Feb
20
අයියාගේ භූමදානය නතර කළ මල්ලීගේ දුරකතන ඇමතුම

මෙලෙස මියගොස් තිබුණේ ඊරියගොල්ල වත්ත, රඹුක්කන පදිංචිව සිටි කුරුප්පු ආරච්චිලාගේ සෙනෙවිරත්න බණ්ඩාර නමැති 60 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
මියගොස් ඇති පුද්ගලයා වසර 9ක් වැනි දීර්ඝ කාලයක් හෘදයාබාධයක් හේතුවෙන් රඹුක්කන රෝහලේ සායනයකින් ප්‍රතිකාර ලබමින් සිට ඇත. ඉකුත් (16දා) හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යමින් සිටියදී මියගොස් ඇත. රඹුක්කන හදිසි මරණ පරීක්ෂක ඩිල්ෂාන් චමින්ද මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා වසර 9කට ආසන්න කාලයක් හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන්නට ඇති බවත් ඥාතීන්ගේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන හෘදයාබාධයක් සැදීමෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කර ඥාතීන්ට මෘත දේහය භාරදී ඇත.
ඉකුත් 18දා මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර බාල සහෝදරයා මත්වතුර පානය කර වෙනත් පුද්ගලයකුගේ දුරකතනයකින් 119 හදිසි ඇමැතුම් අංකයට අමතා සිය වැඩිමහල් සහෝදරයා හදිසියේ මියගිය බවත් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා අවසන් කටයුතු සිදු කිරීමට යන බවත් දන්වා තිබේ. පසුව වහාම ක්‍රියාත්මක වූ රඹුක්කන පොලිසියේ නිලධාරි පිරිසක් අවසන් කටයුතු කිරීමට රැගෙන යමින් තිබූ මෘත දේහය පොලිස් භාරයට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙනයෑමට කටයුතු කර ඇත.
ඊයේ (19දා) මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් හා හදිසි ඇමැතුම් අංකයට දැන්වූ බාල සහෝදරයාද පශ්චාත් මරණ පරීක්ෂණයට පෙනී සිටීමට කෑගල්ල මහ රෝහලට පැමිණ සිටියද කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නිවාඩු ලබා තිබූ බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය අද (20දා) දිනට කල්තැබිණි.
- මව්බිම