Dec
19
කුළුඳුල් දරුවා බිහිකර කළුබෝවිල සෞඛ්‍ය කාර්ය සහායිකාව ඩෙංගු මාරයාට බිලි

කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවක ඩෙංගු උණ රෝගයෙන් පෙරේදා (17 වැනිදා) අලුයම එම රෝහලේදීම මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ පොලොන්නරුව ජයන්තිපුර යාය 2 පදිංචිකාරියක වූ දීපිකා කුමාරි හේරත් (29) මහත්මියයි.
මෙම සෞඛ්‍ය කාර්ය සහායිකාව මියයැමට පැය කීපයකට පෙර සිසේරියන් සැත්කමක් මගින් සිය කුළුඳුල් දරුවා ද බිහිකර තිබේ. ඇය බිහි කළ බිලිඳිය යහපත් ශරීර සෞඛ්‍යයෙන් කළුබෝවිල රෝහලේ සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
එමෙන්ම, මියගිය සෞඛ්‍ය කාර්ය සහායිකාවගේ සැමියා ද ඩෙංගු වැළඳීමෙන් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මීට මාස කීපයකට පෙර කළුබෝවිල රෝහලේ හෙද නිලධාරිනියක ඩෙංගු රෝගයෙන් මියගිය අතර රෝහල් කාර්ය මණ්‌ඩලයේ 30 දෙනෙක් ද ඩෙංගු වැළඳීමෙන් දැඩි පීඩාවට පත්වූහ.
කළුබෝවිල රෝහල නිරන්තරයෙන්ම පවිත්‍ර කළ ද රෝහල වටා ඇති බොහෝ නිවාස හා පරිශ්‍ර පවිත්‍ර නොකරන බව එම රෝහල් සේවකයෝ කීපදෙනෙක්‌ම zදිවයිනZ ට පැවසූහ.
මෙම තත්ත්වය නිසා රෝහල් සේවකයන්ට ඩෙංගු රෝගයට ගොදුරුව තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවී ඇති බවත් මේ නිසා ඩෙංගු පරිශ්‍ර පවත්වාගෙන යන පදිංචිකරුවන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩයක් නියම කරන ලෙසත් ඔවුහු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඩෙංගු උණ රෝගයට ගොදුරු වී මියගිය දීපිකා සිය සැමියා සමඟ කළුබෝවිල පන්සල පාරේ තාවකාලික නවාතැන්පළක පදිංචිව සිට ඇත.
මියගිය දීපිකාගේ දේහය පොලොන්නරුව ප්‍රදේශයට රැගෙන යැමට පෙර කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ සේවක සේවිකාවන්ට අවසන් ගෞරව දැක්‌වීම සඳහා පැයක කාලයක් තැන්පත් කර තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්