Dec
08
කවුරු විරුද්ධ වුණත් රථ වාහන දඩ වෙනස් කරන්නේ නෑ

මොන ප්‍රබලයන් පැමිණ කිව්වත් ජනාධිපතිතුමා නිකරුණේ රාජ්‍ය නිලධාරීන් මාරු නොකරන බව පෙන්වා දෙන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ ක්‍රියාමාර්ගවලට හා තීරණවලට එරෙහි වන රාජ්‍ය නිලධාරීන්ට හිතුවක්කාර ලෙස කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බවත් ප්‍රතිවිරුද්ධ මත දරන නිලධාරීන් තම අමාත්‍යාංශයේ සිටියද හරි හෝ වැරැදි වේවා කැබිනට් තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය පසුබට නොවන බවද සඳහන් කරයි.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ අංක 1 කමිටු ශාලාවේදී ඊයේ (7දා) දහවල් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අමාත්‍යවරයා එහිදී මෙසේද ප්‍රකාශ කෙළේය.
'බැඳීමක් ඇත්නම් රක්නා ලංකා සමාගමේ සේවකයන්ට වන්දි ලබා දෙන්න පුළුවන්. නමුත් මේ අය කොන්ත්‍රාත් ක්‍රමයට බඳවාගත් අය නිසා වුවමනා විටෙක ඒ අයගේ සේවය අවසන් කරන්න පුළුවන්. රක්නා ලංකා සමාගම හැදුවේ යුද්ධය පැවැති අවධියේ රාජ්‍යායතන ආරක්ෂා කරන්නයි. දැන් යුද්ධය ඉවරයි. ඒ නිසා එම කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන්නා. සාගරය ආරක්ෂා කරන්න නාවික හමුදාවට භාර දුන්නා.
නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2014 දෙසැම්බර් 30, 2015 ජනවාරි 6 සහ 7 දිනවල රුපියල් මිලියන 4,011ක් අදාළ සමාගමට ගෙවා තිබෙනවා. මේ මුදල් නිකුත් කළ භාණ්ඩාගාරයේ නිලධාරීන් තිදෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඕනෑම සමාගමකට කොන්ත්‍රාත්කරුවන් සඳහා ප්‍රථම ගෙවීම කරන්නේ උපරිමය සියයට 20යි. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ සමාගම එක උදලුතලයක්වත් ගහල නැහැ. මහා පරිමාණ වංචා හා දූෂණ සෙවීමේ විමර්ශන කමිටුවට මේක අහුවෙලා නැහැ.
රුපියල් 1,42,000ක වාහන අක්‍රමිකතා සොයන්න එෆ්.සී.අයි.ඩී. තියා සී.අයි.ඩී. එකවත් ඕන නැහැ. ඒක කරන්න පොලිසියට පුළුවන්. එෆ්.සී.අයි.ඩී. එක කරන්න ඕන මහා පරිමාණ වංචා හා දූෂණ හොයන එක. අපි බෙල්ල දීලා ජීවිත පරිත්‍යාගයෙන් මේ ආණ්ඩුව ගෙනාවේ ඒ වගකීම ඉෂ්ට කරන්න. නමුත් මහා පරිමාණ වංචා දූෂණවලට සම්බන්ධ අය අපි හදපු ආණ්ඩුවේ ඇමැතිකම් කරනවා. මම මේ ගැන කැබිනට් එකෙත් කතා කළා. මේකට විතරක් නෙවෙයි අහු නොවූ තවත් වංචා දූෂණවලට ඇමැතිවරුන්ගේ බලපෑම් තියෙනවා. ඒ අය ඩීල් දානවා. මහා පරිමාණ වංචා, දූෂණ හොයන්නේ නැතිව නියෝජ්‍ය පොලිස්පති සරත්චන්ද්‍ර වගේ අය රක්ෂිත බන්ධනාගාරගත කිරීම ගැන ජනාධිපතිතුමත් ෙදාස් කිව්වා.
මේ තත්ත්වය නිසා යහපාලනය ගේන්න බාධා තියෙනවා. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය මුදල් යෙදවීම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගන්නේ තාක්ෂණික දෝෂ නිසයි. පැය 2ක් යන්න පෙර යළි එම නඩුව ගොනු කර තිබෙනවා. බොහෝ විට පොලිස්පතිවරයා දැනුවත් නැතිව අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැහැ. ගෝඨාභයගේ රාජකාරියට හරියන ඕනෑම වලත්තකමක්, බලුකමක් කළ හැකි පොලිස්පතිවරු එදා හිටියා. ගෝඨාභය රාජපක්ෂ ඒ ගැන ලැජ්ජා විය යුතුයි.
මුදල් ගෙන බන්ධනාගාරගත රැඳවියන් රෝහල් ගත කළ වෛද්‍යවරයෙක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාරයේ සිටින රැඳවියන් බලන්න ගිය විනිසුරුවරියක් ගැන අධිකරණ අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. තමන්ට අසනීප බව පවසා ජයවර්ධනපුර රෝහලට කතා කළ දුමින්ද සිල්වා ගැනත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දැන් හිරේ ඉන්න අය මහ රෝහලට එන එක අඩු වෙලා. මර්චන්ට් වාට්ටුව අලුත්වැඩියා කරනවා. බන්ධනාගාර ගතවූවන් ගෙවන වාට්ටුවලට යොමු කරන්න විශේෂඥ වෛද්‍යවරුන්ට හැකියාවක් නැහැ.
පසුගිය පෞද්ගලික බස් වර්ජනය දවසේ ශ්‍රී ලංගම බස් රථ 128කට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට අවම වශයෙන් 128ක්වත් අත්අඩංගුවේ ඉන්න ඕනෑ. නමුත් අත්අඩංගුවට අරන් ඉන්න 50ක පමණ පිරිස මීගමුවේ කඩාකප්පල් කිරීම් හා අලාභහානි කිරීම් ගැන සැකපිට ගත් ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු පිරිසක්. මේකෙන් පැහැදිලි වන්නේ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රදේශවාසීන්ගේ සහාය ලබා ගැනීමට පොලිසිය අසමත් බවයි.
එදා වැඩ වර්ජනය කළ සමහර අය විපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කළ අයයි. තවත් සමහරු අහවලාට ඡන්දය දෙන්න කියලා බස්වල පෝස්ටර් ගහපු අය. සමහර මාධ්‍ය වර්ජකයන්ගේ අදහස් පමණක් හුවා දක්වමින් විශේෂ ප්‍රචාරයක් ලබාදුන්නා. නමුත් මුළු රටම ඒ අවස්ථාවේ එක හ¾ඩින් කීවේ මඟමරුවාට එරෙහිවන ලෙසයි. මාධ්‍ය මෙවැනි අවස්ථාවක ජනතාව වෙනුවෙන් පෙනී සිටීම වැදගත්. නීතියේ අඩුපාඩුකම් අපි හඳුනාගෙන තිබෙනවා. නමුත් බීමත්ව රිය පැදවීම, හොර ලයිසන්වලින් හා ලයිසන් නොමැතිව රිය පැදවීමට අනුකම්පා කරන්න බැහැ.
2014 දී රිය අනතුරුවලින් 2,400ක් මිය ගියා. 2015දී 2,415ක් මියගියා. මේ වසරේ මුල් මාස 10දී එය 2,400 ඉක්මවා තිබෙනවා. මේ නීතිය ගෙනා පසු දිනකට 8ක් මියගිය එක 2කින් අඩුව තිබෙනවා. ලංකාවේ පමණක් නෙවෙයි මේක ගෝලීය ප්‍රශ්නයක්. වසරකට ලොව පුරා මිලියන 12ක් මිය යනවා. එයින් මිලියන 9ක් පිරිමි. ඩෙංගු මර්දනය සඳහා දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීම ගැන ඕනෑ කෙනෙක් විරෝධය පළ කළාට මට කමක් නැහැ. ඔය විරෝධතාව පසුපස ඉන්නේ කඩාකප්පල්කාරී දේශපාලන බලවේග.
තාජුඩීන් සිද්ධියේ පරීක්ෂණ ඉදිරියට යනවා. නමුත් බොහොම හෙමින්. ඩී.අයි.ජී. සරත්චන්ද්‍රගේ වාහනය ගැන එෆ්.සී.අයි.ඩී. ය බොහොම ඉක්මන් වුණා. මහා පරිමාණ දූෂණ, වංචා වෙනුවට එෆ්.සී.අයි.ඩී. එකෙන් එළියට එන්නේ සිල්ලර වංචා. කරුණා අම්මාන් ගැනත් එහෙමයි. මම කැබිනට් එකේ මේ ගැන කතා කරනවා.
මොල්ලිපොතාන විභාග මධ්‍යස්ථානයට ගිය මුස්ලිම් ශිෂ්‍යාවන්ට පර්දාව ඉවත් කරගෙන එන ලෙසත් සිසුවන්ට රැවුල කපාගෙන එන ලෙසත් එහි නිලධාරීන් උපදෙස් දීම ගැන මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ඒ පිළිබඳව පැමිණිල්ලක් යොමු කරන ලෙස දැන්වීමක් කෙළේය.