණාම ඒ අයගේ හැඟීම් උද්වේගකාරීයි. මේ නිසා ඒ වෙලාවේ ඒ අයත් එක්ක කතා කිරිමෙන් ඵලක් නැති වෙන්න පුළුවන්. මේ නිසා අධිකරණයක විනිශ්චයකාරවරයෙක් ඒ අයට මේ තත්ත්වය පහදලා දෙන කොට ඔවුන් කළ දේ කොතරම් නීතියට පටහැනිද නැද්ද යන යථාර්ථය ඔවුනට අවබෝධ වෙනවා.

ඔබ කියන්නේ මේ උද්ඝෝෂණ හමුවේ පොලීසිය අසරණ වන බවක්ද......?
සමහර වෙලාවට අසරණ වෙන වෙලාවල් තියෙනවා.

දිනෙන් දින ඇතිවෙන අපරාධ රැල්ල මැඩීමට ගෙන ඇති පියවර සඳහන් කළොත්....?

2015 හා 2016 වසර ඇතුළත අපරාධ 4000ක අඩුවීමක් තියෙනවා වගේම දේපළ අපරාධ විසදීමේ ඉලක්කය අද අපි සපුරලා තියෙනවා. ඒ වගේම 2017 වසර ඉලක්ක කරගෙන වැළැක්විම හා අධිකරණයේ නඩු පැවරිමේ කටයුතු කරනවා. මෑත කාලයේ සිදුවූ එක සිදුවීමක් හැරෙන්නට හැම සංකීර්ණ අපරාධයක්ම විසඳීමට පොලීසිය සමත් වෙලා තියෙනවා. අද පෞද්ගලික මාධ්‍ය හුදෙක් තම ආයතනික ලාභ අපේක්ෂාවන් මුල් කරගෙන උණුසුම් පුවතක් මැවීමේ අරමුණින් මෙවැනි සිදුවිම් රසකර කර හුවා දක්වනවා. අපි අපරාධයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. නමුත් මේ මාධ්‍යවලින් මෙහි දෙවැනි කොටසට එවැනි ප්‍රචාරයක් දෙන්නැහැ.

හිතවත්කම, මුදල් බලය, දේශපාලන බලපැම් මත පොලිසිය කටයුතු කළ කාලය නිමා කරන බවට ඔබ ප්‍රකාශ කර තිබුණා. කොහොමද මෙයට මුල පුරා ඇත්තේ....?
එදා පොලිසිය තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ, පුංචි අම්මාගේ සැලකිලි ලබමින්. නමුත් අපි සහයෝගයෙන් අපේ අනන්‍යතාව රැකගනිමින් ගනිමින් කටයුතු කරගෙන ගියා. මේ නිසා රජය තීරණය කළා ස්වාධීන ආයතනයක් හැටියට පොලීසිය නම් කරන්නත්, විෂය භාර ඇමැතිවරයකු යටතට පත්කරන්නත්. මෙතැනදි අපට පුළුවන් වුණා පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලිවලට සාවධානව ඇහුම්කන් දෙන්න, ඒවාට පිළියම් සපයන්න. පොලිස් රාජකාරි අන් රාජකාරි වගේ නෙවේ. කිසිවිටකත් වෙලාවකට සීමා වෙන්නෙ නැහැ.

දිවා රෑ නැහැ. සෙනසුරාදා ඉරිදා කියලා වෙනසක් නැහැ. රජයේ , බැංකු නිවාඩු වගේම පෝය කියලා කිසිම වෙනසක් නැහැ. අනුමත කළ නිවාඩු හිටි ගමන් අවලංගු කරන්න පුළුවන්. මේවා තමයි අපේ සේවා කොන්දේසි. මේ සේවා කොන්දේසි වලට අප එකඟ විය යුතුයි. නමුත් මේ තත්ත්වය අබිබවා ගියහම, ඒ අයට පවුල සමඟ ගතකරන්න කාලය අඩුවුණාම ආතතිය, වෙහෙස කියන එක ඔවුනට ඇතිවිම ස්වභාවිකයි. මේ නිසා බොහෝ විට වචන හුවමාරුව පවා වෙනස් වෙන්න පුළුවන්.
ඇත්ත. මහජනතාවගෙන් නිතරම නැඟෙන චෝදනාවක් තමයි පොලිස් නිලධාරීන් හරියට කතා කරන්නවත් දන්නේ නැහැ කියලා......?

ඉහත තත්ත්වයන් මත මේ දේවල් වෙන්න පුළුවන්. නමුත් මම මේ දේවල් සාධාරණීකරනය කරන්නේ නැහැ. මේ තත්ත්වය වටහා ගත් නිසා තමයි ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, විෂය භාර ඇමැතිවරයාත් කැබිනට් සංශෝධනත් සමඟ මේ වෙනස් වීම් කළේ. මෙහිදි අපට නැතිවුණු වරප්‍රසාද නැවතත් ලැබුණා.
පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමේ අරමුණ ගුණාත්මක සේවයක් ඔවුන්ගෙන් ලබා ගන්නද...?

ඉතිහාසයේ කවරදාවත් නොවූ පරිදි සියයට 40ක වැටුප් වැඩිවීම් හිඟ වැටුප් ද සහිතව සියලුම පොලිස් නිලධාරින්ට අප ලබා දී තියෙනයවා. රජයේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා රටේ නීතිය හා සාමය රැකීම ගැන. ඒ සියලු දෙයෙහිම අභිලාශයෙනුයි මේ කටයුතු සිදුකරන්නේ. අපේ අයිතිය අපට නැහැ. අපේ අයිතිය තියෙන්නේ මහජනතාවට. අපි නවීන තාක්ෂණයත් සමඟ යන ක්‍රමයකට මේ සියලුම පද්ධතින් සමඟ යන තරගකාරී පොලිසියක් ඇතිකර තියෙන්නේ මහජන අවශ්‍යතා, මහජන දේපළ හා මහජන ජිවිත සුරකින අභිමානවත් සේවාවක් ලබා දෙන්නයි.

පොලිස් නිල ඇඳුම වෙනස් කරන්නත් තීරණයක් ගෙන තිබෙන බව ආරංචියි.
තවමත් සාකච්ඡාවට භාජනය කරනවා. වැඩි දෙනෙක්ගේ අදහසක් තියෙනවා මේ ඇඳුමේ වර්ණය, රළු ස්වභාවය ක්ෂේත්‍රයේ නිරත වන නිලධාරීන්ට අපහසුතාවක් බව. ඒ වගේම හොඳ පාටක් ලබා දී ආකර්ෂණයක් ඇතිවෙන ආකාරයේ තත්ත්වයකට යන්නත් අප බලාපොරොත්තු වෙනවා. මෙහිදි අපි අනිකුත් රටවල නිල ඇඳුම් පිළිබඳ අධ්‍යයනයක් කර අවශ්‍යතාව අනුව වැඩිදෙනාගේ තීරණය මත වෙනසක් කරනවා. මේ සඳහා විද්වතුන්ගේ මහජනතාවගේ අදහස් ගන්නත් බලාපොරොත්තු වෙනවා.

අධිකරණ කටයුතුවල දී මෙන්ම පොදු ජනතාවගේ කටයුතුවල දී බොහෝමයක් පොලිස් නිලධාරින්ට නීතිය පිළිබඳ හරි වැටහීමක් නැහැ කියලා චෝදනාවක් තියෙනවා. පොලිස් නිලධාරින්ට සිය සේවය සාර්ථකව ලබා දෙන්නට නිතිය හරිහැටි දැන සිටිය යුතුයි නේද...?

එම චෝදනාව මම පිළි ගන්නවා. පොලිස් සේවයේ සම්ප්‍රදාය අනුව සේවයට බඳවා ගැනිමේ දී ඔහුගේ පැටිකිරිය හොයන්නේ නැතුව කිසිවෙක් පොලිස් සේවයට බඳවා ගෙන නැහැ. නමුත් පසුගිය කාලයේ එල්.ටි.ටී.ඊ ප්‍රශ්නය නිසා ඇතිවූ හිඟයට හදිසි බඳවා ගැනිම් කරන්න සිදුවුණා. කොස්තාපල් කෙනෙකුට අපි අවුරුද්දක මූලික පුහුණුවක් දෙනවා. අපි පොලිස් කොස්තාපල්වරයකුව පුහුණු කරන්නේ වඩාත් විධිමත් වයි. මෙහිදි අපි අධිකරණයට නඩු ගෙනයාම් සම්බන්ධව, ඉහළ අධිකරණ කටයුතු සම්බන්ධව පුහුණු කරනවා. නමුත් පසුගිය කාලයේ ඒ දේවල් නැතිවෙලා ගියා. අවුරුද්දක පුහුණුව මාස දෙකකට සීමා වුණු අවස්ථාත් තිබුණා.

අලුතින් පැනවෙන මාර්ග නීති සම්බන්ධයෙන් බොහෝමයක් දෙනා දැනුවත් නැහැ.
මුලින් පැවැසු කරුණ නිසායි මේ තත්ත්වයන් ඇතිවුණේ. නමුත් අපි දැන් ඒ දේවල් වෙනස් කරලයි තියෙන්නේ. පොලිස් සේවයේ පස් අවුරුදු සැලැස්ම යටතේ අපි විධිමත් සැලැස්මක් සාදාගෙන ගුණාත්මක මෙන්ම ශක්තිමත් පොලිස් නිලධාරින් පිරිසක් බිහිකිරීමටයි උත්සහා කරන්නේ. අපි පොලිසි 600 දක්වා වැඩිකළේ මහජනතාවට වඩා පහසුවෙන් ළඟා වීමේ අරමුණින්.

පසුගිය කාලයේ අල්ලස් ගැනිමේ චෝදනා අතින් පොලිස් සේවය ඉහළ තැනකට පත්වුණා. මේ තත්ත්වය වෙනසකට ලක්වෙලා ද?

මේ හැමදේම කළේ ඒ තත්ත්වයන් වෙනස් කරන්නයි. අද පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලිවලට අදාළ පියවර රජයෙන්, පොලිස් කොමිසමෙන් අරගෙන තියෙනවා. මේ තුළින් අපි නිලධාරීන්ට පැහැදිලිවම උපදෙස් දෙනවා අකටයුතුකම්වලින් ඈත් වෙන්න, මිනිසුන්ගේ දුක තේරුම් ගන්න, හොඳ වචන කතා කරන්න කියලා. මිනිසුන්ගේ ප්‍රශ්න තමන්ගේ විදියට සලකලා කටයුතු කළ යුතුයි. මිනිසුන්ගේ ඇඟට කඩා නොපැනිය යුතුයි.

ඔබ එසේ පැවසුවත් යම් යම් අවස්ථාවලදී මේ තත්ත්වයන් වෙනස්. පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජනතාවට සෘජුව පැමිණිලි කළ හැක්කේ කෙසේ ද?
අකටයුත්තක් වුණා නම් කියන්න පොලීසිය භාරව ස්ථානාධිපතිවරයෙක් ඉන්නවා. නැතිනම් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඉන්නවා. ඒත් නැතිනම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ඉන්නවා. නැතිනම් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉන්නවා.

නමුත් සාමාන්‍ය පුද්ගලයකුට මෙතරම් දුරකට යාමට අපහසුයි......?

නැහැ. ප්‍රශ්නය දුරකතනයෙන් හෝ ගිහින් හමුවී කියන්න පුළුවන්, ඕනෑම දවසක. පොලිස්පති ලෙස මට දුරකතනයෙන් අමතා කියන්න පුළුවන්. 0717582222 මගේ දුරකතන අංකය. මෙයට ඇමැතුම් ගන්න අපහසු නම් මගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයාගේ 0718592020 අංකයට කතා කරන්න පුළුවන්. ඒ වගේම මහජනතාවට කලින් කිසිම දැනුම් දීමක් නැතුව තමන්ගේ දුක්ගැනවිල්ල වාචිකව හෝ ලිඛිතව ගෙන පොලිස් මූලස්ථානයට එන්න පුළුවන්. සිකුරාදා වරුව වෙන්කරලා තියෙන්නේ මහජනතව වෙනුවෙන්. ස්වාධීන පොලිස් කොමිසමට තමන්ගේ ප්‍රශ්නය අරගෙන යන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නැහැ.

මේ කටයුතු විධිමත් කරන්න පොලිසිය සතු ප්‍රතිපාදනවල හිඟයක් පවතිනවා. එය ඇත්තක්ද...?

ඔව්. මේ වන විට අපට විශේෂ ප්‍රතිපාදන ලැබි තියෙනවා. අපි ඉදිරිපත් කළ විශේෂ ව්‍යාපෘති වාර්තා, නවීකරණය, අවශ්‍ය උපකරණ ගැනිම්, පොලිස් ස්ථාන ඉදිකිරීම්, නවීන තාක්ෂණය, වාහන ගැනිම් සඳහා මෙන්ම පොලිස් රෝහල සඳහා ඇතුළු සියලු කටයුතු සඳහා මුදල් වෙන්කිරීම් වෙනදාට වැඩිය ප්‍රමාණයකින් කර තියෙනවා. මේ හැම දේම විනිවිදභාවයකින් යුතුයි.

ඔබගේ ඉලක්කය අරමුණ සඳහන් කළොත්...?

අපේ දැක්මට අනුව කටයුතු කිරීම මගේ ඉලක්කයයි. ‘අපරාධ හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ බියකින් තොරව විශ්වාසයකින් යුතුව ජීවත් වීමට හැකි සාමකාමි පරිසරයක් නිර්මාණය කිරීමයි‘ අපේ දැක්ම. මේ තුළ මගේ දැක්මකුත් මම නිර්මාණය කර තියෙනවා. ඒ තමයි ‘බුද්ධි තොරතුරු මත පදනම් වූ වෘත්තීමය පොලිසියක්‘. පොලිස් නිලධාරීන් ශක්තිමත් විය යුත්තේ බුද්ධි තොරතුරු මතයි.

බුද්ධි තොරතුරු නැති පොලිසිය දුර්වලයි. බුද්ධි තොරතුරු අවශ්‍ය ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම පහරදීමක දී පළමු පහර කන්නේ පොලිසිය. ඒ නිසා ජාතික ආරක්ෂාව එදත් අදත් අපට අංක එක. අන්තවාදය නැවත ඇතිනොවෙන්න කටයුතු කිරීම පොලිස් නිලධාරින්ගේ වගකිමයි. දෙවනුව අපරාධ වැළැක්වීම. එසේම ප්‍රජා පොලිස් රාජකාරි මඟින් මහජනතාව සමඟ සමීප සබඳතාවන් ඇති කරගෙන යනවා. අපට තනි අතින් අප්පුඩි ගහන්න බැහැ.
මහජනතාවගේ සමීප සබඳතාව වැදගත්. මේ නිසයි අපි ප්‍රජා පොලිස් රාජකාරී වලට අවතීර්ණ වුණේ.

ජනතාවට පොලිසිය නැතුවම බැරි තත්ත්වයකට පත්කිරීමයි මෙහි අරමුණ වෙන්නේ.

ඔබ මොහොතකට හිතන්න එක දවසක් ලංකාවේම පොලීසි වැහුවොත් මොකද වෙන්නේ කියලා. කෙනෙකුට ගෙයින් එළියට බහින්න බැරි වෙයි. මිනිසුන් අපව විවේචන කරන්නේ අපේ හොඳට.

ඒවායින් කියවෙන්නේ අපේ තියෙන සුවිශේෂි අවශ්‍යතාව. මිනිස්සු අඬන්නේ, බණින්නේ, ද්වේශ කරන්නේ අපි කෙරෙහි තියෙන අවශ්‍යතාවට. අපි මේ දේවල්වලට කළකිරෙන්න හොඳ නැහැ. ද්වේශ නොකළ යුතුයි. මෙයින් අප යම් පාඩමක් හෙළි කරගත යුතුයි. ඒ දුර්වලතාව ඇති නොවෙන්න අනාගතයේ අපි කටයුතු කිරීමයි. මෙයයි මහජන සේවය. අපි අයිති මහජනතාවට.

පසුගිය කාලයේ ඔබ විවිධ කතාබහට ලක්වුණා. නිතිය නමන බවටත් චෝදනා එල්ල කළා. මේ පිළිබඳ අදහසකට මුල පිරුවොත්......?

මම ඇයි කතාබහට ලක්වුණේ? ඒ මම වැඩ කරන නිසා. ඇයි මම වැඩ කරන්නේ? මහජන අවශ්‍යතාව නිසා.පොලිස්පති තනතුර ගැන මට තියෙන්නේ අහිංසක ආඩම්බරයක්. මම පොලිස්පති වුණේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ඒකමතිකත්වයෙන්. නමුත් කිසිම වෙලාවක ඒ නිහතමානි ආඩම්බරය ආයුධයක් කරගන්න මම කැමති නැහැ. මගේ මවුපියන්ට, අධ්‍යාපනය දුන්නු ගුරුවරුන්ට බුදුබව අත්වෙන්න මම අවුරුදු 31 ක් පෝෂණය කළ මේ රත්තරන් ආයතනයට පින්සිදු වන්නට මම යම් ජයග්‍රාහී මට්ටමකට ඇවිත් ඉන්නවා.

මහජනයාගේ ජීවිත හා දේපළ රැක දෙන්නට, දූෂණය නැතිකරන්නට, ජාතික ආරක්ෂාව සුරකින්නට වගේම මහජන මිත්‍රශීලි පොලීසියක් ඇති කරන්නට මේ ලැබුණු දේ නායකත්වයක් මිස ඔටුන්නක් නොවිය යුතුයි. මේ කටයුත්ත කරන්නට යනවිට, සංවේදීව මෙන්ම සෘජුව කතාකරන විට, අදහස් ප්‍රකාශ කරන විට සමහරුන්ට ගොඩාක් රිදෙන්න පුළුවන්. මේ නිසා මේ අය සමාජයේ මතයක් ගොඩනඟන්නට උත්සාහ කරනවා, මා ඉහත සඳහන් කළ සමහර මාධ්‍යයන් ද හවුල් කරගෙන.

සුභාෂිණි ජයරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.